ශ්‍රී ලංකා පිල තුන්වැනි තරගයත් පරදී | දිනමිණ

ශ්‍රී ලංකා පිල තුන්වැනි තරගයත් පරදී

එක්දින තරගාවලියේ ජය 3-0කින් නවසීලන්තයට

රොස් ටේලර් සහ හෙන්රි නිකොල්ස්ගේ ශතක මත ඉනිම ගොඩනැගූ නවසීලන්තය හමුවේ ඊයේ නෙල්සන් නුවර පැවැති තුන්වැනි හා අවසන් එක්දින තරගයෙන් ලකුණු 115ක පරාජයක් අත්විඳි ශ්‍රී ලංකා කණ්ඩායම තරග 3-0කින් එක්දින තරගාවලිය පරාජයට පත්විය. ඕවර 50 අවසානයේ කඩුලු 4කට නවසීලන්තය රැස් කළ ලකුණු 364 හඹා ගිය ශ්‍රී ලංකා පිලේ ඉනිම ලකුණු 249කට නිමාවට පත්වූයේ ඕවර 41.4කදීය.

දිනේෂ් චන්දිමාල්, අසේල ගුණරත්න සහ සීකුගේ ප්‍රසන්න විවේක ගන්වා ධනංජය ද සිල්වා, දසුන් ශානක සහ දුෂ්මන්ත චමීර සමග ඊයේ තරගයට ක්‍රීඩා කළ ශ්‍රී ලංකා පිලේ ඉනිම ආරම්භ කළ නිරෝෂන් දික්වැල්ල සහ ධනංජය ද සිල්වා ඕවර 8.1කදී ලකුණු 66ක් රැස් කිරීමට සමත්වූහ. ටිම් සවුතිගේ පන්දුවක් හමුවේ ධනංජය දැවී ගියේ පන්දු 29කදී හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමග ලකුණු 36ක් රැස් කරමිනි. අනතුරුව කුසල් ජනිත් පෙරේරා සමග එක්වූ දික්වැල්ල 15 වැනි ඕවරයේ අවසන් පන්දුවෙන් දැවී ගියේ මුළු ලකුණු සංඛ්‍යාව 107දීය.

කුසල් මෙන්ඩිස් ඊයේ තරගයේදී ද අසාර්ථක වූ අතර ඉෂ් සෝඩි යැවූ ඊළඟ ඕවරයේ පළමු පන්දුවෙන් දුවද්දී දැවීයාමට හසුවූයේ ලකුණු ලබාගැනීමටත් පෙරය. කුසල් ජනිත් මුහුණදුන් එම පන්දුවට ඉක්මන් ලකුණක් ලබාගැනිමට උත්සාහ කළ මෙන්ඩිස් දැවී ගියේ විලියම්සන් කඩුලු රකින්නා වෙත ඉක්මනින්ම පන්දුව ලබාදීමෙනි.

ඊයේ තරගයට ක්‍රීඩා කළ දසුන් ශානකට රැස් කිරීමට හැකිවූයේ ලකුණු 2ක් පමණි. සෝඩිගේ පන්දුවකට කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවී ශානක දැවී ගියේ ලකුණු 10ක් ඇතුළත ආපසු ක්‍රීඩාගාරයට ගිය තුන්වැනි පිතිකරුවා බවට පත්වෙමිනි. ශ්‍රී ලංකා ඉනිමේ පස්වැනි කඩුල්ල මුළු ලකුණු 143දී බිඳ වැටුණේ කුසල් ජනිත්ගේ දැවීයාමත් සමගය. දෙවැනි එක්දින තරගයේදී ශ්‍රී ලංකා පිලේ විරයා බවට පත්වූ තිසර පෙරේරා ඊයේ තරගයේදී සිය කණ්ඩායම ජයග්‍රහණය දක්වා රැගෙන යාමට දැඩි උත්සාහයක නිරතවිය. ඊයේ අංක 7 පිතිකරුවා ලෙස ක්‍රීඩා කළ ධනුෂ්ක ගුණතිලක සමග එක්ව 6 වැනි කඩුල්ලට ලකුණු 101ක් එකතු කිරීමට ඔහු සමත්වූයේ පන්දු 63කදී හතරේ පහර 7ක් සහ හයේ පහර 3ක් සමග ලකුණු 80ක් රැස් කරමිනි. ඒ සමගම ශ්‍රී ලංකා පිලේ පරාජය තහවුරු වූයේ ඊළඟ කඩුලු 4ම කිසිදු ලකුණකින් තොරව බිඳ වැටීමෙනි. ශ්‍රී ලංකා ඉනිමේ අගපෙළ පිතිකරුවන් දැඩි පීඩනයට ඇද දැමූ වේගපන්දු යවන ලොකී ෆර්ගියුසන් කඩුලු 4ක් බිඳ දැමුවේය.

කාසියේ වාසිය දිනා පළමුව පන්දු යැවීම තෝරාගත් ශ්‍රී ලංකා පිලේ නායක ලසිත් මාලිංග නවසීලන්තයේ ආරම්භක පිතිකරු යුගලය ලකුණු 31ක් ඇතුළත ආපසු ක්‍රීඩාගාරයට හරවා යැවීමට සමත්වූවත් නායක කේන් විලියම්සන් සහ රොස් ටේලර් එක්ව මුළු ලකුණු සංඛ්‍යාව 147 දක්වා ඉහළ දැමුවේ තුන්වැනි කඩුල්ලට ලකුණු 116ක සම්බන්ධතාවක් ද ගොඩනගමිනි.

සිය අර්ධ ශතකය වාර්තා කිරීමෙන් මොහොතකට පසුව ලක්ෂාන් සඳකැන්ගේ පන්දුවක් හමුවේ විලියම්සන් දැවීයාමෙන් පසුව ටේලර් සමග එක්වූ නිකොල්ස් වේගවත් පිතිහරඹයක නිරතවෙමින් නවසීලන්ත ඉනිම ඉහළට ඔසවා තැබුවේය. ශ්‍රී ලංකා පිලේ පන්දු යවන්නන් දැඩි ප්‍රහාරයකට ලක් කළ මේ පිතිකරුවන් දෙදෙනා සිය කණ්ඩායම ලකුණු 300 සීමාවෙන් ඔබ්බට රැගෙන ගියේ සිවුවැනි කඩුල්ලට ලකුණු 154ක සම්බන්ධතාවක් ගොඩනගා ගනිමිනි.

ධනංජය ද සිල්වා යැවූ 40 වැනි ඕවරයේදී සිය 20 වැනි එක්දින ශතකය වාර්තා කළ ටේලර් මුළු ලකුණු සංඛ්‍යාව 301දී මාලිංගගේ පන්දුවක් හමුවේ දැවී ගියේ පන්දු 131කට මුහුණදී හතරේ පහර 9ක් සහ හයේ පහර 4ක් සමග ලකුණු 137ක් රැස් කිරිමෙන් පසුවය. අනතුරුව සිය පිතිහරඹය වේගවත් කළ නිකොල්ස් පස්වැනි කඩුල්ලට ජේම්ස් නීෂම් සමග එක්ව ලකුණු 63ක සම්බන්ධතාවක් ගොඩනැගුවේ පන්දු 22කිනි.

මාලිංග යැවූ 49 වැනි ඕවරයේ දෙවැනි පන්දුවට හයේ පහරකින් සංග්‍රහ කරමින් සිය එක්දින තරග දිවියේ මංගල ශතකය වාර්තා කළේ ඊට පෙර පන්දුවට මිඩ් විකට් කලාපයේ සිටි නුවන් ප්‍රදීප්ට දුන් පහසු උඩපන්දුව ඔහු අතින් ගිලිහී යාමෙන් පසුවය.

ඉනිම නිමාවනවිට නවසීලන්තයේ ලකුණු සංඛ්‍යාව 364 දක්වා ඉහළ දැමූ නිකොල්ස් නොදැවි ලකුණු 124ක් රැස් කළේ පන්දු 80කිනි. ඔහුගේ ඉනිම හතරේ පහර 12කින් සහ හයේ පහර 3කින් වර්ණවත් විය. මාලිංග කඩුලු 3ක් දවාලීමට සමත්වූවත් ඔහුගේ ඕවර 10 තුළ ලකුණු 93ක්ම උදුරා ගැනීමට නවසීලන්තය සමත්විය. නවසීලන්ත ඉනිමේ අවසන් ඕවර 3දී ශ්‍රී ලංකා පිලේ පන්දු යවන්නන් ලකුණු 57ක් ලබා දුන්නේය. තරගයේ වීරයා සම්මානය රොස් ටේලර් දිනාගත්තේය. ශ්‍රි ලංකා පිලේ නවසීලන්ත සංචාරයේ නිමාව සටහන් කෙරෙන විස්සයි20 තරගය අනිද්දා (11) ඕක්ලන්ඩ් නුවරදී පැවැත්වෙයි.

 

නව අදහස දක්වන්න