දරුවන්ගේ හෙට දවස සුරක්ෂිත කිරීම වැඩිහිටියන්ගේ වගකීමක් | දිනමිණ

දරුවන්ගේ හෙට දවස සුරක්ෂිත කිරීම වැඩිහිටියන්ගේ වගකීමක්

ශ්‍රී ලාංකික දරුවන්ට තම හෙට දවස සුරක්ෂිත කරදීම සඳහා වැඩිහිටියන් වන අප සියලුදෙනා සෑම තත්ත්පරයකම කටයුතු කළයුතු බව කාන්තා හා ළමා කටයුතු සහ වියළි කලාප සංවර්ධන ඇමැතිනී චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය ප්‍රකාශ කරයි.

අදට (04) යෙදෙන ළමා හිංසනයට එරෙහි ජාතික දිනය නිමිත්තෙන් පණිවුඩයක් නිකුත් කරමින් ඇමැතිවරිය මේ බව සදහන් කරයි.

සෑම වර්ෂයකම ජනවාරි 04 වන දින ළමා හිංසනයට එරෙහි ජාතික දිනය ලෙස වෙන්කර ඇති අතර දැයේ දරුවන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම හා පරිසර හිතකාමී පරිසරයක් ගොඩනැගීමේ අරමුණින් මෙම දිනය වෙන්කර ඇත.

දරුවන්ගේ ආරක්ෂාව සහ අභිවෘද්ධිය වෙනුවෙන් සියලු වැඩිහිටියන්ගේ මෙන්ම දෙමව්පියන්ගේ කැපවීම අත්‍යවශ්‍ය කාරණයක් වන අතර හෙට දින ලොව දිනන අපේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් අද දින ආයෝජනය කළ යුතු බවද ඒ මහත්මිය පෙන්වාදෙයි.

දරුවන්ගේ ආරක්ෂාව මෙන්ම අධ්‍යාපනය, සෞඛ්‍යය පෝෂණය වැනි කාරණා පිළිබඳ විශේෂයෙන් අවධානය යොමු කළ යුතුවන අතර සියලුම දරුවන් අපේය දරුවන්ගේ හිසට ඉහළින් පක්ෂීන්ට පියෑඹිය හැකි බවද කියා සිටී.

නමුත් හිසමත කූඩු සෑදීමට ඉඩ නොතැබිය යුතු බව පවසන ඒ මහත්මිය මෙම ආකල්පය සංවර්ධන කිරීම සඳහා වැඩිහිටි සියලු පුරවැසියන් වන අප කැපවිය යුතුයැයි තමා විශ්වාස කරන බවද කියාසිටී.

නව අදහස දක්වන්න