දරුවන්ට නීතිය...! | දිනමිණ

දරුවන්ට නීතිය...!

පාසල් විෂය නිර්දේශය සඳහා නීති විෂයය ඇතුළත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. මෙය සැලැකිය හැක්කේ සමාජ සංවර්ධනයේ සුවිශේෂ අවස්ථාවක් හැටියට ය. නීතිගරුක සමාජයක් බිහි කිරීම සඳහා වූ සමාජ කතිකාව දීර්ඝ කාලයක සිට පවතින්නේ වුව එවන් සමාජයක් ඇති කිරීමට වුවමනා උපායමාර්ග රට තුළ ක්‍රියාත්මක වූයේ නැත. එක අතෙකින් මූලික මිනිස් නිදහස හා අයිතිවාසිකම් පිළිබඳ වැටහීමක් සමාජයේ බොහෝ දෙනකුට නැත. තව අතෙකින් සමාජය තුළ මිනිස් චර්යා කෙසේ හසුරුවාගත යුතු ද යන්න ගැන අවබෝධයක් ද බොහෝ දෙනකුට නැත. මේ අනුව බලය යන සාධකය පසුපස හඹා යන මිනිස්සු නිතර අපට මුණ ගැසෙති.

අතීත සමාජය ශීලාචාර වූ බවත්; ඊට හේතුව ලැජ්ජාව හා භය කේන්ද්‍රකොට මිනිසා ජීවත්වීම බවත් කෙනකුගේ තර්කය වෙයි. මීට අදාළ තවත් තර්කයක් වන්නේ අතීත මිනිසා ආගමට ළැදිව ජීවත්වීම යන්න ය. මේ තර්ක දෙක ම අදට ගැළපෙන්නේ නැත. සමාජ ක්‍රියාවලිය අතිශය සංකීර්ණ වන අතර නීති - පද්ධතියක් මගින් ඔවුන්ගේ චර්යා පාලනය කිරීම අද වන විට අත්‍යවශ්‍ය කාරණයක් බවට පත්ව තිබේ. ලෝකයේ දියුණු රටවල් සදාචාරවත් සමාජයක් ගොඩනඟාගෙන ඇත්තේ නීති - පද්ධති නිසියාකාර ලෙස ක්‍රියාත්මක කිරීම ඔස්සේ ය. එබඳු සමාජවල කැපී පෙනෙන ලක්ෂණය වන්නේ සෑම පුරවැසියකුම නීතිය පිළිබඳ වැටහීමකින් ජීවත් වීම ය. එවිට අපරාධ අඩු වෙයි. සමාජය සාමකාමී වෙයි.

පසුගිය මාස කිහිපය තුළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ ප්‍රබල සංවාදයක් රට තුළ ගොඩනැඟිණි. එය කෙතරම් පුළුල් එකක් ද යත්; සාමාන්‍ය කඩපොළේ හා පොදු ස්ථානවල මාතෘකාව බවටද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පත් වී තිබිණි. ව්‍යවස්ථාවේ මුද්‍රිත පිටපත් මේ කාලය තුළ යහමින් අලෙවි වූ බව ද කියනු ලැබේ. කුමක් වුව මේ සංවාදයේ දී දැකගන්නට ලැබුණු සත්‍යය වන්නේ පුරවැසියාට පමණක් නොව; බොහෝ දේශපාලකයන්ට පවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන මූලික වැටහීමක් නැති බව ය. එය හොඳ තත්ත්වයක් නොවේ. රාජ්‍ය පාලනයට අදාළ මූලික නීති රාමුව ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළය. ඒ ගැන අවබෝධයකින් කටයුතු කිරීම දියුණු පුරවැසියන්ගේ යුතුකම වෙයි. එහෙත් මේ අවබෝධය ලබාගැනීම සඳහා වැඩපිළිවෙළක් තිබිය යුතුය.

රටේ සාමාන්‍ය පුරවැසියකුට නීතිය ගැන අවබෝධයක් ලබාගැනීමට ඇති අවස්ථා සීමාසහිත ය. රියැදුරු බලපත්‍රයක් ලබාගැනීමට යන තැනැත්තා මාර්ග නීතිය පිළිබඳ යම් වැටහීමක් ලබා ගනී. එහෙත් රිය ධාවනයේ දී එම මාර්ග නීති අකුරටම පිළිපදින්නට රියැදුරන් පෙළඹෙන්නේ නැත. එබැවින් ශ්‍රී ලංකාව රිය අනතුරු බහුල රාජ්‍යයක් බවට පත් වී ඇත. නීතියට ගරු නොකරන තත්ත්වයක් ද රට තුළ පවතී. නීතියට වඩා බලය වැදගත් බව සමහරුන්ගේ විශ්වාසය වෙයි. නීතිය නො දැනීම නිසා සමාජයට සිදුවන අවාසිය ද බලවත් ය. මේ අනුව පුද්ගලයාට බලපාන අයුක්ති සහගත බොහෝ සිදුවීම් යටයයි. එහි දී නීතිය වෙනුවට බලය උඩටඑයි. යුක්තිය වෙනුවට අයුක්තිය හිසඔසවයි. දියුණු සමාජවල මේවා සිදුවන්නේ නැත. බලය ඇති පුද්ගලයෝ පවා නීතියට හිසනමා වරද පිළිගනිති. අප යා යුත්තේ එබඳු සමාජයක් වෙත ය.

මුල්‍ය කටයුතුවලට අදාළ වෙනම නීතියක් පවතී. රෙගුලාසි ද පවතී. මේවා නොදැන මුල්‍ය ගනුදෙනුවලට යන සාමාන්‍ය පුරවැසියෝ තමා ඉතා මහන්සියෙන් හරිහම්බ කරගත් මුදල් නැති කර ගනිති. සමහරු කළු සල්ලි සුදු කිරීමට එති. තව සමහරු මුදල් වැඩිකර ගැනීමට අදාළ විවිධ සූදු සමාජය තුළ පතුරවති. තවත් සමහරු නීත්‍යානුකූල නොවන මුල්‍යායතන පවත්වාගෙන යති. නීතිය ගැන නොදන්නා සමාජය කිසිදු සොයා බැලීමකින් තොරව මේවා සමඟ ගනුදෙනු කොට අමාරුවේ වැටෙති. මෙබඳු සිදුවීම් රාශියක් පිළිබඳ වාර්තා පසුගිය කාලය තුළ ජනමාධ්‍ය ඔස්සේ හෙළිදරව් විය. පුරවැසියාගේ නිදහස හා අයිතිවාසිකම් ගැන නොදන්නාකම නිසා මේ ගැටලුවලට මැදි වූ අය එය නිරාකරණය කරගන්නා පිළිවෙළ ද නොදනිති.

රටේ සිදුවන අපරාධ දෙස බලනවිට තවත් කරුණු කිහිපයක් පැහැදිලි වෙයි. එක; අපරාධයකට පෙලඹෙන තැනැත්තා එම අපරාධයට අදාළ දඬුවම හෝ එහි ඇති වරදෙහි බරපතළකම හෝ දන්නේ නැත. දෙක; අපරාධයකට ගොදුරු වන තැනැත්තා තමන්ට යුක්තිය ලබාගත හැකි ක්‍රමවේදය දන්නේ නැත. තුන; යුක්තිය ඉටුකරගැනීම සඳහා කුමන ආයතනවල සේවය ලබාගත යුතු ද යන්න ගැන බොහෝ දෙනෙක් කිසිවක්ම නොදනිති. හතර; යුක්තිය ඉටුකර ගැනීමේ දී කාලය ඉතා වැදගත් වෙයි. එහෙත් කාලය පිළිබඳ හැඟීමක් අපේ සමාජයට නැත. මානව හිමිකම් නඩු මීට නිදසුනක් ලෙස දැක්විය හැකි ය. මානව හිමිකම් කඩවීම සම්බන්ධ පැමිණිලි පවා ලැබෙන්නේ ඊට අදාළ ක්‍රියාව සිදු වී බොහෝ කාලයක් ගතවීමෙන් පසුය.

නීතිය ගැන හරි වැටහීමක් හා වරදට ලැබෙන දඬුවම් පිළිබද අවබෝධයක් සමස්ත සමාජයට තිබේ නම්; රටේ සිදුවන අපරාධ බොහෝ සෙයින් අඩුවනු ඇතැ’යි විශ්වාස කළ හැකිය. ශ්‍රී ලංකාව කොයි අතින් බැලුවද අපරාධ සිද්ධි වැඩිපුර දැකගත හැකි රාජ්‍යයෙකි. මේ හැරෙන්නට ඇතැම් අපරාධ හෙළිදරව් වන්නේ නැත. රට තුළ සිදුවන ස්ත්‍රී දූෂණ, ළමා අපචාර ආදිය මීට නිදසුන් ලෙස දැක්විය හැකි ය. මේවාට ගොදුරු වන තැනැත්තන් සිද්ධීන් හෙළිදරව්වනවාට කැමැති නැත. ඒ අනුව අපරාධය වසන් කිරීමට ඔව්හු පෙලඹෙති. සාක්ෂි ලබාදීම සම්බන්ධයෙන් ද එබඳු ම කනගාටුදායක තත්ත්වයක් පවතී. සාක්ෂියක් ලබාදීම වරදක් ලෙස සලකන සමාජයක් අපට දකින්නට ලැබේ. මීට හේතුව නීතිය ගැන නොදැනීම යැයි සිතන්නට පුළුවන. අප අත්දකින සමාජය නීතියට පමණක් නොව; නීතිය ආරක්ෂා කරන හා ඒවා ක්‍රියාත්මක කරන ආයතනවලටද විශාල බියක් දක්වති. එය නැති කළ යුතුය.

නීතිගරුක සමාජයක් බිහි කිරීමට අවශ්‍ය මූලික සාධකය රජය හොඳින් වටහාගෙන තිබේ. නීති අවබෝධය ලබාදිය යුත්තේ පාසලේ සිට ය. මීට අදාළ විෂය ක්ෂේත්‍ර කෙටුම්පත් කිරීමේ දී මිනිස් අයිතිවාසිකම් පිළිබඳ මූලික නීතිය, අපරාධ විධි විධාන පනත, සාමාන්‍ය සිවිල් නීතිය මෙන්ම ජාත්‍යන්තර නීතිය ගැන ද යම්බඳු වැටහීමක් දරුවන්ට ලබාදීම වැදගත් ය. ඉන් අදහස් වන්නේ පාසල් දරුවන් නීති විශාරදයන් කළ යුතුය යන්න නොවේ. ඉහත ක්ෂේත්‍ර පිළිබඳ මූලික හා සරල වැටහීමක් ලැබෙන අයුරින් විෂය මාලා සකස් කළ හැකි ය. අප දන්නා පරිදි උසස් පෙළ දේශපාලන විද්‍යාව හදාරන සිසුහු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පිළිබඳ පාඩමක් ද උගනිති.

කොයි අතින් බැලුවද පාසල් දරුවන්ට නීතිය පිළිබඳ මූලික වැටහීමක් ලබාදීම ඉතා වැදගත් ය. එමගින් අනාගත සමාජය හෝ නීතිගරුක කළ හැකි ය.

 


නව අදහස දක්වන්න