දිනන හැටි කියා දී දිවිමගෙන් පැරදුණා | දිනමිණ

දිනන හැටි කියා දී දිවිමගෙන් පැරදුණා

ෆවුස් මොහොමඩ්

පසුගිය මාස කිහිපයක් පුරාම ඉන්ඩියානා ප්‍රාන්තයේ සෑම නිවසකම විසිත්ත කාමරයේ කතා බහට ලක්වූයේ ට්‍රෙන්ට් ගැනය. ඔහුගේ පුදුමාකාර දිරිය සම්පන්න මනස ගැනය. එය කාහටත් අපරිමිත උත්තේජනයක් ලබා දුන්නකි. දිරිගැන්වීමට අමතරව ට්‍රෙන්ට් අනාවැකි පළකරන්නකු ලෙසත් ප්‍රචලිත වන්නට විය. තරගයෙන් තරගයට ඔහු පළ කළ අනාවැකි සැබෑ වෙද්දි පර්ඩියු කණ්ඩායම ජයග්‍රහණ පිට ජයග්‍රහණ අත්කරගත්තේය.

අමෙරිකාවේ ඉන්ඩියානා ප්‍රාන්තයට ඊයේ උදාවූයේ මහා අඳුරු දවසකි. පසුගිය වසරක කාලයක සිට හිටිහැටියේම පාපන්දු ක්‍රීඩාවේ පෙරළිකාර කණ්ඩායමක් බවට පත්වූ එම ප්‍රාන්තයේ පර්ඩියු ක්‍රීඩා සමාජයේ ක්‍රීඩකයන් සියලුදෙනාම ඊයේ සිටියේ හැඬූ කඳුළින් යුතුවය. ඔවුන් මේ වනවිට අමෙරිකාවේ කාගෙත් සිත් දිනාගත් කණ්ඩායම බවට පත්වූවත් ඔවුන්ට එවැනි හපන්කමක් කිරීමට පුදුමාකාර දිරිගැන්වීමක් ලබාදුන් අවුරුදු 20ක හුරුබුහුටි තරුණයා කාටත් නොකියාම ජීවිතය හැරදා යන්නට ගියේ පෙරේදා රාත්‍රියේය.

ටයිලර් ට්‍රෙන්ට්...!

මේ තරුණ හාදයා පර්ඩියු ක්‍රීඩකයන්ට දිනන හැටි කියා දුන් අපූරු උපදේශකයකු බවට පත්වී සිටියේ වසරකට පෙර සිටය. ඔහු සිය ප්‍රියතම කණ්ඩායම සහභාගි වන සෑම තරගයකටම ගියේය. ඒ සෑම අවස්ථාවකදීම කණ්ඩායම ඔහුගෙන් බලාපොරොත්තු වූයේ සහභාගිත්වය නොඑසේනම් පෙනී සිටීම පමණි. ඔල්වරසන් හඬදීම, අත්පොළොසන් හඬ දීම ඔවුහු බලාපොරොත්තු නොවූහ. ඇරත් එසේ කිරීමට තරම් ශක්තියක් මේ තරුණයාට තිබුණේම නැත.

ඔහු පිළිකා රෝගියෙකි. ඔහුට සිය කණ්ඩායම වෙනුවෙන් ජයඝෝෂා නැගීමට ප්‍රාණවත් හඬක් නොතිබිණි. ඉහළට ඔසවා ප්‍රීතිය පළ කිරීමට දෑත් වාරු නැත. කාටත් පෙනෙන ලෙස නැගී සිටිමින් සිය ආදරණිය ක්‍රීඩකයන් දිරිගැන්වීමට දෙපා වාරු නැත. ඔහු සිටියේ රෝද පුටුවකය. එහෙත් ඔහු තම දීප්තිමත් තියුණු දෑසින් හා ශක්තිමත් මනසින් ක්‍රීඩකයන් දිරිගැන්වූයේය.

20 හැවිරිදි ට්‍රෙන්ට් සිය නව යොවුන් විය එහෙම පිටින්ම ගෙවා දැමුවේ ඇටමිදුලු පිළිකාවෙන් පීඩා විඳිමිනි. ඔහුට මේ අභාග්‍ය සම්පන්න ඉරණමට මුහුණදීමට සිදුවූයේ පර්ඩියු ක්‍රීඩා සමාජයේ විශිෂ්ට ක්‍රීඩකයකු බවට පත්වීමට තිබුණු අපූරු සිහිනය මුළුමනින්ම බිඳ දමමිනි. එහෙත් දිරිමත් මනසකින් යුතු මේ අපූරු තරුණයා තම සිහිනයට වෙනම පාටක් එකතු කරගත්තේය. ක්‍රීඩා කිරීමට නොහැකි තරමට ඔත්පල වන්නට පටන් ගැනීමෙන් පසුව ඔහු කල්පනා කළේ කණ්ඩායම වෙනුවෙන් කළ හැකි වෙනත් සේවයක් ගැනය. අවසානයේදි ඔහු පර්ඩියු කණ්ඩායමේ විශාලතම හා එකම දිරිගන්වන්නා බවට පත්වූයේ සියලුදෙනාගෙම ආශිර්වාදය මැදය.

ක්‍රීඩා කිරීමට නොහැකි තැන ඔහුගේ සිත ඇදී ගියේ පර්ඩියු කණ්ඩායමේ දස්කම් ගැන ලියමින් ක්‍රීඩා වාර්තාකරුවකු වීමටය. මියෙනතුරුම ඔහු ඒ සිහිනය දකිමින් සිටියේය.

ක්‍රීඩා කිරීමේ දිරියත්, ශක්තියක් ඔහුගෙන් ගිලිහී ගියත් ඔහුට තිබුණේ පරිණත මනසකි. මනස පිරි තිබුණේ සුභවාදි ආකල්ප වලිනි. එරට මිලියන ගණනාවක් අභිප්‍රේරණය කිරීමට තරම් ට්‍රෙන්ට් උපන් හපනකු විය. කවුරුත් ඔහු හැඳින්වූයේ පර්ඩියු කණ්ඩායමේ සුපිරි රසිකයා නමිනි. කළක් අමෙරිකානු පාපන්දු ලීග් තරගාවලියේ සෑම තරගයකින්ම පරාජයේ ආගාධයට වැටී සිටි පර්ඩියු කණ්ඩායම දිරිගන්වා ඉහළට ඔසවා තැබු මේ අපූරු තරුණයා ඕල්ඩ් ඕක්න් බකට් කණ්ඩායම සමග පැවැති තරගයේදි ගෞරවනීය නායකයා ලෙස නම් කර තිබූ අතර කාගෙත් නළල් තල රැළිගන්වමින් එම තරගයෙන් පර්ඩියු කණ්ඩායම විස්මිත ජයක් අත්කරගත්තේය.

තරගයේදි ඔහු සිදුකළ අමුතු කාර්යයක් තිබුණේ නැත. එහෙත් තරගයට පෙර ඔහු කණ්ඩායම සමග කතා බහ කළේය. ක්‍රීඩාලෝලින්ගේ දෑස් කඳුළින් නැහැවී යන ආකාරයෙන් ක්‍රීඩකයන් දිරිමත් කළේය. ක්‍රීඩකයන් එම තරගය ජයගත්තේ ඉන් ලැබුණු දිරිගැන්වීමෙනි. තරගයෙන් පසුව ඔහුට ඉන්ඩියානා ප්‍රාන්තයේ පුරවැසියකුට ලැබිය හැකි ඉහළම ගෞරව සම්මානයත් ලැබුණේය.

‘ඔහුට ජීවත් වෙන්න පුදුමාකාර ආසාවක් තිබුණා. ඒ වගේම පර්ඩියු කණ්ඩායම අමෙරිකානු පාපන්දු පිටියේ නොම්මර එකේ කණ්ඩායම බවට පත්වීම දැකීමට බලාපොරොත්තු පිට බලාපොරොත්තු පොදි බැන්ඳා. ‘ පර්ඩියු කණ්ඩායමේ සගයකු වු ජෙමී රෙන්බර්ගර් එසේ කියන්නේ කඳුළු පිරි දෑසින් යුතුවය.

වසර 1998 සැප්තැම්බර් මාසයේ 7 වැනිදා උපන් මේ අවාසනාවන්තයා ට්‍රෙන්ට් පවුලේ වැඩිමල් දරුවා විය. 2014 ගිම්හානයේදී අමෙරිකානු පාපන්දු ක්‍රීඩාවේ නිරතව සිටියදී සිය දකුණු අතේ හටගත් දරුණු වේදනාවක් නිසා ඔහුට රෝහල්ගතවීමට සිදුවී තිබිණි. දින කිහිපයක් ගත වෙද්දි ඒ වේදනාව මුළු සිරුරටම දැනෙන්නට විය. ඇට මිදුලි කකියන්නට විය. දකුණු අත මුළුමනින්ම අප්‍රාණික වෙද්දි වෛද්‍යවරු රෝගය සොයා ගත්තේය.

අනතුරුව සැත්කම් ගණනාවකට භාජනය වන්නට ඔහුට සිදුවී තිබිණි. වැඩි කල් යාමට මත්තෙන් ඔහුගේ ජීවිතයම රෝද පුටුවකට සීමා විය. මේ අසරණ තරුණයා තම කණ්ඩායම වෙනුවෙන් සිහින පොදි බඳින බව දැනගත් පර්ඩියු පාපන්දු කණ්ඩායම එදායින් පසුව ට්‍රෙන්ට් අත්හැරියේම නැත. පසුගිය අමෙරිකානු ලීග් පාපන්දු පිටියේ පර්ඩියු කණ්ඩායම ක්‍රීඩාකළ සෑම තරගයකදීම මුල්තැන ලැබුණේ ට්‍රෙන්ට්ගේ සහභාගිත්වයටය. ඔහු වෙනුවෙන් විශේෂ අසුනක් සෑම තරගයකදීම වෙන්කර තිබිණි. එම අසුනටවී ට්‍රෙන්ට් සිය කණ්ඩායම දිරිගැන්වූයේ පුදුමාකාර සතුටකිනි.

පසුගිය මාස කිහිපයක් පුරාම ඉන්ඩියානා ප්‍රාන්තයේ සෑම නිවසකම විසිත්ත කාමරයේ කතා බහට ලක්වූයේ ට්‍රෙන්ට් ගැනය. ඔහුගේ පුදුමාකාර දිරිය සම්පන්න මනස ගැනය. එය කාහටත් අපරිමිත උත්තේජනයක් ලබා දුන්නකි. දිරිගැන්වීමට අමතරව ට්‍රෙන්ට් අනාවැකි පළකරන්නකු ලෙසත් ප්‍රචලිත වන්නට විය. තරගයෙන් තරගයට ඔහු පළ කළ අනාවැකි සැබෑ වෙද්දි පර්ඩියු කණ්ඩායම ජයග්‍රහණ පිට ජයග්‍රහණ අත්කරගත්තේය.

‘ටයිලර් ට්‍රෙන්ට් අපේ ජීවිතවලට එකතු වුණේ ඔහු වගේම දැඩි ආත්ම ශක්තියක් අපේ ජීවිතවලට ලැබුණු නිසා. ඒක ලැබුණේ ඔහු නිසාමයි. තරග දිනන හැටි පුහුණුකරුට වඩා හොඳින් ඔහු අපිට කියා දුන්නා. අපි දිනන බවට ඔහු තරගයෙන් තරගයට අනාවැකි පළකරන්න ගත්තම ඒක අපේ මනසට තදින්ම කාවැදුණා. අන්තිමට අපිට ඕන කළේ ඔහු තරමටම අපිත් ශක්තිමත් කියලා පෙන්වන්නයි. ඔහු පිළිකාවට මුහුණදුන් ආකාරය බලද්දි එහෙම පිටින්ම වීරයෙක් බව අපිට දැනුණා. පර්ඩියු කණ්ඩායමේ නායකයා එසේ කීවේය.

ටයිලර් ට්‍රෙන්ට් ජාතික වීරයෙක් බවට පත්වූයේ ඔහියෝ ප්‍රාන්ත පිල සමග පැවැති තරගයෙන් තම කණ්ඩායම ජයගන්නා බවට පළ කළ අනාවැකිය සැබෑවීමත් සමගය. එය සැබෑවක් වන්නට කොහෙත්ම ඉඩක් නොතිබුණු තරගයක් විය. ඔහියෝ පිල පසුවූයේ පර්ඩියු කණ්ඩායමට වඩා ගව් ගණනාවක් ඉදිරියෙනි. එහෙත් අන්තිමට තරගය ජයගත්තේ පර්ඩියු කණ්ඩායමය. එය කවුරුත් හැඳින්වූයේ ‘upset‘ තරගය ලෙසටය.

‘ඔහු අපේ එකම වීරයා.‘ තරගයෙන් පසුව පර්ඩියු කණ්ඩායම එක හඬින් එසේ කීවේය.

‘ඔහුට වුවමනා වුණේ හොඳ ක්‍රීඩා වාර්තාකාරයෙක් වෙන්නයි. මරණය අත ළඟ බව දැන දැනත් ඔහු ඒ සිහිනය බිඳ ගත්තේ නෑ. ඔහු කීවේ මම තාම ජීවත් වෙනවා කියලයි.‘ පර්ඩියු පිලේ කළමනාකරු එසේ කීවේය.

ඔහුගේ අවසන් දින කිහිපය ගෙවී ගියේ කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ, හිතමිතුරන්ගේ සහ පවුලේ සාමාජිකයන්ගේ ආදරය මැදය. පසුගිය නත්තලට ඔහුට ලැබුණු තෑගිබෝගවලින් හා අමුත්තන්ගෙන් නිවස පිරී ගියේය.

පර්ඩියු පිල ඉහළට ඔසවා තබමින් තරග දිනන හැටි ඔවුන්ට කියා දුන් ටයිලර් ට්‍රෙන්ට් සිය ජීවිත කතාව ලියන්නට ගත්තේ මරණයට දින කිහිපයකට කළිනි. ඔහු එය නම් කළේ ‘upset‘ නමිනි. මේ පොත අලෙවි කර පිළිකාව වෙනුවෙන් කෙරෙන පර්යේෂණ සඳහා ඩොලර් මිලියනයක් පරිත්‍යාග කිරීම අවාසනාවන්ත තරුණයාගේ බලාපොරොත්තුව වී තිබිණි.

එහෙත් ඊට පෙර මරණය ඔහු කරා ආවේය. තරග දිනන හැටි සිය කණ්ඩායමට කියා දුන් ටයිලර්ට ජීවිතය දිනන්න නොහැකිවීම අතිශය වේදනාකාරි සිදුවීමකි. අවසන් මොහොතේදි පවා ඔහු සොයමින් සිටියේ ජීවිතයට අලුත් පැහැයකි.

නව අදහස දක්වන්න