ත්‍රිපිටකය ආරක්ෂා කිරීමේ වගකීම | දිනමිණ

ත්‍රිපිටකය ආරක්ෂා කිරීමේ වගකීම

බෞද්ධ ජනයාට ලෞකික දියුණුව හා ලෝකෝත්තර දියුණුව සඳහා මගපෙන්වන‍්නේ සම්බුද්ධ දේශිත ත්‍රිපිටකාගත ධර්මයයි. ලෝකයේ මතුපිටට නොපෙනෙන ගැඹුරු යථාර්ථය හෙළි කර දෙන, සිතේ ඇති කරගත හැකි ඉහළම දියුණුවට මග පෙන්වන ත්‍රිපිටකය මුළු ලෝවැසියන්ටම මහඟු වූ සම්පතකි. එම සම්පත ආරක්ෂා කර ගැනීම ශ්‍රී ලංකාවාසී අප හැ‍මගේම විශේෂ වගකීමක් ලෙස සැලකිය හැක. කරුණු කිහිපයක් නිසා මේ වගකීම උතුම් බවට පත්වේ.

ත්‍රිපිටකාගත සද්ධර්මයක් ලෝකයාට ලැබෙන්නේ උතුම් බුදුවරයෙක් ලෝකයට පහළවීමේ ප්‍රතිඵලයක් ලෙසයි. බුදුවරයෙක් ලොව පහළවීම අතිශය දුර්ලභ කාරණයකි. අපමණ කලක් පෙරුම් පුරා චතුරාර්ය සත්‍යය මැනවින් තමන් විසින්ම පසක්කොට එය අන් අයටත් අවබෝධ වනසේ දේශනා කිරීමට සමත් බුදුරජාණන් වහන්සේලා පහළ වන්නේ කලාතුරකිනි. උන්වහන්සේලා මැනවින් දේශනා කොට පිහිටුවන පරියත්ති ශාසනය ත්‍රිපිටකය තුළ අන්තර්ගතය. පරියත්තිය තිබෙන තාක් කල් චතුරාර්ය සත්‍යය අවබෝධය තුළින් ලබන නිර්වාණ සුවයට මග විවෘතය. පරියත්තීය අතුරදහන් වුවහොත් හෝ විකෘති වී වැසී ගියහොත් නැවත බුදුවරයෙක් පහළවනතුරු එවැනි දේශනයක් හමුවන්නේ නැත. එබැවින් අපේ පූර්වකෘත පුණ්‍ය මහිමයට ලැබුණු පරියත්ති ශාසනය අන්තර්ගත ත්‍රිපිටකය ගිලිහෙන්නට හෝ විකෘති වන්නට නොදී ආරක්ෂා කිරීම මුළු ලෝකයටම කරුණාවන්ත වීමකි. මුළු ලෝකයම සතු මහඟු සම්පතක් ආරක්ෂා කිරීමකි.

එසේම ශ්‍රී ලංකා වාසීන් වන අපට මෙම ත්‍රිපිටකය ආරක්ෂා කිරීමට විශේෂ වගකීමක් ඓතිහාසිකව පැවරේ. එයට හේතුව ත්‍රිපිටකය පූර්ණ වශයෙන් මුලින්ම ග්‍රන්ථාරූඪ වන්නේ ලංකාවේ වීමය. එතෙක් මුඛ පරම්පරාගතව ආ ත්‍රිපිටකය බු. ව. 455 දී ලංකාවේ මාතලේ ජනපදයේදී මුලින්ම පුස්කොල පොත්වලට නගන ලදී. අද මුළු ලෝකයටම ඌනතා රහිත ලිඛිත ත්‍රිපිටකයක් හිමිව ඇත්තේ ලංකාවේ සිදු කළ මේ ලේඛනගත කිරීම නිසාය. මෙසේ ලේඛනගත කර ත්‍රිපිටකය ආරක්ෂා කිරීමත් ඊට පෙර මුඛ පරම්පරාගතව ත්‍රිපිටකය ආරක්ෂා කිරීමත් සිදු කර ඇති ලාංකික බෞද්ධයන්ට ඉදිරි අනාගතය වෙනුවෙන් එය සුරක්ෂිත කර තැබීමටත් උරුමයක් ඇත.

වත්මනෙහි ත්‍රිපිටකය ආරක්ෂා කිරීමට සිදු වී ඇත්තේ එහි භෞතික පැවැත්ම පිළිබඳ උවදුරුවලින් නොව ත්‍රිපිටකය අපයෝජනයට ලක් කිරීම්වලිනි. ත්‍රිපිටකාගත ධර්ම කරුණු හා විශේෂ යෙදුම් කිසිදු ශාස්ත්‍රීය පදනමකින් තොරව විකෘති අර්ථ ගැන්වීම් අද බහුලව දක්නට ඇත. පාලි භාෂාව පිළිබඳව හෝ ත්‍රිපිටක ධර්ම න්‍යාය පිළිබඳ විධිමත් අධ්‍යාපනයක් නොලබා තමන්ට හිතුනු හිතුනු ආකාරයට ලබා දෙන අර්ථකථන පොදු ජනයා නොමග යවයි. එසේ නොමග යවනවාට අමතරව ත්‍රිපිටක ධර්මය පිළිබඳ නිවරදි අවබෝධය ඇත්තේ තමන්ට පමණක් යයි තමන්ම හුවා දක්වයි. පාලි භාෂා රීතියට අනුව යමින් විධිමත්ව ධර්ම විවරණය කරන භික්ෂූන්ව හෙලා දකියි. බුද්ධ දේශනාවේ කේන්ද්‍රීය යෙදුම් කිසිදු ගෞරවයකින් තොරව අර්ථ ලිහිල් කරමින් විකෘති අදහස් ඉදිරිපත් කරයි. උදාහරණයක් ලෙස “පටිච්ච සමුප්පාද” යන බුදු දහමේ වැදගත්ම දහම් න්‍යායට දෙන විහිළු අර්ථකථනය දැක්විය හැක. එහි පටි යනු මිනිසුන් ඉණේ බඳින පටි යන තේරුම ඇති පදයක් බවත් එහි ‘ච’ යන්න වෙනස් කර එම පදයේ ඇත්තේ ඉච්ඡ බවත් දක්වා එම වැදගත් පදයට මෙවැනි තේරුමක් දෙයි. එනම් කැමැත්තෙන් බැඳීම ඇති කරගත් නිසා උපදින යන්නයි. බැලූ බැල්මට ඉතා වැදගත් ප්‍රායෝගික අර්ථකතනයක් සේ පෙනීයයි. නමුත් මෙය න්‍යාය විරෝධීය. පැටලිලි සහගතය. කැමැත්තෙන් බැඳීම නිසා කෙලෙස් සහ සංයෝජන උපදින ආකාරය ත්‍රිපිටකය තුළ මැනවින් දේශනා වී ඇත. කැමැත්තෙන් බැඳීම යන්නට ත්‍රිපිටකය තුළ යෙදී ඇති ධර්මානුකූල වචනය ඡන්දරාග යන්නයි. සත්වයා සසරට බැඳ තබන්නේත් දුක නිර්මාණය කරන්නේත් අභ්‍යන්තර ඉන්ද්‍රියන් හෝ බාහිර අරමුණු නොව මේ දෙක අතර යෙදෙන ඡන්ද රාගය බව එහිදී පැහැදිළි කර ඇත. මෙවැනි විශේෂ යෙදුමක් තිබියදී පටිච්චසමුප්පාද වචනය විකෘති කිරීම විධිමත් අධ්‍යාපනයක් නැති නිසාම සිදුවන්නකි. එවිට පටිච්චසමුප්පාද යන පදයෙන් ගම්‍ය වන විවිධ ප්‍රත්‍යයන්ගේ එක්වීමෙන් විවිධ ධර්ම පහළ වීමට ඉඩ සලසන බව දැක්වෙන ඉදප්පච්චයතා ධර්මතාවය යන අර්ථය වැසී යයි. තවත් කේන්ද්‍රීය බෞද්ධ ඉගැන්වීමක් වන ත්‍රිලක්ෂණය පිළිබඳව ද එවැනිම විකෘති අර්ථකථන ඉදිරිපත් වී තිබේ. අනිච්ච යන පදයේ “ච” යන්න වෙනස් කොට එය අනිච්ජ ලෙස දක්වා එහි අර්ථය “කැමැත්ත ඉටු නොකරන ස්වභාවය” යනුවෙන් අර්ථ නිරූපණය කර ඇත. ලෝකය තුළ අප ලබන ආස්වාදයන් අපේ කැමැත්ත ඉටු නොකරන බව සැබැවින්ම බුද්ධ දේශනාවකි. ත්‍රිපිටකය තුළ “යම්පිංච්ඡං න ලභතී, තම්පි දුක්ඛං” යනුවෙන් එය සඳහන් වේ. බුදු රදහු මේ ස්වභාවය නම් කළේ දුක්ඛ ලෙසයි. මෙවැනි බුද්ධ වචනයක් පැහැදිලිව තිබියදී එය අනිච්ච වචනයට පටලවා ඉදිරිපත් කිරීම ධර්ම විරෝධීය. බුද්ධ වචනයට විරුද්ධව යාමකි. එවිට අනිච්ච පදයෙන් බුදු රදුන් ඉදිරිපත් කළ වැදගත් ඉගැන්වීම වැසී යයි. තිබෙනවා හෝ පවතිනවා යයි අපට මතුපිටින් පෙනෙන ධර්මතා තුළ සැබැවින්ම ඇති උප්පාද වය ලක්ෂණය අනිච්ච පදයෙන් අර්ථවත් වේ. ලොව කිසිවක් සැබවින්ම තිබෙනවා හෝ පවතිනවා නොව වේගයෙන් නැවත නැවතත් පහළ වෙමින් නිරුද්ධ වන බව අනිච්ච පදයෙන් පෙන්වා දේ. ඉහත වැරදි අර්ථකථනයෙන් මේ ගැඹුරු අර්ථය වැසී යයි.

අනත්ත යන පදයට ද එවැනිම දූෂිත අර්ථයක් ආරෝපණය කර ඇත. අනත්ත යන පදය අනත්ථ ලෙස දක්වා එහි තේරුම අර්ථශූන්‍ය හෝ හිස් යනුවෙන් දක්වා ඇත. ලෝකය පිළිබඳව අප ලබන ඉන්ද්‍රිය අත්දැකීම්වල ඇති අර්ථශූන්‍ය හිස් බව ත්‍රිපිටකය තුළ වෙනම විග්‍රහ වී ඇත. “සුඤ්ඤතෝ ලෝකං අවෙක්ඛස්සු” යනුවෙන් මෝඝරාජ සූත්‍රයේදී ලෝකය හිස් ලෙස දකින්නට මග පෙන්වා ඇත. එහෙත් අනත්ත පදයෙන් කියවෙන්නේ එම අර්ථය නොවේ. සූත්‍ර දේශනා අතිවිශාල ප්‍රමාණයක ඇස ආදී ඉදුරන් සහ රූප ආදී අරමුණු මගේය (එතං මම) මම වෙමි (එසෝ හමස්මි) මගේ ආත්මය වේ (එසෝ මෙ අත්තා) යනුවෙන් සැලකිය නොහැකි ස්වභාවය අනන්ත ලෙස විග්‍රහ වී ඇත. ත්‍රිපිටකය තුළ නැවත නැවතත් බොහෝ වාරයක් මෙලෙස විවරණය වන අනත්ත පදයට වෙන අර්ථයක් සැපයීම අතිශයින්ම සාවද්‍යය.

මෙවැනි අර්ථකථන අසන විට පාලි භාෂාව හා සමස්ත ත්‍රිපිටකාගත යෙදුම් පිළිබඳ යම් අවබෝධයක් ඇති අයට ඒවා විහිළු ලෙස හා පදනම් රහිත ලෙස පෙනුනත් සාමාන්‍ය ජනයාට එවැනි වෙනසක් හඳුනාගත නොහැක. ඔවුහු වික්ෂිප්ත වෙති. ධර්මය පිළිබඳව සැක මතු කර ගනිති. තමන්ගේ හිතළු කිසිදු ශාස්ත්‍රීය පදනමකින් තොරව සමාජ ගත කිරීම ඇතැම් කණ්ඩායම් කිසිදු භයක් සැකක් නැතිව සිදු කරයි. වත්මන් තාක්ෂණික දියුණුව සමඟ එවැනි හිතළු සමාජ ගත කිරීම පහසු වී ඇත. මෙවැනි අවදානම් සහිත තත්ත්වයකදී ත්‍රිපිටකය සුරක්ෂිත කිරීම සඳහා වගකිව යුතු පිරිස් මැදිහත්වීම අගය කළ යුත්තකි. ඒ සඳහා රජයෙන් ලැබෙන සහයෝගය ප්‍රශංසනීයය. ත්‍රිපිටකය ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත්කිරීම මගින් හිතුමතේ ත්‍රිපිටකයට සිදු කරන අත ගැසීම් අවම කර ගත හැකිය. එසේම ත්‍රිපිටකය යොදාගෙන වාණිජ අරමුණුවලින් කරන පෞද්ගලික ව්‍යාපාර ද අවම කර ගත හැක.

එහෙත් ත්‍රිපිටකය ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කොට සුරක්ෂිත කිරීම ඉතා පරිස්සමෙන් කළ යුත්තකි. මේ තුළින් නැවැත්විය යුත්තේ ශාස්ත්‍රීය පදනමකින් තොරව සිදු කරන අන්තවාදී අර්ථකථන හා ව්‍යාපාරික අපයෝජනයන්ය. එසේ නැතිව පාලි භාෂා රීතින් තුළ පිහිටමින් සිදු කරන නව අර්ථකථනයන්ට එයින් බාධා පැමිණවිය යුතු නැත. ඉතිහාසය පුරාම බුද්ධ වචනය තේරුම් ගැනීමට විමර්ශනයන් හා උත්සාහයන් සිදු වී ඇත. බෞද්ධ සම්ප්‍රදාය තුළ එවැනි විමර්ශනයන් තහනම් කර නැත. බුද්ධ දේශනාවට අනුවද උන් වහන්සේගේ ධර්මය විමසීමට ශ්‍රාවකයන්ට අයිතියක් ඇත. සිතීමේ හා විමසීමේ නිදහසට බුදු රදහු බාධා කළේ නැත. බුද්ධ වචන “විචටෝව විරෝචතී” විවෘත වූයේම බබලයි. ඇතැම් විට සාම්ප්‍රදායික අර්ථකථනයන්ට එහා ගිය ධර්ම විවරණයක් නිවැරදි ධර්මා‍වබෝධය වෙනුවෙන් ඉදිරිපත් කරන්නට සිදු වේ. එවැනි අවංක හා ධර්මකාමී උත්සාහයන්ට මෙයින් බාධා එල්ලවිය යුතු නැත.

එසේම ත්‍රිපිටකය අද විවිධ විද්‍යාස්ථානවල ශාස්ත්‍රීය විෂයයක් බවට පත්ව තිබේ. ඒවායේ ත්‍රිපිටකගත සූත්‍ර, යෙදුම්, අටුවා විවරණ ගැන පර්යේෂණ සිදුවේ. සාම්ප්‍රදායිකව අප ලබා ඇති දැනුමෙන් තරමක් හෝ ඔබ්බට යන්නට එම පර්යේෂණවලින් උත්සාහ ගැනේ. එවැනි ශාස්ත්‍රීය පදනමක සිට කරන පර්යේෂණ සඳහා ඉඩකඩ තිබිය යුතුය.

එමෙන්ම ත්‍රිපිටකය ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත්වූ පසු ඒ පිළිබඳ තීරණ ගැනීමේ අයිතිය දැන උගත් මණ්ඩලයකට හිමි විය යුතුය. එසේ නැතිව එය කුඩා කණ්ඩායමකට හෝ සංඝ මූලස්ථාන කීපයකට පමණක් සීමා කළොත් ත්‍රිපිටකය සුරක්ෂා කිරීමේ නියම අරමුණු ඉටු කර ගත නොහැක. ඇතැම් දේවවාදී ආගම්වල ආගමික ග්‍රන්ථ දේව වාක්‍ය ලෙස සලකා කුඩා කණ්ඩායමක අර්ථකථනවලට පමණක් සීමා කර තැබීමට සමාන වූ තත්ත්වයට බෞද්ධයන් වූ අප නොයා යුතුය. ත්‍රිපිටකය ආරක්ෂා කරන ගමන්ම එහි විවෘතභාවයන් රැකගැනීමේ සමබරතාවය පවත්වා ගැනීමට අප සිහි තබා ගත යුතුය.

2019 වර්ෂයේ ජනවාරි මස 5 වන දින මාතලේ අලුවිහාරයේදී ත්‍රිපිටකය සුරක්ෂිත කිරීමේ ව්‍යායාමයේ ආරම්භය සනිටුහන් කරන ජාතික උත්සවය සාර්ථක වේවායි ප්‍රාර්ථනා කරන අතර මේ සඳහා මූලිකත්වය ගෙන ශාසනික හැඟීමෙන් කටයුතු කරන අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් ප්‍රධාන රජයට අපගේ ප්‍රශංසාව හිමිවිය යුතුය.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා ලේඛකාධිකාරී,
අත්තංගනේ සාසනරතන
මහා ස්ථවිර,
ශ්‍රී පති පිරිවෙන් මහා විහාරය,
දියකලමුල්ල,
කුලියාපිටිය


නව අදහස දක්වන්න