ත්‍රිපිටකය! | දිනමිණ

ත්‍රිපිටකය!

ත්‍රිපිටකය ජාතික උරුමයක් බවට පත් කිරීමේ ජාතික උත්සවය අද පැවැත්වෙයි. මෙය ඓතිහාසික අවස්ථාවක් ලෙස සැලැකිය හැකි ය. ලොව පවතින ප්‍රචලිත අදහසක් වන්නේ ථෙරවාදී බුදුදහම හැදෑරීමට සුදුසු ම ස්ථානය ශ්‍රී ලංකාව බව ය. මේ අදහස කෙතරම් පිළිගැනීමට ලක් වී තිබේදයත්; හර්මන් හෙස නම් ජර්මන් ජාතික ලේඛකයා සිය ‘සිද්ධාර්ථ’ නම් නවකතාව රචනා කිරීමට පෙර ශ්‍රී ලංකාවට පැමිණියේ ය. ඔහු බුදුදහමට අදාළ වැදගත් ම කරුණු හා සාධක ශ්‍රී ලංකාවෙන් සොයාගත් බව පසුව සඳහන් කර තිබේ. “සිද්ධාර්ථ” නවකතාව නිසා හර්මන් හෙස ලෝක පූජිත ප්‍රබන්ධ කතාකරුවකු බවට පත් විය. අදත් ඔහුගේ සිද්ධාර්ථ කෘතිය පිළිබඳ නව මතවාද ඉදිරිපත් වෙයි.

බුදුදහම ආරක්ෂා කර ගැනීමට නම්; ත්‍රිපිටකය සුරක්ෂිත කළ යුතු බව අපේ මුතුන්මිත්තෝ අවබෝධ කරගෙන උන්හ. මුඛපරම්පරාගතව පැවැති ත්‍රිපිටකය පුස්කොළ පොත්වල ලියැවෙන්නේ වළගම්බා රාජ්‍ය සමයේ ය. මේ කාර්යය සඳහා පූර්ණ රාජානුග්‍රහය ලැබී ඇති අතර භික්ෂූන් මහත් කැපවීමෙන් එය සිදුකර ඇති බව පැහැදිලි ය. ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කිරීම සම්බන්ධයෙන් ද එතෙක් ඒ දහම මතකයෙන් ගෙන ඒම ගැන ද භික්ෂූන් වහන්සේට බෞද්ධයන් ණය ගැති විය යුතුය. දුර්භික්ෂ සමයන්හි දී පවා මහත් දුෂ්කරතා මැද දහම කට පාඩමින් ඉදිරියට ගෙන ඒම ප්‍රශස්ත කාර්යයකි. ඒ ගැන නැවත - නැවතත් බෞද්ධයන්ගේ ගෞරව පූර්ව නමස්කාරය අපගේ සංඝ සමාජය වෙත පිදිය යුතුව තිබේ.

ත්‍රිපිටකය යනු කුමක් ද? එය බුදුන් වදාළ ධර්මයේ හා බුදුන් අනුදත් දර්ශනයේ හරය යැයි කියන්නට පුළුවන. ත්‍රිපිටකය යන්නෙහි සරල අර්ථය පිටක තුනක් යන්න ය. එම පිටක තුන වන්නේ විනය පිටකය, සූත්‍ර පිටකය හා අභිධර්ම පිටකය යන පිටක තුනයි. විනය පිටකයේ කරුණුවලින් පැහැදිලිවන්නේ භික්ෂු සංඝයා සිය අධ්‍යාත්මික සංවර්ධනය සඳහා හැසිරිය යුතු ආකාරය යි. කය හා වචනය සංවර කරගත යුතු ආකාරය එයින් දැක්වේ. සූත්‍ර පිටකයෙහි ඇත්තේ බුදුන්ගේ දේශනාවන්ය. එම දේශනා කොටස් පහකින් යුතුව දක්වා තිබේ. එනම්; දීඝ නිකාය, මජ්ඣිම නිකාය, සංයුක්ත නිකාය, අංගුත්තර නිකාය, බුද්දක නිකාය ආදී වශයෙන්ය. මේ පිටකය හැදෑරීමෙන් බුදු දහමෙහි දැක්ම වටහාගත හැකි ය.

වඩාත් ගැඹුරු දහම් කරුණු ඇත්තේ අභිධර්ම පිටකයෙහි ය. බුදුදහම ආගමක් පමණක් නොව ලෝකය හා විශ්වය ද ජීවිතය හා ආත්මය ද වටහා ගත හැකි ගැඹුරු දර්ශනයක් ලෙස සැලකේ. ඊට අදාළ කරුණු හා සාධක සංගෘහිත කර ඇත්තේ අභිධර්ම පිටකයෙහි ය. එහි එන කරුණු ප්‍රකරණ ලෙස දක්වා තිබේ. අභිධර්ම පිටකයෙහි එන සියුම් කරුණු ථෙරවාදී දර්ශනය හදාරන සෑම කෙනකුටම පාහේ ඉතා වැදගත් ය. ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල වෙත ද වෙනත් උසස් අධ්‍යාපනික ආයතන වෙත ද එන විදේශීය පර්යේෂකයෝ අභිධර්ම පිටකය පරිශීලනය කරති. එහෙත් අභිධර්ම පිටකයෙහි එන ඇතැම් සියුම් කරුණු ඉගැන්වීමට හැකි ගුරුවරුන් ඇත්තේ ඉතා අඩුවෙන් ය. ඒ ගැන අපගේ බලධාරීන්ගේ අවධානය යොමු විය යුතුය.

අද වන විට ත්‍රිපිටකයේ මුද්‍රිත පොත් මාලාවක් පවතී. මේ මුද්‍රිත පොත් පිළිබඳ ක්‍රියාවලිය ආරම්භ වූයේ 1950 ගණන්වලදී ය. ත්‍රිපිටකය පුස්කොළ පොත්වල සටහන් කිරීම සේම මුද්‍රිත පොත් ලෙස එළිදැක්වීම ද ඉතා වැදගත් ය. මෙලෙස මුද්‍රිත පොත් පළවීමෙන් පසු ඒවාට අර්ථ දැක්වීම සඳහා තවත් පොත් රචනා වී ඇත. එලෙස රචනා වූ පොත් ගැන විවේචන ද පවතී. ඇතැම් පොතකින් අර්ථය විකෘති වී ඇතැ’යි කියති. තවත් පොතකින් අර්ථය වෙනස් කර ඇතැ’යි කියති. ත්‍රිපිටකයට අර්ථ දැක්වීම සම්බන්ධයෙන් විධිමත් ක්‍රමවේදයක් නැති බව පැහැදිලිය. මීට විසැඳුමක් ද ත්‍රිපිටකය ජාතික උරුමයක් කිරීම සමඟ ලැබෙන බව පෙනෙයි. අදින් පසු ත්‍රිපිටකය පිළිබඳ භාරකාරත්වය බුද්ධශාසන අමාත්‍යාංශයට හිමිවෙයි. ඊට අදාළ ග්‍රන්ථ සම්පාදනය ද බුද්ධශාසන අමාත්‍යාංශයට අවශ්‍ය පරිදි සිදුවිය යුතුය. එය යහපත් තීරණයක් ලෙස සැලැකිය හැකි ය.

බුදුදහම විකෘති කරන පොත් - පත් මෙන් ම වෙනත් ප්‍රකාශන ද අද වෙළෙඳ පොළෙහි දක්නට ලැබේ. මේ හැරෙන්නට බුදුදහමට අදාළ කරුණු විකෘතිකොට දේශන පවත්වන අය ද සිටිති. බුදුන්ගේ දේශනාවලට නොයෙක් අර්ථ සපයමින් දහම හෑල්ලුවට ලක් කරන පිරිස් ද සිටිති. මේවා සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට නෛතික ප්‍රතිපාදන පවතින්නේ වුව එවැන්නක් සිදු වන බවක් පෙනෙන්නට නැත. ත්‍රිපිටකය ජාතික උරුමයක් බවට පත්කොට එහි වගකීම බුද්ධශාසන අමාත්‍යාංශයට පැවරීමෙන් පසු බුදුදහම විකෘති කරන අයට එරෙහිව නීතිමය පියවර ගැනීමේ බලය ද ඊට ලැබෙනු ඇත. ලෝකයේ විශිෂ්ට දර්ශනයක් ලෙස සම්භාවනාවට පාත්‍ර වී ඇති බුදු දහම විකෘති කිරීමට කිසිවකුට අයිතියක් නැත.

ශ්‍රී ලංකාව ඈත අතීතයේ සිටම බෞද්ධ සංස්කෘතියකට අනුගතව සාම-කාමී රාජ්‍යයක් ලෙස පැවැතියේය. විවිධ හේතු නිසා වරින්-වර දේශපාලන අර්බුද හටගත්තේ වුව සෑම රාජ්‍ය පාලකයෙක්ම ශාසනය සුරක්ෂා කිරීමට බැඳී සිටියේ ය. අපේ සංස්කෘතිය හඳුන්වා තිබුණේ වැව හා දාගැබ මූලික කරගත් දෙයක් හැටියට ය. වැවෙන් ආර්ථික සමෘද්ධියත්, දාගැබෙන් අධ්‍යාත්මික සුවයත් අපේක්ෂා කෙරේ. අප නැවතත් අපට හුරුපුරුදු යහපත් සංස්කෘතිය වෙත ඇදී යන බවක් පෙනෙන්නට තිබේ. ජනාධිපතිවරයා, අගමැතිවරයා මෙන්ම කැබිනට් මණ්ඩලය ද ත්‍රිපිටකය ජාතික උරුමයක් කිරීමට ඒකමතික කැමැත්ත ප්‍රකාශ කර සිටිති. එය යහපත් ප්‍රවණතාවක් ලෙස ද සැලැකිය හැකිය.

බුදුන් පිරිනිවීමට පෙර භික්ෂූන් වෙත ලබා දුන් ආදර්ශය වූයේ ධර්ම විනය ශාස්තෘන් ලෙස සලකා ක්‍රියා කරනු යන්න ය. ඒ අනුව බෞද්ධයාගේ වැදගත්ම සාධකය ධර්මය වන්නේ ය. බෞද්ධයා එම ධර්මය ගුරු කොට ජීවත්විය යුතු වන්නේ ය. ධර්මය මුළුමනින්ම සටහන් වී ඇත්තේ ත්‍රිපිටකය තුළය. ත්‍රිපිටකය විනාශ නොකර මෙන්ම විකෘති නොකොට ආරක්ෂා කිරීමේ අයිතිය හා බලය රජය ලබාගෙන තිබේ. එය උත්සවශ්‍රීයෙන් සැමරීමද වැදගත් වන්නේ ය.

 

නව අදහස දක්වන්න