සොබා­ද­හමේ විස්මිත නිමැ­වුම | දිනමිණ

සොබා­ද­හමේ විස්මිත නිමැ­වුම

සොබාදහම් මාතාව හරිම පුදුමාකාරයි. ඇය මවන එකිනෙකට වෙනස් දේ මිනිසා පුදුමයට පත්කරනවා. මේ නිසා තමයි ලොව විවිධ ස්ථාන වලින් අරුම පුදුම ස්වභාවික ස්ථාන හමුවන්නේ. සාමාන්‍ය යෙන් මුහුද කියූ සැණින් අපේ මතකයට එන්නේ තෙරක් නොපෙනෙන නිල් පැහැ ලවණ සහිත ජලය පිරි මහා සාගරයයි.

එහෙත් මළ මුහුද වැනි ස්ථානයක් මෙයින් වෙනස් වෙනවා. අද අප අතැඹුල විශේෂාංගයෙන් ඔබට කියන්නේ සොබාදම් දිනිතියගේ තවත් පුදුම සහගත නිර්මාණයක් පිළිබඳවයි. බටහිර ඕස්ට්‍රේලියාවේ තිබෙන රෝස පැහැති විල් වලට විශාල සංචාරක ආකර්ෂණයක් හිමි වන්නේ එහි තිබෙන අසාමාන්‍ය වර්ණය නිසායි.

නිල් පැහැති ජලය වෙනුවට මෙම විල් පිරී පවතින්නේ ‘බබල්ගම් පැහැය‘ යනුවෙන් හඳුන්වන දීප්තිමත් රෝස පැහැති ජලයෙනි. මෙසේ අසාමාන්‍ය වර්ණයක් මෙම විල් වලට ලැබීමට හේතුව ලෙසින් සියයට සියයක්ම නිවැරැදි පිළිතුරක් ලබාදීමට විද්‍යාඥයන් හට තවමත් නොහැකි වී තිබුණත් එයට මෙම විල් වල තිබෙනා අධික ලවණතාවය හා ඍජු සම්බන්ධයක් තිබෙන බව ඔවුන් පවසනවා.

රෝස පැහැති විල් කිහිපයක් අතුරින් වඩාත්ම ප්‍රසිද්ධ විල වන්නේ හිලියර් විලයි (Lake Hillier).

බටහිර ඕස්ට්‍රේලියාවේ එස්පෙරන්ස් ප්‍රදේශයේ වෙරළ තීරයට ඔබ්බෙන් පිහිටා තිබෙන කුඩා දූපත් සමූහයකට අයත් එක් දූපතක මෙම විල පිහිටා තිබේ. යුකැලිප්ටස් ගස් වලින් හා වැලි තීරයකින් වටවී තිබෙන මෙම රෝස පැහැති විල දූපත වටා තිබෙන නිල් පැහැති සාගරය හා එක්වූ විට ඉතාම දර්ශනීය සිතුවමක් මවනවා. දිගින් මීටර 600ක් පමණ වන මෙම විල වෙත ළඟාවීම නම් තරමක් අපහසු කටයුත්තක්. මේ නිසා බොහෝ දෙනකු එතැනට යන්නේ කුඩා ගුවන් යානයකින් හෝ බෝට්ටුවක් මගින්.

මෙම විල පිහිටා තිබෙන මිඩ්ල් දූපත මුළින්ම සොයාගෙන තිබෙන්නේ ගවේෂකයකු වන මැතිව් ෆ්ලින්ඩර්ස් විසින් වසර 1802 දීයි.

රෝස පැහැයට හේතුව නිවැරැදිව පැවසීමට විද්‍යාඥයන් හට නොහැකි වූවත් මෙම විලෙහි ජලය ස්නානය සඳහා සුදුසු බව ඔවුන් පවසනවා.

එහෙත් ළඟාවීමේ දුෂ්කරතාවය නිසා බොහෝදෙනා මෙම විල අසලටම ගමන් කරන්නේ නෑ.

නමුත් අසීරුවෙන් ළඟා වූවහොත් අවට තිබෙන සාගර ජලයට වඩා දස ගුණයකින් පමණ ලවණතාව වැඩි මෙම විලෙහි මළ මුහුදේ මෙන් පාවීමට හැකියාව ලැබීම ඉතාම සුවිශේෂී අත්දැකීමක් වනවා.

වසර 2015දී සිදු කරනු ලැබූ ජල සාම්පල හා DNA පරීක්ෂාවකින් Salinibacter ruber නම් බැක්ටීරියාවක් මෙම විලෙහි ජලයේ වැඩි වශයෙන් දක්නට ලැබෙන බව සොයාගෙන තිබෙනවා. ලවණ හා සමඟ ජීවත්වන මෙම බැක්ටීරියාව විසින් නිකුත් කරන තීන්ත

වර්ගයක් මගින්මෙම වර්ණය ඇති වන බවට ඔවුන් අනුමාන කරනවා. බටහිර ඕස්ට්‍රේලියාවට අමතරව දකුණු ඕස්ට්‍රේලියාවේ අත්හැර දමනු ලැබූ ලුණු ලේවායක්ද මෙසේ රෝස පැහැයට ලක් වීම නිසා සංචාරක ආකර්ෂණයට ලක්වී තිබෙනවා. 

(කවිඳු වීරරත්න)

නව අදහස දක්වන්න