මිතුරුකම වෙනුවෙන් යතුරු තෑග්ගක් | දිනමිණ

මිතුරුකම වෙනුවෙන් යතුරු තෑග්ගක්

ඇමරිකන් හස්ල් 49

එදින සවස ගුඩ් ෆ්ලොරිඩා බලා ආවේ ඇබ්ස්කැම් මගඩියේ අලුත්ම ජවනිකාව රඟ දැක්වීමට එක්වූ අලුත් නිලධාරීන් කිහිපදෙනකු ද සමඟය. ‘ලෙෆ්ට් හෑන්ඩ්‘ නෞකාව නැංගුරම්ලා තිබුණු වෙරළට සැතපුම් කිහිපයක් ඔබ්බෙන් වූ ලැගුම්හලක හේ ‘බෝට්ටු සාදයේ අණදෙන මධ්‍යස්ථානය‘ පිහිටුවා ගත්තේ, බොබ් ෆිට්ස්පැට්‍රික් සමඟය. එමීර්ගේ නැවේ කපිතාන් ඇතුළු කාර්ය මණ්ඩලය ලෙස රංගනයේ යෙදෙන සිය නිලධාරීන් පිරිස වෙනුවෙන් ආකර්ශනීය නිල ඇඳුම් ඇණවුම් කළේ ෆිට්ස්පැට්‍රික්ය. එමීර්ගේ නිල ඡායාරූප ශිල්පියාගේ භූමිකාව තවත් බියුරෝ නිලධාරියකුට පැවරිණි. සියල්ලන්ම සිටියේ සූදානමිනි.

සියල්ල සූදානම් නෞකා අංගණ සාදයට සතියක් තිබියදී, පාන්දර තුනට පමණ වෙයින්බර්ග් නින්දෙන් අවදිවූයේ දුරකතනය හඬ තැලීම නිසාය. ඇමතුම මයාමි කාර්යාලයේ එෆ්.බී.අයි. නිලධාරියකුගෙන් වූ අතර පාන්දර ජාමේ අවේලාවේ ඔහු ගෙනැවිත් තිබුණේ වෙයින්බර්ග් කිසිදා අසන්නට බලාපොරොත්තු නොවූ අසුබ පුවතකි. ඔහුගේ ආරංචියට අනුව නැවේ ගින්නක් හටගෙන තිබිණි. කඩිනමින් හැඳ පැලඳගත් වෙයින්බර්ග් වහා ඩෙල්රේ වෙරළට පියෑඹූවේය. බලාපොරොත්තු වූ තරම් හානියක් ගින්නෙන් සිදුව නොතිබුණත්, නෞකාව කළු පැහැති තෙල් සහිත දැලිවලින් වැසී තිබිණි. වෙයින්බර්ග්ට දැණුනේ හදවත දැවීගියා බඳු හැඟීමකි. නමුත් වෙයින්බර්ග් යනු කිසිවකින් අධෛර්ය වන අයෙක් නොවේ.

පසු දින වෙයින්බර්ග් නැව් තට්ටුව මත සිටියේ මයාමි කාර්යාලයේ බොබ් ෆිට්ස්පැට්‍රික් හා ඇන්තනි ඇමරොසෝ සමඟ සිදුව ඇති විනාශය විමසා බලමිනි. ගින්නෙන් සිදුව තිබූ හානිය පිළිසකර කිරීම කෙසේවතුදු, දුමෙන් කළු ගැසුණු නැව සතියකට කලින් පිරිසුදු කර ගැනීම දැවැන්ත අභියෝගයක් විය.

“තිබ්බා වගේ සුද්ද කරගන්න කාලේ තිබුණත් ඒකට ඇතිවෙන සල්ලියක් අතේ නැති එකයි ලොකුම ප්‍රශ්නේ.“ ඇමරොසෝ පැවසුවේ මෙවැනි අකරතැබ්බයකදී ගුඩ් කියන්නට තිබුණු දෙයම අනුකරණය කරමිනි. නමුත් ඊට වඩා සුබවාදී ආකල්ප දැරූවකු වූ ෆිට්ස්පැට්‍රික්ට වෙනත් විසඳුමක් තිබිණි.

“මෙල්, අපිට බැරිද පාටි එකට එන අයගෙන් නැව සුද්ද කරන්න ගාණක් කඩාගන්න.“

“පිස්සුද බොබ්, හිතන්නවත් එපා. මේ තක්කඩියන්ගෙන් සල්ලි කඩාගන්නවාට වැඩිය ඉබ්බෙක්ගෙන් පිහාටු ගන්න එක ලේසියි. උන් බලාගෙන ඉන්නේ අපෙන් කීයක් හරි කඩාගන්න මිසක්, අපිට සල්ලි දෙන්න නෙවෙයි.“

මඳක් කල්පනා කරමින් සිටි වෙයින්බර්ග් දුරකතන කුටියක් වෙත ගොස් ඇමතුමක් ලබා ගත්තේය. ඒ බුමුතුරුණූ පිරිසුදු කිරීමේ ව්‍යාපාරයකට අත ගසා සිටි පැරණි මිතුරකුටය.

“හේයි මචං, තමුසේ ගාව තියෙන හුමාලෙන් පිරිසුදු කරන මැෂින්වලට පුළුවන් වෙයිද නැවක දැලි සුද්දකරන්න ?“

“බැරිවෙන එකක් නැහැ. ට්‍රයි එකක් දීලා බලමු. මම හෙට උදේම මිනිස්සු හයදෙනකුයි, ට්‍රක් දෙකකුයි අරගෙන වැඩේට එන්නම්.“

“කියලවත් කරගන්න බැරි උදව්වක් මචං. බොහොම ස්තූතියි. වැඩේ ඉවර වුණාම මට ගාණ කියපං. “

සාදය සාර්ථක වන බවට වෙයින්බර්ග් තුළ තිබුණේ දැඩි විශ්වාසයක් සේම හිතුවාටත් වඩා දූෂිතයන් දැලේ දා ගැනීමට මෙම සාදය නිසා හැකි වුණොත් බියුරෝව කිසිම කතාවක් නැතිව වැය වූ සියලු වියදම් අන්තිම සතයටම ගෙවාදමන බවද හේ විශ්වාස කළේය. නමුත් පූරුවේ කරුමයකට හෝ බලාපොරොත්තු කඩවුණොත්? එවිට අත්වන ඉරණම ගැන වදවීම වෙයින්බර්ග් පසුවට කල් තැබීය. ඉන් දින කිහිපයකට පසු වෙයින්බර්ග් ඇමතූ ගුඩ් දන්වා සිටියේ අවසන් මොහොතේ බියුරෝව සාදයට අනුමැතිය දුන් බවයි. මේ වන විට වෙයින්බර්ග්ට ඇබ්ස්කැම් මගඩිය විනෝදයක් බවට පෙරළී තිබුණද, ගුඩ් සම්බන්ධයෙන් නම් පටන්ගත් දා සිටම එය අරගලයක් විය. නමුත් වෙයින්බර්ග් ගැන ඔහු තුළ වූ විශ්වාසය එන්න එන්නම දලුලන්නට පටන්ගෙන තිබූ අතර මේ වන විට එය විස්මයක් දක්වා වර්ධනය වී තිබුණේ කිසිවකුට සමකළ නොහැකි වෙයින්බර්ග්ගේ දක්ෂතා නිසාමය. සාදය පැවැත්වීමට අනුමැතිය ලැබුණත් තවමත් බියුරෝවේ ඉහළ පුටු අතර ඒ සම්බන්ධයෙන් හටගෙන තිබුණු වාදයේ උණුසුම පහව ගොස් තිබුණේ ද නැත. එක් හේතුවක් වූයේ එවැන්නක් ඊට පෙර කෙදිනකවත් සිදුව නොතිබීමයි. ඒ මදිවාට ඇමරිකානු දේශපාලන කරළියේ ප්‍රබලයකු ලෙස සැලකෙන සෙනේට් සභිකයකුද ඊට පැටලී සිටියේය. ඒ වන විට එෆ්.බී.අයි. ආයතනය මුහුණදී සිටි ආන්දෝළනාත්මක වාතාවරණය මැද මෙවැන්නකින් බියුරෝවද තවදුරටත් ලැජ්ජාවට පත්වීමේ අවදානමක්ද නොතිබුණාම නොවේ. නමුත් වෙයින්බර්ග් යනු ප්‍රාතිහාර්ය පෑමේ දක්ෂයකු බව ගුඩ් තදින්ම විශ්වාස කළේය. දීර්ඝ වශයෙන් කළ සාකච්ඡාවලින් පසු සාදයට අනුමැතිය දීම මඟින්, බියුරෝවේ ඉහළ අයවලුන් පවා කර ඇත්තේ එම විශ්වාසය තහවුරු කිරීමය. ගුඩ් එය සැලකුවේ තමාට සහාය දැක්වීමක් වශයෙනි.

එදින සවස ගුඩ් ෆ්ලොරිඩා බලා ආවේ ඇබ්ස්කැම් මගඩියේ අලුත්ම ජවනිකාව රඟ දැක්වීමට එක්වූ තවත් අලුත් නිලධාරීන් කිහිපදෙනකු සමඟය. ‘ලෙෆ්ට් හෑන්ඩ්‘ නෞකාව නැංගුරම්ලා තිබුණු වෙරළට සැතපුම් කිහිපයක් ඔබ්බෙන් වූ ලැගුම්හලක හේ ‘බෝට්ටු සාදයේ අණදෙන මධ්‍යස්ථානය‘ පිහිටුවා ගත්තේ බොබ් ෆිට්ස්පැට්‍රික් සමඟය. එමීර්ගේ නැවේ කපිතාන් ඇතුළු කාර්ය මණ්ඩලය ලෙස රංගනයේ යෙදෙන සිය නිලධාරීන් පිරිස වෙනුවෙන් ආකර්ශනීය නිල ඇඳුම් ඇණවුම් කළේ ෆිට්ස්පැට්‍රික්ය. එමීර්ගේ නිල ඡායාරූප ශිල්පියාගේ භූමිකාව තවත් බියුරෝ නිලධාරියකුට පැවරිණි. සියල්ලන්ම සිටියේ සූදානමිනි.

එරිචෙට්ටි කල් ඇතිවම සාදයට වාර්තා කළේ ගුචියෝන්ගේ කැසිනෝ අවන්හලේ කළමනාකරු වූ ටෝනි ටෝර්කැසියෝ හා සිය ඥාති පුතු සමඟය. ඒ 1979 මාර්තු 22දා එනම් සාදයට දින දෙකක් තිබියදීය. තෙම්පරාදු කළ එළගව-මී ගව දෙමුහුන් මස් මලු දෙකක්ද බරට බරේ දෑතින් ගත් කාර්පෙන්ටියර්ද එදින සවස්වන විට පැමිණියේ ව්‍යාපාරික සහකරු ඇතුළු තවත් සගයින් කිහිපදෙනකුද පිරිවරාගෙනය. සාදය ළංවෙද්දී ආරාධිතයින් එකා දෙන්නා බැගින් හෝටලයට වාර්තා කරන විට වෙයින්බර්ග්, මැකාති හා ඇමරෝසෝට වැඩ වැඩි වන්නට විය. අමුත්තන් නවාතැන් ගත් කාමරයෙන් කාමරයට යමින් ඔවුන් පිළිගනිමින් සුබපැතීමට තිදෙනාම යුහුසුළු වෙද්දී, හුවමාරු වූ හැම දෙබසක්ම වචනයක් නෑර පටිගත කිරීමට හඬ පටිගත කිරීමේ යන්ත්‍රවල රෝද කරකැවුණේ තරගයට මෙනි.

සාදයට පෙරාතුව දවස් දෙක වැඩිකොටම ගෙවීගියේ එරිචෙට්ටි සමඟ කතාබහටය. තමාට සැපයෙන තරුපහේ සේවාවන් ගැන එරිචෙට්ටි සිටියේ අසීමිත ප්‍රීතීයෙන් බව කිසිවකුට රහසක් නොවීය. තමා සහ සෙනේට් සභික විලියම්ස් එමීර් වෙනුවෙන් කළ ආරාධනය පිළිගෙන ෆ්ලොරිඩා බලා ආවේ, නිව් ජර්සි නුවර පැවැත්වෙන වැදගත් දේශපාලනික කටයුත්තක්ද මඟහැර බව එරිචෙට්ටි කියද්දී වෙයින්බර්ග් හා ඇමරොසෝ කල්පනා කළේ ලද අවස්ථාවෙන් තවත් දූෂිතයකු බාගන්නේ කෙසේද කියාය. කැසිනෝ කමිටුවට බලපත්‍ර සඳහා ගෙවිය යුතු ඩොලර් ලක්ෂයේ අල්ලස කෙළින්ම ලබාගැනීමට සභාපති කෙනත් මැක්ඩොනල්ඩ් ලොන්ග් අයිලන්ඩ් වෙත ගෙන එන ලෙස වෙයින්බර්ග් සීරුමාරුවට කළ යෝජනාව නගරාධිපතිවරයා පිළිගත්තේය. ඒ මෙතෙක් කලක් මැක්ඩොනල්ඩ්ට ලබාදෙමින් තිබූ ආරක්ෂාව පළමුවරට ඇබ්ස්කැම් හමුවේ පළුදු කරගනිමිනි.

“ඔයාලා ඔය තරම් කියනවා නම් මම කෙනත්ව එක්කගෙන එන්නම්. හැබැයි මිනිහා සල්ලි ගන්න උඩට එන එකක් නැහැ. එයා වෙනුවෙන් මම සල්ලි භාරගන්නකම් මිනිහා කාර් එකට වෙලා ඉඳීවි. සල්ලි දුන්නයින් පස්සේ ලයිසන් හම්බවෙන එක ගැන කතා දෙකක් නැහැ කියලා අබ්දුල්ට කියන්න. ඒ කියන්නේ නිව් ජර්සි ප්‍රාන්තෙම ඔයාලගේ අතේ. කැසිනෝ කොමිසමේ ඡන්ද ටික අතට ගන්න එක කෙනත්ගේ වැඩක්. ඒකට තව කී දෙනකුගේ අතපය තවන්න වෙනවාද කියන එකත් එයාගේ වැඩක්.“

පටිගත කෙරුණු කතාබහ අතර සුවිශේෂී වූයේ එරිචෙට්ටි හා ටෝකැසියෝ සමඟ කළ සංවාදයයි. දෙදෙනාටම අවශ්‍ය වුණේ මොනයම් විදිහකින් හෝ ගුචියොන්ගේ කැසිනෝ අවන්හල ඉදිකිරීමට අවශ්‍ය මුදල් අබ්දුල්ගෙන් කොටා ගැනීමටය. එහි හිලව්වට අවන්හලෙන් සතිපතා ලැබෙන ආදායමෙන් ඩොලර් අසූදහස බැගින් පන්නා දීමට ටෝර්කැසියෝ දිව්රන අයුරු වෙයින්බර්ග් හා ඇමරොසෝ බලාගෙන සිටියේ සිත යටින් සිනාසෙමිනි. සූදු අන්තුවන්ගේ රජදහන වන ලාස් වේගාස් නුවර ට්‍රොපිකානා කැසිනෝ ජාලයේ හිටපු කළමනාකරු ලෙස හොර මගඩිවලින් හොඳහැටි පදම්ව සිටි ටෝකැසියෝට එවැනි කපටි වැඩ මහා දෙයක් වූයේ නැත. ගුචියෝන්ගේ කැසිනෝ අවන්හල් කළමනාකරු ලෙස සිටිමින් ප්‍රධානියාගේ ඇස් වසා මුදල් ගසාගත හැකි විවිධ ආකාර ගැන ටෝර්කැසියෝ විස්තර කළේ, එවැනි අත්දැකීම් බහුල පරිණත අයකුගේ විලාශයෙනි. මීට පෙර එරිචෙට්ටිද මේ පොරොන්දු පත්‍රයම වෙයින්බර්ග් හා ඇමරොසෝට දී තිබුණු නිසා ටෝර්කැසියෝගේ දිව්රිල්ල එහි සත්‍යතාව සනාථ කළේය.

“මම කවදාවත් මගේ යාළුවන්ට බොරු කරන්නේ නැහැ. දෙනවා කිව්වොත් දෙනවම තමයි. මට සල්ලි හම්බවෙනවා කියන්නේ යාළුවොත් නිකම්ම ගොඩයනවා කියන එකයි. හිතලා බලන්න සතියකට ඩොලර් අසූදහක් මම ඔයාලා දෙන්නට දෙනවා, අනික ඒවා බදු රහිත ආදායම්! ඔයාලට ආයෙත් කවදාවත් සල්ලි හොයන්න මහන්සි වෙන්න ඕනේ නැහැ. වැඩේ කොහොමට හිටීවිද ? “

කතාව තවත් දිග්ගැසෙද්දී වෙයින්බර්ග් ක්‍රමානූකූලව එහි ගියර මාරුකළේ පසුදින යසීර් විසින් එරිචෙට්ටිට තෑගිකරන්නට යන පාරම්පරික කිණිස්ස වෙතටය. රත්රන් අත්ඔරලෝසුවකට වඩා අරාබි සාම්ප්‍රදායික පවුලේ උරුමයක් කෙතරම් වටින්නේද යන්න වෙයින්බර්ග් කොයිතරම් උලුප්පා විස්තර කළාද යත් තමාද යසීර්ට කිසිවක් තෑගිකළ යුතු බව එරිචෙට්ටි දැනෙන්නට විය.

“අපේ එමීර් නගරාධිපතිතුමාට ඔය දෙන්න යන කිණිස්ස එසේ මෙසේ එකක් නෙවෙයි. පරම්පරා ගණනාවක් එයාගේ පවුලේ උරුමක්කාරයන්ගෙ අතින් අතට මාරුවෙවී ආපු රාජකීය උරුමයක්. ඕක ඔබතුමාට දෙන්න යන එකට විරුද්ධව එයාගේ පවුලේ අයගෙනුත් එමීර්ට බලපෑම් ආවා. ඒත් එමීර් යාළුකම වෙනුවෙන් ගත්ත තීරණේ වෙනස් කළේ නැහැ. යසීර් කියන්නේ ඒ වගේ ශ්‍රේෂ්ඨයෙක්. ඔය තුට්ටු දෙකේ රත්රන් ඔරලෝසු දාහකටවත් මේ වගේ කිණිස්සක් ගන්න බැහැ.“

“හැමදේටම වඩා වටින්නේ එමීර් මාව එයාගේ මිතුරෙක් කියලා පිළිගත්ත එක. එයා මේ හැමදෙයක්ම කරන්නේ ඒක ඔප්පු කරන්නනේ. මමත් හිතාගෙන ඉන්නේ මගේ පැත්තෙනුත් මිත්‍රත්වය පෙන්නන්න හොඳ වටිනා දෙයක් තෑගි කරන්න. මෙල්, ඔයා මොකද හිතන්නේ රත්රන් යතුරක් ගැන? කැම්ඩන් නගරය මම එමීර්ට දෙනවා කියන එකට සංකේතයක් විදිහටයි මම ඒක දෙන්නේ. මම හිතාගෙන එන්නේ මගේ නම කොටලා එමීර් වෙනුවෙන්ම ඒක හදවන්න. “

“ෂුවර් යසීර් ඒකට කැමතිවෙයි. ඒ වගේ පර්සනලයිස්ඩ් ගිෆ්ට්ස්වලට එයා කැමතියි. හැබැයි නගරාධිපතිතුමාට සෑහෙන වියදමක් යයි නේද?“ වෙයින්බර්ග් ඇසුවේ නගරාධිපතිගේ උත්සාහය ගැන ව්‍යාජ අනුකම්පාවක් මවාපාමිනි.

“ඕන්නම් ඩොලර් තුන්හාරදාහක් යාවි. සල්ලි වගේද මෙල්, එමීර්ගේ යාළුකම. මටත් ඕනේ එමීර්ගේ හිතට වගේම මගේ හිතටත් දැනෙන දෙයක් කරන්න.“

“කොහොමටත් මේ වැඩේ ඉවර වෙනකොට නගරාධිපතියාගේ හිතට මදි නොකියන්න දැනිලා තියේවි.“ වෙයින්බර්ග් තනිවම සිතුවේ සිත යටින් කොක් හඬලමිනි.

පරිවර්තනය රුක්ලන්ති පෙරේරා

සඳුදා - නැවේ සාදයේ ප්‍රතිඵල ලැබේ

නව අදහස දක්වන්න