ඇමැති සාගලගේ ප්‍රගතිශීලී පියවරයන්ට සහාය දක්වනවා | දිනමිණ

ඇමැති සාගලගේ ප්‍රගතිශීලී පියවරයන්ට සහාය දක්වනවා

වරාය හා නාවික ඇමැතිවරයා වශයෙන් පසුගිය මාස 19ක කාලය තුළ ඉතා සැලසුම්සහගතව කරන ලද වැඩපිළිවෙළක ප්‍රතිඵල ළඟාකර ගැනීමේ සුවිශේෂී අවස්ථාවකට කොළඹ වරාය එළඹ සිටින බව වරාය හා නාවික හිටපු ඇමැති මහින්ද සමරසිංහ මහතා පවසයි.

ඒ සඳහා දායකත්වය ලබාදුන් සැමට ස්තුති කරමින් ඒ මහතා නිකුත් කර ඇති නිවේදනයක මේ බව සඳහන් වේ. එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේ ද දැක්වේ.

වසර 39ක ඉතිහාසයක් ඇති ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේ කොළඹ වරාය 2018 වසර තුළ බහලුම් ගොඩබෑමේදී මිලියන 7ක් වන වාර්තාගත වර්ධනයක් ලබා ගැනීමට හැකිවිය.

2016 මැයි මාසයේදී මා වරාය හා නාවික අමාත්‍යවරයා ලෙස වැඩ බාරගන්නාවිට කොළඹ වරායේ වර්ධන වේගය ධන 6.4%ක් වුවත් වරාය අධිකාරිය සතු ජය බහලුම් පර්යන්තය ලබාගෙන තිබුණේ ඍණ 6.4%ක වර්ධන වේගයකි.

කෙසේ නමුත් අපගේ මැදිහත්වීම යටතේ කොළඹ වරාය සංවර්ධනය සඳහා ක්‍රියාත්මක කළ “තුන් අවුරුදු සැලැස්මේ” ප්‍රතිඵලයක් ලෙස 2017 වසරේදී කොළඹ වරාය සමස්ත බහලුම්වල ධන වර්ධන වේගයක් පෙන්නුම් කළේය. එතෙක් ඍණ වර්ධන වේගයක් පෙන්නුම් කළ ජය බහලුම් පර්යන්තය 2017 පළමු කාර්තුව අවසානයේදී 24%ක ධන වර්ධන වේගයක් ද සමස්ත වරාය අධිකාරිය 16.4% ධන වර්ධන වේගයක් ද පෙන්නුම් කළේය.

මෙම වර්ෂය අවසානයේදී ප්‍රතිනැව්ගත බහලු ධාරිතාව 19.3% කින් ඉහළ දැමීමට කොළඹ වරායට හැකිවී තිබේ.

ඒ අනුව මේ වනවිට මිලියන 7ක ඉලක්කය සපුරා ගැනීමට හැකිවීම අපගේ කාලපරිච්ඡේය තුළ ක්‍රියාත්මක කළ වරාය හා නාවික ක්ෂේත්‍රයේ කඩිනම් ජාතික හා ජාත්‍යන්තර වැඩපිළිවළේ ප්‍රතිඵලයක් බව මෙමගින් පෙන්වා දීමට කැමැත්තෙමි.

මෙම ශීඝ්‍ර වර්ධනයේ ප්‍රතිඵලයක් ලෙස 2018 වසර තුළ කොළඹ වරාය ලැබූ සුවිශේෂී ජයග්‍රහණ කිහිපයකි.

එනම් ජාත්‍යන්තර සම්බන්ධිත වරායන් අතර සම්බන්ධතා ගොඩනැගීමේ කාර්යක්ෂමතාවය පදනම් කරගනිමින් ලෝක වරායන් අතර කොළඹ වරායට 13 වන ස්ථානයත් 2018 පළමුව කාර්තුවේ ලබාගත් ශීඝ්‍ර බහාලුම් මෙහෙයුම් වරාය 30ක් අතර පළමු ස්ථානයට පත්වීමට හැකි වීමද අප ලද සුවිශේෂී ජයග්‍රහණයකි. මෙහි ප්‍රතිඵලයක් ලෙස 2018 වසරේදී ශ්‍රී ලංකා වරාය අධිකාරිය අන්තර්ජාතික ඇගයීම් රැසකට පාත්‍ර විය. ගෝලීය වරාය සංසදය (Global port Forum (GPF) විසින් පිදෙන “Port Athority of the year – 2018” සම්මාන‍යද ශ්‍රී ලංකා වරාය අධිකාරියට හිමිවිය.

වරාය හා නාවික අමාත්‍යවරයා ලෙස පසුගිය මාස 19ක කාලය තුළ ඉතා සැලසුම් සහගතව කරන ලද වැඩපිළිවෙළක ප්‍රතිඵල ළඟා කර ගැනීමේ සුවිශේෂී අවස්ථාවකට කොළඹ වරාය පත්ව ඇති මේ අවස්ථාවේ ඒ සඳහා විශිෂ්ට දායකත්වයක් සැපයූ එවකට ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති, වර්තමානයේ වරාය හා නාවික අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය පරාක්‍රම දිසානායක මහතා ඇතුළු අධ්‍යක්ෂක මණ්ඩලයටත්, ඉහළ කළමනාකාරිත්වයට ද ශ්‍රී ලංකා වරාය අධිකාරිය හා ඊට අනුබද්ධ සියලු පර්යන්ත සේවක පිරිස් සඳහා මේ අවස්ථාවේදී මාගේ ස්තුතිය පුදකර සිටිමි.

එසේම වර්තමාන වරාය හා නාවික ඇමැති සාගල රත්නායක මහතාට මාගේ සුබපැතුම් එක් කරන අතර වරාය අධිකාරිය සම්බන්ධයෙන් ඉදිරියේදී ගන්නාවූ ප්‍රගතිශීලී ක්‍රියාමාර්ග සියල්ල සාර්ථක වේවායි ප්‍රාර්ථනා කර සිටිමි.

 


නව අදහස දක්වන්න