ව්‍යව­සායක­යන්ගේ කලාගා­රය | දිනමිණ

ව්‍යව­සායක­යන්ගේ කලාගා­රය

නේක වර්ණයෙන් විසිතුරු රටා මවනා නිර්මාණ සිත් සතන් පුදුමයට පත් කරවයි. සියුම් වූ කැටයම් නිර්මාණ තුළ ගැබ් වී පවතින්නේ පැරණි ලාංකීය පෞඪත්වය බව නොරහසකි.එක් දෙසකින් මහනුවර යුගයේ යැයි සැළකිය හැකි චිත්‍ර නිර්මාණවලින් සමන්විත නවීන පන්නයේ මාල වර්ගයන් ය. තවත් දෙසකින් නොයෙක් රටා මවන සිත්ගන්නාසුළු වැඩ දැමු බතික් සාරි කිහිපයකි. නෙත් යොමන සෑම ස්ථානයකම කලාකාමීබව සහ නිර්මාණශලීත්වය සෑබෑවටම දැක ගැනීමට පුළුවන. අතීත ජාතක කථාවල දක්නට ලැබුණු පුවවර වර්ණනා ආදියෙහි අසිරිය මෙහිදීද නොවඩුව දැක ගත හැක. බැලූ බැලූ අත වර්ණයන් මනාව සංකලනය කරමින් නිම කරන ලද අත් කම් නිර්මාණ ය.

මේ සියල්ල නීරීක්ෂණය කළ විට හැඟීයන්නේ මෙම ස්ථානය කලා කෞතුකාගාරයක් ද යන්න බව ය. එහෙත් නැත, මෙය ජාතික ශිල්ප සභාව විසින් සංවිධානය කරන ලද ‘ශිල්ප අභිමානි“ ජනාධිපති සම්මාන හස්ත කර්මාන්ත තරගය හා ප්‍රදර්ශනයෙන් විශිෂ්ඨත්වයට පත් වූ ශිල්පීන් මුල් කරගෙන “ ශිල්ප සවිය “ නමැති අළෙවි ප්‍රවර්ධන කලා මංගල්‍යය වේ. සෑබෑවටම මෙය කොළඹින පිට ප්‍රදේශවල හස්ත කර්මාන්ත ශිල්පීන්ගේ දක්ෂතාවයන් සහ හැකියාවන්ට මූල්‍යමය වටිනාකමක් ලබා දෙන තෝතැන්නක් බව මා හට පසක් වූයේ එහි පැමිණ සිටි හස්ත කර්මාන්තයෙහි නියැළී සිටින නිර්මාණ ශිල්පීන් සහ ශිල්පිනියන්ගේ අදහස් දැන ගැනීමෙන් පසුව ය.

" 2009 දී මම මේ ව්‍යාපාරය ආරම්භ කළේ පොඩියටයි.ටිකෙන් ටික දියුණුවෙල, අද වෙනකොට යම් ස්ථාවරත්වයකට පැමිණිලා තියනවා. ශිල්ප සභාවෙන් අපිව දිරිමත් කළා. "ශිල්ප සවිය" මඟින් අපි වගේ 30 දෙනෙක්ව තෝරා ගත්තා. අපි වගේ ව්‍යවසාහකයින්ව තෝරලා මාස ගණනක් පුහුණුව ලබා දීලා , අපිව ගුණාත්මකභාවයෙන් යුක්ත , ප්‍රමිතියකින් යුක්ත ව්‍යවසාහකයින් බවට පත් කිරීමේ දැවැන්ත කාර්යයභාර්ය ජාතික ශිල්ප සභාව මඟින් සිදු කරනවා. අවසානයේ දී මේ වගේ ප්‍රදර්ශනයක් දක්වා අපිව රැගෙන ඒම සිදු කරනවා. නිමි ඇඳුම්, වෝල් ඈන්ගල්, කුෂන් කවර, කොට්න් ඇඳුම්, හෑන්ඩ් ලූම් ආදී ඇදුම් නිර්මාණ මම සිදු කරනවා. රුපියල් 5000, රුපියල් 10,000 වගේ මිල ගණන්වලට මම ඇඳුම් අළෙවි කරනවා. මම ඉදිරියේ දී බලාපොරොත්තුවෙන් සිටින්නේ අපනයනය දක්වා මගේ ව්‍යාපාරය දියුණු කිරීමටයි. යනුවෙන් " Lak Bathik හි නිර්මාතෘවරිය වන කෑගල්ලෙහි පදිංචි සෙනෙවිරත්න මහත්මිය ප්‍රකාශ කළා ය.

කොළඹ 07 යැයි සිතිය හැකි බටහිර පන්නයේ ඇදුම්වලින් සැරසුණු තරුණියන් මෙම නිර්මාණ තෝරමින් තමන් මිල දී ගන්නේ කුමක්දැයි කියා සිටින්නේ දෙගිඩියාවෙන් යැයි මට හැගේ. එක් අයෙක් බතික් නිර්මාණ ස්පර්ශ කරමින් ඒවායේ කලාකාමීබව විදගන්නා අයුරු සෑබෑවටම අපූරු දසුනක් බවට පත් විය.

පොල් ආශ්‍රීතව පරිසර හිතකාමී නිෂ්පාදන සිදු කරන කඳානේ Elisha Gospel Handicraft හි හිමිකරු වන යූ.ඒ අජිත් මහතා මෙසේ ප්‍රකාශ කළේ ය.

“1986 ඉඳන් තමයි මගේ මේ පොල් ආශ්‍රීත නිෂ්පාදන ව්‍යාපාරය ආරම්භ කළේ. ජපානය, චීනය, ඉන්දියාව වැනි රටවලට මම පොල් ආශ්‍රීත නිෂ්පාදන අපනයනය සිදු කරනවා. මම බොහෝමයක්ම නිෂ්පාදනය කරන්නේ මුළුතැන්ගෙයට අවශ්‍ය භාණ්ඩයි. ඒ අතර හැන්ද, ගෑරැප්පුව, වංගෙඩිය , ආභරණ , විවිධ කෑම දමන භාජන යනදිය පෙන්වා දෙන්න පුළුවන්.

විශේෂයෙන් ම සංචාරක ක්ෂේත්‍රයේ අයට තමයි මේ භාණ්ඩ බොහොමයක් මිළ දී ගන්නේ. අපි විදේශවලට ගියහම මේ භාණ්ඩ විදේශිකයෝ අරගන්නේ බොහෝම සතුටින්.

පරිසර හිතකාමී අමුද්‍රව්‍ය භාවිත කරලා තමයි මම මේ සෑම නිෂ්පාදනයක්ම සිදු කරන්නේ. මදුරුවෝ බෝවෙන හින්දා මිනිස්සු පොල් බිදපුවා ගෙවල්වල තබා ගන්නේ නෑ. අපි පොල් බිඳින්නේ නෑ. පොල් කපනවා. විදේශීය රටවලට අපි අපේ භාණ්ඩ අරගෙන ගියහම ලංකාවේ මිනිස්සු හරිම ආඩම්බරයෙන් මේ දේවල් මිළ දී ගන්නවා. ජාතික ශිල්ප සභාවේ "ශිල්ප සවිය" හින්දා අපි බොහෝ දේවල් දැන ඉගෙන ගත්තා . ඒ වාගේ ම ඒ මගින් අපේ ආර්ථිකය ස්ථාවර කර ගැනීමටත් අවස්ථාව උදා වූණා. “

අපතේ යන පොල් කටුවලින් කොතරම් දෑ සිද්ධ කරන්නට හැකි දැයි පුදුම සහගතය. සෑබෑවටම මේ නිර්මාණ තුළ ඇත්තේ සියුම් කලාකාමී හැකියාවයි. මෙවන් නිෂ්පාදනයක් දක්ෂ ලෙස කළ හැක්කේ සැබවින්ම කාර්යශූර පුද්ගලයෙකුට බව නොරහසකි.

"මගේ පදිංචිය වෙලා ඉන්නේ බණ්ඩාරවෙල. මම බණ්ඩාරවෙල පවත්වපු තරඟවලින් පළාත් මට්ටමින් ජයග්‍රහණ ලැබුවා. ඊට පස්සේ දිස්ත්‍රික්ක‍ මට්ටමේ තරඟවලින් ජයග්‍රහණය කරා. මම නිර්මාණය කරන්නේ "හණ නිෂ්පාදන". හණ වලින් සකස් කරන ලද බෑග් වර්ග මිනිස්සු අතරේ ප්‍රචලිත වී පවතිනවා. අමුද්‍රව්‍ය සල්ලිවලට මම අර ගන්නේ.

කෙඳිවලින් සකස් කරන ලද බෑග් රුපියල් 2750,රුපියල් 2850, රුපියල් 1100, රුපියල් 1320, රුපියල් 550 වගේ මිල ගණන්වලට මම අළෙවි කරනවා. මම මේ නිෂ්පාදනවලට අවශ්‍ය කෙඳි ලබා ගන්නේ බණ්ඩාරවෙලින් තමයි. මම දැනට නිවසේ ඉඳන් තමයි තාම මේ නිෂ්පාදන සිදු කරන්නේ. මම නිවසේ ඉඳන් වැඩ කරලා, මගේ යාළුවන්ගේ මාර්ගයෙන් සුළුවශයෙන් අපනයන කටයුතු සිදු කරනවා. විශේෂයෙන් ම ඩුබායිවලට තමයි මම අපනයනය සිදු කරන්නේ . යනුවෙන් හණ නිෂ්පාදන ආයතනයේ ( Fibre Bag ) හි හිමිකාරිණිය වන ජේන් නස්ලියා ප්‍රකාශ කළා ය.

මා මීට පෙර එක්තරා කෞතුකාගාරයේ දැක ඇති නුවර යුගයේ මුළුතැන්ගෙයි භාණ්ඩ පමණට ම නිර්මාණය කර ඇති මෙම නිර්මාණ සැබවින් ම අනර්ඝ ය. අතිශය සියුම් ලෙස නිමවා ඇති මෙම නිර්මාණ තුළ අපූර්වත්වය නොවඩුව දැකිය හැකි ය. ඒවායෙහි මිල ප්‍රමාණය දෙස නෙත් යොමු කළ මා හට පසක් වූයේ ඒවා නිර්මාණය කිරීටම වැය කළ මහන්සිය සමඟ එම මිළ ගණන් සාධාරණ බව ය.

“මම ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපාධිධාරිනියක්.මගේ අධ්‍යාපන මට්ටමට සරිළන රැකියාවක් ලැබුණේ නැති හින්දා තමයි මම මේ වගේ ව්‍යාපාරයක් කරන්න මුලින් ම හිතට ආවේ.2013 වර්ෂයේ දී තමයි මම ශිල්ප සභාවට සම්බන්ධ වූණේ. ටිකෙන් ටික දියුණු වෙලා , ශිල්ප සවිය වැඩසටහනෙන් ලැබුණු සහයෝගයත්, ජයග්‍රහණත් නිසා මම අද හොඳ ව්‍යවසාහිකාවක් බවට පත් වෙලා සිටිනවා.මම තනියෙන් ම තමයි මගේ නිෂ්පාදන බෙහොමයක් සිදු කරන්නේ.ඒ වුණත් මම සේවිකාවන්ගෙනුත් උදව් උපකාර ගන්නවා.

දැන් මගේ ළඟ 10 දෙනෙක් සේවය කරනවා.පන් සහ වේවැල්වලින් මම , වට්ටි, පෙට්ටි, ආභරණ පෙට්ටි, කුරුනි,වැනි දෑ මම නිෂ්පාදනය කරනවා. මේ දේවල් නිර්මාණය කිරිමට මම රඳාවඩුන්නෙන් තමයි අවශ්‍ය අමුද්‍රව්‍ය ලබා ගන්නේ.මම මේ වාගේ නිෂ්පාදන සකසලා ජනාධිපති සම්මාන ලබා ගෙන තියෙනවා.මගේ ඉදිරි බලාපොරොත්තුවලින් එකක් තමයි කෙසේ හෝ ස්වර්ණ සම්මානයක් ලබා ගැනීම.මට අයි.ටී.එන් නාලිකාවේ ඇත් පවුර වැඩසටහනින් මගේ ව්‍යාපාරය සංවර්ධනය කිරීමට ආයෝජන මුදලක් ගැනීමට හැකියාව ලැබුණා.“ යනුවෙන් “Hasha Creations House“ හි හිමිකාරිණිය වන හෂානි දිසානායක ප්‍රකාශ කළා ය.

සිත් ගන්නා සුළු පරිදි නිම කරන ලද සිල්ක් බතික් සාරි කිහිපයක් ඇසුරුම්වල දමා ඇති අයුරු කාන්තාවන් කිහිප දෙනෙක්ගේ විමර්ශනයට බඳුන් විය. එපමණක් නොව බතික්වලින් සිදු කළ අපූරු කුඩා නිර්මාණ තුළ හුරුබුහුටි බව ගැබ් වී ඇත. මේ තරමට ම බතික්බවලින් නිර්මාණ කළ හැක්කේ ද යන්න වග පුදුම සහගත ය.

මම මගේ බතික් ඇඳුම් නිර්මාණය කරන්නේ ගුණාත්මකභාවයට මුල් තැනක් දීලයි.සිල්ක් බතික් , කොට්න් බතික් වගේ සාරි වර්ග ගණනාවක් විවිධ මෝස්තර අන්තර්ගත කරලා අපි නිර්මාණය කරලා තියනවා.පරිසර හිතකාමී ලෙස ස්වභාවික ශාක කොළ සහ පොතු වල යුෂ අන්තර්ගත කරලා තමයි අපි බතික් සාරිවලට වර්ණ සකස් කරන්නේ. ස්වභාවික වර්ණ යොදා ගෙන බතික් ඇඳුම් නිර්මාණය කිරීමේ සංකල්පය අපි තමයි මුලින් ම හදුන්වා දුන්නේ. ස්වභාවික වර්ණ යොදා ගත්තත්, සමහර ඇදුම්වලට අපි, කෘත්‍රීම වර්ණත් යොදා ගන්නවා. විවාහ අවස්ථාවකට මනාලියකට අවශ්‍ය බතික් සාරියක් අපිට 30,000 වඩා වැඩි මුදලකට දෙන්න වෙනවා. එලෙස මිල ගණන් සකස් වන්නේ අපි අපේ ඇදුම්වල ගුණාත්මකභාවයට මුල් තැනක් දී ප්‍රමිතිය රඳා පවත්වා ගන්න අවශ්‍ය නිසයි.බතික් නිර්මාණයේ දී අපි කළු පිට සකස් කරන්නේ , අරළු මගිනුයි. ඒ වගේ ම මාදම් පොතු, අඹ කොළ, සූරියකාන්ත මඟින් නුත් අපි ස්වභාවික වර්ණ ලබා ගැනීම සිදු කරනවා.යනුවෙන් “ Rathna Bathik“ හි හිමිකරු වන රත්න විමල් අලුත්ගේ තම අදහස් ප්‍රකාශ කළහ.

1998 දී තමයි මම මුලින් ම ආභරණ නිර්මාණය කිරීමේ ව්‍යාපාර ක්ෂේත්‍රයට සම්බන්ධ වුණේ. මගේ ගම මාතර බෙලිඅත්තේ.එහේ අපේ පරම්පරාවේන් මට මේ ක්ෂේත්‍රය සම්බන්ධයෙන් උරුමයක් ලබා දුන්නා. පරම්පරාවෙන් ලැබුණු නිර්මාණ ශිල්පයත්, ජාතික ශිල්ප සභාවෙන් ලැබුණු සහයෝගයත් නිසා මම අද හොඳ අපනයනකරුවෙක් බවට පත්ව තිබෙනවා..මම රත්තරන්, රිදී ,ආභරණ, මැණික් ගල් යොදා සකස් කර ලත් ආභරණත් නිර්මාණය කරනවා.වැඩිවශයෙන් ම මම අපනයනය සිදු කරන්නේ ඔස්ට්‍රේලියාවටයි. යනුවෙන් “ රීදී Collection“ හි නිර්මාතෘවරයා වන රුවන් කුමාර ප්‍රකාශ කළහ.

V &Art Craft හි නිර්මාතෘවරිය වන එම්. ඩී විශ්වනී මෙලෙස අදහස් ප්‍රකාශ කළා ය.

*මම විවිධ වර්ගයේ , මීට පෙර නොදුටු මෝස්තර නිර්මාණය කිරීමට තමයි ආශා කළේ. ඒ හින්දම මම සම්ප්‍රදායික චිත්‍ර දැක බලා ගැනීමට නුවර , සංචාරය කළා. ඒ වගේ ම වෙළෙදසැල්වලට හිහින් සොයා බැලුවා. මට අවශ්‍ය කර තිබුණේ කව්රුත් බලන්නේ නැති දෘෂ්ටිකෝණයෙන් නිර්මාණයක් දිහා බලන්නයි. ඒක නිසා මම අලුත් නිර්මාණ බිහි කිරිමට යොමු වුණා. මම Traditional Art, ඩිප්ලෝමා එකක් වගේ ම, Marketing ඩිප්ලෝමායවකුත් කළා. යනුවෙන් “V &Art Craft “හි නිර්මාතෘවරිය වන එම්. ඩී විශ්වනී ප්‍රකාශ කළා ය.

රවුම් ආකාරයට පෙන්ඩනය නිර්මාණය කළ මාල තුළ දැක ගත හැකි වන්නේ සිංහල රාජධානි කාලයේ චිත්‍ර නිර්මාණ ය. විසිතුරු ලියකම්වලින් වර්ණවත් වූ ඒවාහි සම්ප්‍රදායික චිත්‍ර අපූර්ව අයුරින් දැක ගත හැක. විදේශීය කෙනෙකුට මේ අපගේ සිංහල සංස්කෘතියෙහි සංකේත බව බියක් නැතිව ප්‍රකාශ කිරීමට පුළුවන.

මෙම ශිල්ප සවිය අළෙවි ප්‍රවර්ධන කලා මංගල්‍යය පිළිබඳව ජාතික ශිල්ප සභාවේ සභාපතිනිය වන හේෂානි සතිෂ් බෝගෝල්ලාගම මහත්මිය තම අදහස් දැක්වූයේ මෙලෙස ය.

“online මඟින් තමන්ගේ නිර්මාණ අළෙවි කිරීම නවීන ක්‍රමවේදය සමඟ පවතින දෙයක් බවට පත් වේලා තියනවා. ඒ වුණත් ගම්වල සිටින අම්මලා මේ පිළිබඳ අඩු දැනුමකින් තමයි සිටින්නේ. එසේ වුවත් එම අම්මලාගේ දරුවන් නූතන තොරතුරු තාක්ෂණය පිළිබඳව හොඳින් දන්නවා. ඒ නිසා ඒක ලොකු ගැටලුවක් වන්නේ නැහැ.අපි ඉදිරියේ දී BOC බැංකුව සමඟ සම්බන්ධ වෙලා , අපේ නිර්මාණකරුවන්ට අපේ ලියාපදිංචිය හරහා ඒ වගේ ම ණය මුදලක් ලබා දෙන්න සාකච්ජා කරගෙන යනවා. ඒ වාගේ ම 2019 දී අපි රක්ෂණ ක්‍රමයක් හදුන්වා දීමට සැළසුම් කරගෙන යනවා.

අපේ නිර්මාණ ශිල්පීන්ට තමන්ගේ නිර්මාණ අළෙවි කරන්න නිශ්චිත වෙළෙඳපළක් ලංකාවේ ගොඩනගන්න අපිට තවමත් බැරිවෙලා තියනවා.ඒ වුණත් ඉන්දියාවේ නව දිල්ලි නගරය මැද වෙළෙදසැළක් තිබෙනවා, සුමානයක් එම ස්ථානයේ ඉඳලා තමන්ගේ නිර්මාණ අළෙවි කිරීමේ පහසුකම් ලැබෙනවා. අනතුරුව එම ස්ථානය තවත් නිර්මාණ ශිල්පිනියකට ලබා දෙනවා.

මේ ප්‍රදර්ශනයට දුර බැහැර ප්‍රදේශවලින් පැමිණි නිර්මාණකරුවන්ට කොළඔ සිටින කාල සීමාවේ දී අපි නවාතැන් පහසුකම් පවා ලබා දිලයි තිබෙන්නේ.වෙළෙඳපළක් නැති අයට මේ ප්‍රදර්ශනය ලොකු අවස්ථාවක් කර ගන්න පුළුවන්. ඒ ගොල්ලන්ට වෙළෙඳපලක් නැති අඩුව මෙවැනි ප්‍රදර්ශණයකින් මඟ හරවා ගැනීමට පුළුවන්.ඒ වාගේ ම අපි, සංස්කෘතික අමාත්‍යංශයෙන් ඉල්ලා සිටිනවා, අපිට නැවතත් අපේ ගම ලබා දෙන්න කියලා. එතකොට අපේ නිර්මාණ ශිල්පීන්ට තවත් නිර්මාණ බිහිකරමින් හොඳ අනාගතයක් සකසා දීමට තවත් රුකුලක් වෙනවා.“

ශිල්පීන් අභිමානවත් ව්‍යවසායකයෙකු බවට පත් කිරීමටත්, ව්‍යාපාර නාමය ප්‍රචලිත කරමින් ඔවුන් සමාජයේ ඔසවා තබමින් අපේ දේ අගයන අපේකම රකින විශ්ෂ්ඨ පරපුරක් බිහි කිරීම ශිල්ප සභාවේ අරමුණ මනාව සාක්ෂාත් කර ගෙන ඇති බව මා හට මෙම ප්‍රදර්ශනයට පැමිණ සිටි නිර්මාණ ශිල්පීන් සමඟ කථා කිරීමෙන් පසු දැක ගත හැකි විය. දුෂ්කර ප්‍රදේශවල අපූර්ව දක්ෂතාවන්වලින් ඔද වැඩුණු නිර්මාණ ශිල්පීන්ට තම ව්‍යාපාරය ප්‍රචලිත කිරීමට මෙය අනගි අවස්ථාවක් විය. ශ්‍රී ලාංකීය සංස්කෘතිය සමඟ කැටි වුණු පෞඪත්වය මුළු ලෝකය ඉදිරියේ කිය පෑමට මෙම නිර්මාණ ශිල්පීන්ට කිසිදු චකිතයත් නැත. ලාංකීය සිංහල ජනතාවක් වශයෙන් විදේශ රටවල හස්ත කර්මාන්තයන් සමඟ අභියෝග කළ හැක්කේ කිසිදු තරඟකාරීත්වයක් නොමැතිව බව මා හට අවසානයේ දී නිසැකයෙන් ම වැටහුණු දෙයක් විය.ඒ තරමට ම මෙම හස්ත කර්මාන්ත නිර්මාණ ශිල්පීන්ගේ නිර්මාණ කිසිවිටකවත් දෙවැනි නොවන්නේ ය.එපමණකට ම අපූර්වසහගත ය.

 මදාරා මුදලිගේ

 


නව අදහස දක්වන්න