ගම්පෙරළිය යළිත් එයි! | දිනමිණ

ගම්පෙරළිය යළිත් එයි!

ගම්පෙරළිය සංවර්ධන වැඩසටහන යළිත් ක්‍රියාත්මක ය. මේ සම්බන්ධයෙන් මධ්‍යස්ථ ආර්ථික විශේෂඥයන්ගේ ප්‍රසාදය හිමි වී ඇති අතර; ග්‍රාමීය ප්‍රජාව වෙතින් ලැබෙන්නේ ඉහළ ප්‍රතිචාරයකි. මේ වැඩසටහනෙහි ඉලක්කය වන්නේ ගම ආර්ථික වශයෙන් සවිබල ගැන්වීම හා ගැමි ප්‍රජාවගේ මානව හැකියා ජාතික ආර්ථිකය සමඟ බද්ධ කිරීම ය. ශ්‍රී ලංකාවේ බොහෝ ගම්මාන ඇත්තේ හුදෙකලාව ය. නූතන දැනුම, තාක්ෂණය හා වෙනත් ආර්ථික - සාධක ගම කරා ඇදී යන්නේ ඉතා සෙමෙන් ය. මේ නිසා ම ගැමි තරුණයා එක්කෝ නගරයට සේන්දු විය යුතුය. නැතහොත් සාම්ප්‍රදායික මිනිසකු ලෙස ගමට ම දිය වී යා යුතුය. ගම්පෙරළිය ක්‍රියාත්මක වන්නේ ඉහත ක්‍රමය වෙනස් කිරීමට ය.

ගම යම් දිනෙක වාණිජ ආර්ථිකය කරා ගමන් කරන බව ද ගමෙහි තරුණ පරම්පරාව ලෝකයේ වෙනස්වීම්වලට අනුගත වන බව ද මාර්ටින් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේ 1944 දී ය. ඒ “ගම්පෙරළිය” නවකතාව ඔස්සේ ය. ශ්‍රී ලංකාවේ සමාජ පරිවර්තනය ගැන ගැඹුරු විග්‍රහයක් ඇති පළමු නවකතාව ලෙස මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ “ගම්පෙ‍රළිය” හැඳින්විය හැකි ය. කොග්ගල ප්‍රාඥයා ලෙස ද සිංහලයේ මහා ලේඛකයා ලෙස ද හඳුන්වන මාර්ටින් වික්‍රමසිංහ මහතාට සමාජ විද්‍යාව, මානව විද්‍යාව වැනි විෂයයන් ගැන ද ප්‍රාමාණික දැනුමක් තිබිණි. කොග්ගල ප්‍රාඥයාගේ පරිකල්පනය අද යථාර්ථයක් බවට පත්වෙමින් තිබේ.

ශ්‍රී ලංකාව තුළ ලොකු - කුඩා ගම්මාන තිස්දහසකට ආසන්න ප්‍රමාණයක් ඇති බවත් මේවා සංවර්ධනය සඳහා නිසි ක්‍රමවේදයක් සොයාගත යුතු බවත් 1960 ගණන්වල දී ග්‍රාමීය සංවර්ධනය පිළිබඳ විශේෂඥයන් කියා ඇත. ඒ වන විට ශ්‍රී ලංකාව පැවැතියේ සුළු නාගරික අංශයක්, හුදෙකලා වතු අංශයක් හා විශාල වශයෙන් පැතිර ගිය ග්‍රාමීය අංශයක් වශයෙන් ය. මේ අංශ තුනෙන් ආර්ථික ගැටලු උත්සන්න ලෙස පැවැතියේ ග්‍රාමීය අංශයෙහි ය. රටේ විරැකියාව, දුප්පත්කම හා නූගත්කම ව්‍යාප්තවූයේ ද ග්‍රාමීය අංශය තුළ ය. මේ අනුව බලන විට පෙනී යන්නේ ඉතිහාසයේ දීර්ඝ කාල පරාසයක් තුළ ග්‍රාමීය අංශයත් එහි ජනතාවත් කිසියම් නොසැලකිල්ලකට ලක් වී ඇති බව ය.

1980 ගණන්වල දී “ගමට යන පාර” නමින් පර්යේෂණ නිබන්ධයක් එළිදක්වා ඇත. එම නිබන්ධයෙන් ග්‍රාම සංවර්ධනයට අදාළ මූලික සාධක ගණනාවක් නිදසුන් සහිත ව සාකච්ඡාවට ලක් කර ඇත. ගමක් දියුණු කිරීම සඳහා අවශ්‍ය පළමු සාධකය ලෙස නිබන්ධය පෙන්වා දෙන්නේ පාරවල් ය. මාර්ග පහසුකම් නැති ගම්මාන අවට ලෝකය සමඟ ආර්ථික වශයෙන් සම්බන්ධ වන්නේ නැත. එය ගමත් ගමේ ප්‍රජාවත් හුදෙකලා කිරීමට සමත් වෙයි. අද වන විට පාරවල් පමණක් නොව; තවත් පොදු පහසුකම් රාශියක් ගමකට අවශ්‍ය වේ. ඇතැම් ගමක තරුණ ප්‍රජාව ‘වයිෆයි’ කලාපයක් ලබා දෙන්නැ’යි ඉල්ලා සිටින්නට වුව පුළුවන. එහි කිසිදු වරදක් නැත. ලෝකය සමඟ ඒකාබද්ධ නොවී ආර්ථික ජයග්‍රහණ ලබාගත නොහැකි ය.

ගම දියුණු කිරීම සඳහා විධිමත් ආර්ථික හා සමාජ වැඩසටහන් තිබිය යුතුය යන අදහස නිදහස ලබාගන්නටත් පෙර සිට අපේ නායකයන් වටහාගෙන තිබිණි. මේ අනුව 1948 දී ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුව නමින් රාජ්‍ය - ආයතනයක් පිහිටුවනු ලැබේ. එහි එක් ඉලක්කයක් වූයේ සෑම ගමක ම ග්‍රාම සංවර්ධන සමිතියක් පිහිටුවීම ය. ගමට අවශ්‍ය නායකත්වය හා මාර්ගෝපදේශය මේ මගින් ලබා දිය හැකි යැයි විශ්වාස කැරිණි. මේ අනුව රට පුරාම ග්‍රාම සංවර්ධන ආයතන හා සමිති බිහි වූ අතර ඒවා රටේ සංවර්ධනය වෙනුවෙන් සැලැකිය යුතු කාර්යභාරයක් ඉටු කර තිබිණි. ලොව ප්‍රකට සමාජ විද්‍යාඥයකු වූ ආචාර්ය සවර් මහතා පවා අපේ ග්‍රාම සංවර්ධන සමිති අගය කර තිබේ.

ග්‍රාම සංවර්ධන සමිති අද සක්‍රීය නැත. කාලයෙන් කාලයට සංවර්ධනයේ උපාය මාර්ග මෙන් ම එහි රාමුව ද වෙනස් වෙයි. නව ප්‍රවණතා පිළිගැනීමට අපට සිදුවෙයි. ඒ අනුව ගෙවී ගිය දසක කිහිපය තුළ රාජ්‍ය අංශයේ දායකත්වය සහිත ග්‍රාම සංවර්ධන වැඩසටහන් ද, පෞද්ගලික අංශය හා ස්වේච්ඡා සංවිධානවල දායකත්වය සහිත ග්‍රාම සංවර්ධන වැඩසටහන් ද රාශියක් ක්‍රියාත්මක වී ඇත. ඒවා මුළුමනින් ම අසාර්ථක යැයි කිසිවකුටත් තර්ක කළ නො හැකි ය. එහෙත් ගම කැපී පෙනෙන සංවර්ධනයක් ලබා නැත. දිළිඳුකම හා විරැකියාව ගමට බලපාන මූලික ගැටලු දෙකකි. ගමේ ඇති සම්පත් ඔස්සේ මේ ගැටලු දෙක ම විසැඳිය හැකි බව බොහෝ දෙනකුගේ මතය වෙයි. එහෙත් ගමේ භෞතික සම්පත් හා ගමේ මානව සම්පත් ජාතික ආර්ථිකය හා බද්ධ කරන සාර්ථක ක්‍රමවේද තව ම අපට නැත.

කුමන සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක වුව; පාරක්තොටක් නැති ගම් තව ම තිබේ. විදුලිය නැති ගම් තවම තිබේ. ඇතැම් ගමක වැසියන්ගේ ඉල්ලීම වන්නේ ග‍ඟෙන් එගොඩවීමට පාලමකි. තව ගමක වැසියන්ගේ ඉල්ලීම වන්නේ ගමට පාරක් යන්න ය. තවත් ගමක වැසියන්ගේ ඉල්ලීම වන්නේ ගමට අයත් වැව හදා දෙනු යන්න ය. ග්‍රාමීය අංශයට අවශ්‍ය මූලික පහසුකම් නැති බව මේ ඉල්ලීම්වලින් පෙනීයයි. ජලය, විදුලිය, මාර්ග පහසුකම් ග්‍රාම සංවර්ධනයේ දී මූලික වෙයි. ගම කෘෂිකර්මයට පමණක් නොව; කුඩා කර්මාන්තවලට ද ප්‍රකට ය. මේ අංශ දෙකෙන් ම ගම ආර්ථික වශයෙන් දියුණු කළ හැකි ය. ඊළඟ කාරණය වන්නේ ගැමි ජනතාව සංවිධානගත කිරීම ය. එලෙස ම ඔවුනට අවශ්‍ය මාර්ගෝපදේශනය ලබා දීම ය. “ගම්පෙරළිය” වැනි වැඩසටහන් වැදගත් වන්නේ එතැන දී ය.

“ගම්පෙරළිය” වැඩසටහන යළිත් ක්‍රියාත්මක කිරීම පිළිබඳ යෝජනාව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇත. කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ඊට ලැබී තිබේ. මේ අනුව මැතිවරණ කොට්ඨාසයක් සඳහා රුපියල් දස ලක්ෂ තුන්සියයක් වෙන් කරනු ලැබේ. වැඩසටහන සඳහා වෙන්කරන මුළු මුදල රුපියල් දස ලක්ෂ හතළිස් අටදාහක් බව සඳහන් ය. ගම්වල නියම අවශ්‍යතා හඳුනාගෙන මේ මුදල් ප්‍රයෝජනයට ගනු ලැබුවහොත් 2019 වසර අවසන් වන විට රටේ ගම්මානවලින් වැඩි ප්‍රමාණයක් ජාතික ආර්ථිකය සමඟ බද්ධ වී රටේ ජාතික ආදායම වැඩි කිරීමට දායක වනු ඇත. දේශපාලන විවේචන පැවැතිය ද “ගම්පෙරළිය” වැඩසටහන රටේ ආර්ථික යථාර්ථයට හොඳින් ගැළපෙන සංවර්ධන ක්‍රියාදාමයකි.

ගම දියුණු නොකොට රට දියුණු කරන්නට බැරිය. ඒ යථාර්ථය රජය වටහාගෙන තිබේ. ගම්පෙරළියෙන් රටේ සැබෑ ආර්ථික පෙරැළියක් ඇති වන බවට විශ්වාසයක් ඇති කරගත හැකි ය. දේශපාලකයන් මීට නායකත්වය ලබා දිය යුත්තේ ද ඒ හැඟීම ඇතිව ය.

 


නව අදහස දක්වන්න