නාමල් කුමාරට මාධ්‍ය වාරණයක් | දිනමිණ

නාමල් කුමාරට මාධ්‍ය වාරණයක්

සුභාෂිණී සේනානායක

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හිටපු ආරක්ෂක ලේකම්වරයා ඇතුළු පිරිසක් ඝාතනය කිරීමට තැත් කළ බව කියන සිද්ධියේ පැමිණිල්ලට අදාළව මාධ්‍යට කරුණු ඉදිරිපත් කිරීමෙන් වළකින්නැයි දූෂණ විරෝධී හඩ සංවිධානයේ කැදවුම්කරු නාමල් කුමාර යන අයට කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (04) නියෝග කළේය.

අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශයන්ට නාමල් කුමාර යන අය වරින් වර මාධ්‍යට අදහස් දැක්වීම බාධාවක් බවට සිද්ධියට අදාළව විමර්ශන සිදු කරන රහස් පොලිසිය අධිකරණයෙන් සිදු කළ ඉල්ලීමට අනුව මහේස්ත්‍රාත් වරයා මේ නියෝගය සිදු කළේය.

එමෙන්ම පැමිණිල්ල යොමු කළ දින සිට මේ දක්වා අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍යයට දක්වා ඇති අදහස් රහස් පොලිසියට ලබා දෙන ලෙසට නියෝගයක් නිකුත් කරන ලෙස රහස් පොලිසිය සිදු කළ ඉල්ලීම සලකා බැලූ මහේස්ත්‍රාත් වරයා එම කරුණු ප්‍රචාරය වූ මාධ්‍ය ආයතන ප්‍රධානීන්ට අදාළ විස්තර රහස් පොලිසියට ලබා දෙන ලෙස නියෝග කළේය.

පැමිණිල්ල සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශයන්ට නාමල් කුමාර යන අය වරින් වර මාධ්‍යට අදහස් දැක්වීම බාධාවක් බවට රහස් පොලිසිය අධිකරණයට දන්වා සිටියේය.

සිද්ධියට අදාළව ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතා භාරයේ තිබී අත්අඩංගුවට ගත් එල් එම් ජී ගිනි අවි දෙක පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයට මුදා හරින ලෙස රහස් පොලිසිය සිදු කළ ඉල්ලීම මහේස්ත්‍රාත් වරයා ප්‍රතික්ෂේප කළේය.

පොලිස් නිලධාරීයකු සතුව තිබූ අවි ඔහු සේවයේ යෙදී සිටින ආයතනයක් වන පොලිසියට ම මුදා හැරීම සිදු නොකළ යුතු බව පෙන්වා දුන් මහේස්ත්‍රාත් වරයා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් රදවා ඇති ස්ථානයේම එම ගිනි අවි දෙක රදවා තබන ලෙස නියෝග කළේය.

සිද්ධියට අදාළව විමර්ශන සිදු කර ලබන 16 අධිකරණයට වාර්තා කරන ලෙස මහේස්ත්‍රාත්වරයා රහස් පොලිසියට නියෝග කළේය.


නව අදහස දක්වන්න