අපේ රට පාරාදීසයක්! | දිනමිණ

අපේ රට පාරාදීසයක්!

ශ්‍රී ලංකාවේ ඓතිහාසික, සාංස්කෘතික හා පාරිසරික වටිනාකම්වලට සාර්ථක මිලක් නියම වන බව පෙනෙන්නට තිබේ. මෙහි අර්ථය වන්නේ අපේ උරුමය අලෙවි කිරීමට අවස්ථාවක් උදාවී තිබේ; යන්න නො වේ. ඉහත කී වටිනාකම් සඳහා ලෝක ආකර්ෂණය හිමි වී ඇති බව හා ඒ ඔස්සේ අපේ සංචාරක කර්මාන්තය වැඩි දියුණු කළ හැකි ය යන්න මීට අදාළ යථාර්ථය වෙයි. මීට මාස කිහිපයකට ඉහත දී ‘ලෝන්ලි ප්ලැනට්’ නම් කීර්තිමත් සඟරාව, සංචාරයට සුදුසු ම රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාව ඔසොවා තැබී ය. ඉනික්බිති මීට සති දෙකකට පමණ පෙර; ‘ට්‍රැවලෙමින්ග්’ ඩොට් කොම් වෙබ් අඩවිය ආසියාවේ හොඳ ම සංචාරක ගමනාන්තය ලෙස ශ්‍රී ලංකාව හඳුන්වා දී තිබිණි.

ඩුබායි කලාපය මුලින් ම ලෝකයේ ආකර්ෂණයට ලක් වූයේ වෙළෙඳ පොළක් හැටියට ය. අද එම කලාපය මුළු මහත් ලෝකයේ ම අවධානයට ලක් වී ඇත්තේ, සංචාරක නිකේතනයක් හැටියට ය. ලොව හොඳ ම සුවපහසු හෝටල් එහි පවතී. නිදහස් හා සැනසිල්ල සොයමින් සංචාරකයෝ බොහෝ ප්‍රමාණයක් ඩුබායි වෙත පැමිණෙති. එ‍හෙත්, ඩුබායි කලාපය සතු විශේෂ ඓතිහාසික උරුමයක් හෝ පාරිසරික උරුමයක් හෝ නැත. එසේ වුව; සංචාරක කර්මාන්තය එම කලාපය තුළ ඉතා හොඳින් සිදු වෙයි. ධන කුවේර සංචාරකයෝ ඩුබායිවලට වශී වී සිටිති. ඔව්හු මේ කලාපයට පැමිණ උපරිම තෘප්තියක් ලබති. ඒ සඳහා ඉහළ ම මිලක් ද ගෙවති.

සංචාරක කර්මාන්තය අතින් බලන කල ශ්‍රී ලංකාව යනු ඉතා වාසනාවන්ත රාජ්‍යයකි. ලොව ඕනෑම සංචාරකයකුට වස්තු - විෂය කරගත හැකි දේ මෙහි පවතී. ඓතිහාසික වශයෙන් ගතහොත්; සීගිරිය වැනි ලෝක උරුමයක් දකුණු ආසි‍යාවේ වෙනත් රටක නැත. සාංස්කෘතික වශයෙන් ගතහොත් සංචාරකයාගේ චමත්කාරය මතුකරන බොහෝ අංග, අපේ උරුමයට අයත් වේ. දළදා පෙරහර නැරැඹීමට පමණක් සංචාරකයෝ විශාල පිරිසක් වාර්ෂිකව අපේ රටට පැමිණෙති. ස්වාභාවික සුන්දරත්වය අතින් ද, ජෛව විවිධත්වය අතින් ද ශ්‍රී ලංකාව පොහොසත් ය. කොළඹ සිට නුවරඑළියට ද, නුවරඑළියේ සිට යාපනයට ද යන සංචාරකයකුට, භූගෝලීය කලාප ගණනාවක සේ ම, කාලගුණික වශයෙන් විවිධ වූ කලාප ගණනාවක ද අත්දැකීම් ඉතා කෙටි කාලයක් තුළ ලබාගත හැකි ය.

ට්‍රැවලෙමින්‍ග් වෙබ් අඩවිය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ලෝකයට කියන කතාන්දරයක් තිබේ. එනම් ; ශ්‍රී ලංකාවට එන සංචාරකයකුට ඉතා අඩු මුදලකින් උපරිම ආස්වාදයක් ලැබිය හැකි බව ය. සංචාරකයෝ විවිධ මූලාශ්‍ර භාවිත කරමින් මෙබඳු ස්ථාන පිළිබඳ විමර්ශනය කරති. ඔවුන් සමාජ වශයෙන් තමන්ගේ අදහස් හුවමාරු කර ගනිමින් සංචාර ආරම්භ කිරීම සිරිතක් වී තිබේ. මේ අනුව ආසියාවේ හොඳ ම සංචාරක ගමනාන්තය ශ්‍රී ලංකාව බවට පත්වී තිබේ. මෙහිදී සැලකිල්ලට ලක්වී ඇති තවත් සාධකයක් වන්නේ, අපේ රටේ සුහදශීලීභාවය යි. සිනහවකින් මුව සරසාගෙන සංචාරකයන්ට ගෞරව කිරීම අපේ සාමාන්‍ය සිරිත වී ඇත. එය අහෝසි වන්නේ කලාතුරෙකින් අවස්ථාවක ය. එබඳු අවස්ථා වුව වළක්වා ගැනීමට අප පියවර ගත යුතුව තිබේ.

සංචාරක කර්මාන්තය පිළිබඳ තවත් සුබවාදී දර්ශකයක් 2018 දෙසැම්බර් අවසානය වන විට දැකගන්නට ලැබිණි. එනම්; එම වසරේ අපේක්ෂා කළ විදේශීය සංචාරකයන්ගේ ප්‍රමාණයට සමීප වීමට ශ්‍රී ලංකාව සමත් වී තිබීම ය. එම වසර තුළ පැවැති දේශපාලන අර්බුද, වැඩ වර්ජන හා විපත්තිදායක අවස්ථා නොවන්නට, විදේශ සංචාරකයන්ගේ පැමිණීම මීටත් වඩා ඉහළ යන්නට ඉඩ තිබිණි. සංචාරකයා නිරන්තරයෙන්ම ආකර්ෂණය වන්නේ, සාමකාමී රටවලට ය. අපේ සංචාරක කටයුතු පිළිබඳ අමාත්‍යවරයා අදහස් දක්වමින් කියා ඇත්තේ, ඔක්තෝබර් මාසයෙන් පටන්ගෙන දින පනස් එකක් පුරා පැවැති දේශපාලන අර්බුදය සංචාරක කර්මාන්තයේ අවාසියට බලපෑ බව ය. එහි ඇත්තක් තිබේ. දේශපාලන අර්බුද පවතින රටවලට සංචාරකයන් කැමැති නැත.

විදේශීය සංචාරකයන් ලක්ෂ විසිපහක් වාර්ෂිකව ශ්‍රී ලංකාවට ගෙන්වා ගත හැකි නම්;‍ අපේ සංචාරක කර්මාන්තයට ශක්තිමත් පදනමක් වැටෙන අතර, එමගින් රටේ ආදායම වර්ධනය කරගත හැකි බව ආර්ථික විශේෂඥයන්ගේ මතය වෙයි. සංචාරක කර්මාන්තය, දියුණු රටවලට අනුව බලන විට , වාර්ෂිකව සංචාරකන් ලක්ෂ විසිපහක් යනු විශාල ගණනක් ද නො වේ. රටේ පවත්නා සම්පත් හා වෙනත් වටිනාකම් ආදිය සැලැකිල්ලට ගන්නා විට මීට වැඩි සංචාරකයන් ප්‍රමාණයක් වාර්ෂිකව ගෙන්වා ගත යුතු ය. ඒ සඳහා සාර්ථක සැලැසුම් ඇති කළ යුතු ය. හොඳ ප්‍රචාරණයක් ද ලබා දිය යුතු ය. සංචාරක අමාත්‍යාංශයට එම වගකීම පැවරේ.

ට්‍රැවලෙමින්ග් ඩොට් කොම් වෙබ් අඩවිය සංචාරය සඳහා වැඩියෙන් ම සුදුසු රටවල් හයක් නම් කර තිබේ. එනම්; ශ්‍රී ලංකාව, කොලොම්බියාව, කෙන්යාව, ෆේරෝදූපත්, මැනිටෝවා හා ටස්මේනියාවයි. මේ එකිනෙක රටවල් විවිධ හේතු සාධක නිසා සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගෙන තිබේ. කෙන්යාව වන සතුන් නැරැඹීමට ඇති හොඳ ම රාජ්‍යයක් ලෙස සැලැකිය හැකි ය. කොලොම්බියාව අපූරු ජෛව විවිධත්වයකින් ද, සුවිශේෂ සාංස්කෘතික උරුමයකින් ද සමන්විත රාජ්‍යයකි. මේ රටවල් හය අතරින් ද ශ්‍රී ලංකාව විශේෂිත වෙයි. ශ්‍රී ලංකාවේ සංචාරය පහසු කරන තවත් ලක්ෂණයක් වන්නේ, එක් සංචාරක ස්ථානයක සිට තවත් සංචාරක ස්ථානයක් දක්වා ඇති දුර ප්‍රමාණය ඉතා කෙටි වීම ය. නේපාලයේ සංචාරක කලාපය “පොකාරා” නමින් හඳුන්වන අතර, කත්මන්ඩු සිට “පොකාරා” දක්වා ඇති දුර ප්‍රමාණය ඉතා අධික ය.

සංචාරක කර්මාන්තය සම්බන්ධයෙන් ශ්‍රීලංකාවට ඇති අඩුව වන්නේ, ඊට අදාළ සාර්ථක වැඩසටහන් නැතිකම හා හොඳ කළමනාකරණයක් නැතිකම යැයි කිව හැකි ය. ඒ හැරෙන්නට සංචාරක කර්මාන්තය පිළිබඳ රටේ පවතින පොදු හැඟීම ද ඒ තරම් යහපත් නැත. සංචාරක කර්මාන්තයට අදාළ ඇතැම් සේවකයන්ගේ හා නිලධාරීන්ගේ අදහස් ද ඒ හැටි බුද්ධිමත් නැති බව පෙනී යයි. කෙනකුගේ අදහස වන්නේ, විදේශීය සංචාරකයා රවටා ඔහුගෙන් හැකිතාක් මුදල් ගරා ගැනීම ය. තව කෙනකු ධනවත් සංචාරකයාට එක විදියකට ද, දුප්පත් සංචාරකයාට තවත් විදියකට ද සලකන ආකාරය දකින්නට පුළුවන. මේ තත්ත්වය සුබදායක නැත. ඕනෑම සංචාරකයකුට ගෞරවණීය ලෙස සැලකීමට කව්රුත් සිතට ගත යුතු ය.

සංචාරක කර්මාන්තය යනු රටක ආර්ථිකයට පමණක් නොව; දේශපාලනයට හා සමාජ - සාංස්කෘතිය අංශවලට ද බලපෑමක් කරන ක්ෂේත්‍රයකි. මේ කර්මාන්තය ඔස්සේ ලැබෙන සාධනීය දේ එකතු කර ගැනීමටත්, නිශේධනීය දේ ප්‍රතික්ෂේප කිරීමටත් අප දැන ගත යුතු ය. මීට දසක තුනකට පමණ පෙර ශ්‍රී ලාංකිකයන්ගේ මතය වූයේ, විදේශ සංචාරකයන්ගේ ආගමනය නිසා අපේ සංස්කෘතිය විනාශ වන බව ය. එය තර්කානුකූල මතයක් නොවේ. අප සංචාරකයන් ගැන සුබවාදී දෘෂ්ටියකින් බැලිය යුතු ය. සංචාරක කර්මාන්තයෙන් අපට ලබාගත හැකි සාධනීය දේ කෙරෙහි ම අවධානය යොමු කළ යුතු ය.

 


නව අදහස දක්වන්න