නව ලග්ගල අලුත් ජීවිත! | දිනමිණ

නව ලග්ගල අලුත් ජීවිත!

අතීත ශ්‍රී ලංකාව හැඳින්වූයේ ගොවි රජවරුන්ගේ දේශයක් හැටියට ය. එහෙත් වර්තමානයේ අප දුටුවේ ගොවියන්ගේ ජීවිතය ක්‍රමයෙන් දුෂ්කර වන කාල පරිච්ඡේදයෙකි. උතුරු, උතුරුමැද, නැ‍ඟෙනහිර හා වයඹ ගොවියෝ අහස් වැසි යදිමින් අහසට හූල්ලන කාලයක් අපට දකින්නට ලැබිණි. ගොවියාට අවශ්‍ය වන මූලික සාධක දෙක වන්නේ ඉඩම් හා ජලය යි. ඉඩම් කෙසේ වුව ජලය සැපයීමට අපේ රටේ බොහෝ නායකයන් සමත් වූයේ නැත. කෙසේ වුව අප අද කියන කතාව ආරම්භ කිරීමට සිදුවන්නේ රජරට ගොවියාගේ හීල්ලීම හා සුසුම් හෙළීම නිමා කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමත් විය; යන වාක්‍යයෙන් ය.

මෑත කාලයේ අපේ රටේ ජනතාවට ඇසට පෙනෙන හා ඇඟට දැනෙන සංවර්ධන ව්‍යාපෘති විශාල ප්‍රමාණයක් ක්‍රියාත්මක වී නැත. එහෙත් ඉතා වැදගත් සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් නිමා ව දැක ඇත්තේ අනාගත පරපුරේ අභිවෘද්ධිය ද සටහන් කරමින් ය. එම ව්‍යාපෘති අතර කැපී පෙනෙන වැඩසටහන් දෙකක් තිබේ. පළමුවන්න මොරගහකන්ද ජලාශය ඉදිකිරීම ය. දෙවන්න කළු ගඟ ව්‍යාපෘතිය නිමාවට පත්කිරීම ය. මේ ව්‍යාපෘති දෙකම රටේ අනාගතය වඩාත් යහපත් තැනකට ගෙනයෑමට සමත් වනු ඇත. ශ්‍රී ලංකාව සංවංර්ධනය කළ හැකි ප්‍රධාන සාධකය කෘෂිකර්මය යි. කෘෂිකර්මයට රටේ ඇති ප්‍රධාන බාධකය ජල හිඟය යි. ඉහත සඳහන් ව්‍යාපෘති දෙක මඟින් ඊට විසැඳුම් ලබා දෙනු ඇතැ’යි විශ්වාස කළ හැකි ය.

සංවර්ධන ව්‍යාපෘති සැලැසුම් කිරීම, ඒවාට අවශ්‍ය භූමිය නීර්ණය කිරීම පමණක් නොව; මෙබඳු සංවර්ධන ව්‍යාපෘති සඳහා ‍තෝරා ගන්නා භූමිය ඔස්සේ බලපෑමට ලක්වන පවුල්වලට නැවත පදිංචිය සඳහා ස්ථාන හා වන්දි ලබාදීම ද දුෂ්කර කාර්යයක් බව අමුතුවෙන් කිවයුතු නැත. ඉන්දියාව වැනි බලවත් රාජ්‍යයන් පවා මේ ගැටලුව හමුවේ පරාජයට පත් වූ අවස්ථා තිබේ. හැබෑවටම ගත් කල සංවර්ධන ව්‍යාපෘති සඳහා ඉඩම් හා වෙනත් සම්පත් සොයා යන ආණ්ඩුවක් ඇතැම් විට මහජනයාගේ දැඩි දෝෂ දර්ශනයට ලක් විය හැකි ය. මොරගහකන්ද ජලාශය මෙන් ම කළු ගඟ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වූයේ ඉහත තත්ත්වයන් හොඳින් සැලැකිල්ලට ගනිමින් ය.

ලග්ගල නව නගර සංකීර්ණය අද ජනතා අයිතියට පත් වේ. මේ නගර සංකීර්ණය දෙස බලන විට පෙනීයන්නේ ලග්ගල ප්‍රදේශය තුළ නව සංස්කෘතියක් බිහිවීමට අවශ්‍ය පසුබිම සකස් වී ඇති බව ය. මෙහි පදිංචි වන අය ඉහත ව්‍යාපෘති යටතේ ඉඩම් හා නිවාස අහිමි වූ අය වෙති. මේ පිරිසට නව ජීවනයක් ලබාදීමට හැකිවන අයුරින් ලග්ගල නව නගර සංකීර්ණය බිහි වී ඇත. රාජ්‍ය පරිපාලනයට අයත් සියලු ගොඩනැගිලි එහි ඉදිකර ඇත. සමාජ සුබසාධනයට අදාළ වෙළෙඳ පොළ හා පොදු සේවාවලට අයත් මධ්‍යස්ථාන ද එහි ඉදිකර ඇත. ජීවිතයට අවශ්‍ය අධ්‍යාපනය හා විනෝදය ලබාගත හැකි ස්ථාන ද එහි වෙයි. නව ගොඩනැගිලි පමණක් එකසිය ගණනක් නව නගරය තුළ ඉදිකර ඇත.

ඊශ්‍රායල නවකතාකාරියක විසින් රචනා කරන ලද ‘ද ඩස්ට්’ නම් නවකතාවක් තිබේ. එහි කතාවෙන් නිරූපණය වන්නේ කාන්තාරයක් තුළ නව නගරයක් බිහිකිරීමට වෙර දරන පිරිසක ගැන ය. ගැහැනු පිරිමි භේදයකින් තොරව ඔව්හු නිරන්තර අරගලයක යෙදී සිටිති. ඒ කාන්තාරයේ නව නගරයක් බිහිකිරීම සඳහා ය. අවසන් ලෙස ඔව්හු ජය ගිනිති. අළු - දූවිලි මතින් නැඟී සිටි ජපානය අප සිහියට නැ‍ඟේ. ජපානය අද හිමිකරගෙන ඇත්තේ ලෝක ආර්ථිකයේ තුන්වන ස්ථානය යි. එය සුළු පටු කාරණයක් නොවේ. කැපවීම, වැඩ කිරීමේ ශක්තිය හා තවත් දේවල් නොවන්නට සංවර්ධනය අතින් ජයග්‍රහණ ලැබීමට හැකියාවක් ලැබෙන්නේ නැත. රටේ කොයි මුල්ලක සිටින කෙනකු වුව ජාතික ආර්ථිකය සමඟ බද්ධ විය යුතුය. ජාතික ආදායමට දායකත්වයක් ද ලබාවිය යුතුය. මොරගහකන්ද ජලාශයේ මෙන් ම කළුගඟ ව්‍යාපෘතියේ ද ඉලක්කය වන්නේ මේ ප්‍රදේශවලට අයත් ගොවි ජනතාවගේ ජීවිත සුරක්ෂිත කොට ඔවුන් ජාතික ආර්ථිකය හා ජාතික ආදායම සමඟ සම්බන්ධ කිරීම ය.

ලග්ගල නව නගරය අද ජනතා අයිතියට පත්වන්නේ අලුත් සංස්කෘතියක් ද උදාකරමින් යැයි කියන්නට පුළුවන. නව නගරයක් යනු ජන ජීවිතය අලුත් කරන හා ඔවුන්ගේ ජීවිතවලට අලුත් ආලෝකයක් ලබාදෙන ස්ථානයකි. මෙය පරිසමාප්ත හා අංග සම්පූර්ණ නගරයක් ලෙස සැලැකිය හැකි ය. නූතන නගරයකට අවශ්‍ය සියලු දෑ එහි ඇතැ’යි කියන්නට පුළුවන. නව නගරයට ප්‍රවේශ වන ගැමියන්ගේ අදහස් විමසා බලන විට පෙනී යන්නේ ඔවුන් නව ප්‍රවේශය ඉතා කැමැත්තෙන් භාරගෙන ඇති බව ය. අලුත් සංවර්ධන ව්‍යාපෘතිවල බලපෑම් එල්ල වූ පවුල් බොහෝවිට උද්ඝෝෂණ කරති. පෙළපාලි යති. එහෙත් මෙහිලා එවැන්නක් දකින්නට නැත. වැඩසටහන්වල සාර්ථකත්වය එයින් පැහැදිලි වෙයි.

අපේ ජල ගබඩාව ඇත්තේ මධ්‍යම කඳුකරය තුළ ය. එහි සිට ගලායන ගංගා නිසොල්මනේ මුහුදට වැටෙති. මේ අතර රටේ විශාල කලාපයක් ජල හිඟයෙන් පීඩාවිඳී. එහි ජනතාව අංශ දෙකකින් පීඩාවට පත් ව සිටිති. එක; පානීය ජල පහසුකම් නැති කමය. රජ රට වකුගඩු රෝගයට පවා ජල ප්‍රශ්නය බලපා ඇති බව පිළිගනිති. දෙක; කෘෂිකර්මය සඳහා බලපවත්වන ජල හිඟය වන්නේ ය. අපේ නායකයන් බුද්ධිමත් වන්නේ නම්; මේ ගැටලු දෙක ම විසැඳිය හැකි බව වර්තමාන ජනාධිපතිවරයා පෙන්වා දී තිබේ. මෛත්‍රීපාල සිරිසේන මහතා අඹන් ගඟ මෙන් ම කළු ගඟ ද මිනිසාගේ සංවර්ධනය සඳහා යොදාගෙන තිබේ. මෙය මෑත කාලයේ ඉටු වූ ජාතික යුතුකමක් ලෙස ද සැලැකිය හැකි ය.

නව සංස්කෘතීන් බිහිකිරීම සංවර්ධනයේ තවත් උපාය මාර්ගයකි. ලග්ගල නව නගර සංකීර්ණය නව සංස්කෘතියක් බිහි කරන අතර ම මීට අයත් ජනතාවගේ ආර්ථිකය පෝෂණය කරනු ඇත. මෙහි ඇති නව පහසුකම් අනුව බලන විට පෙනී යන්නේ ඊට අයත් ජන සමාජයට නව රැකියා අවස්ථා විශාල ප්‍රමාණයක් ද ලැබෙන බව ය.

 


නව අදහස දක්වන්න