දස්ක­ම් ඇග­යෙන වේදි­කා­වක් | දිනමිණ

දස්ක­ම් ඇග­යෙන වේදි­කා­වක්

ඉදිරි වසර දහය තුළ ශ්‍රී ලංකාවටද වෛද්‍ය, රියදුරු, ගොවි ආදී ක්ෂේත්‍ර පහළොවක රැකියා අහිමි වීමේ අවදානම පවතියි. නව තාක්ෂණය කෙමෙන් මිනිස් ශ්‍රමයේ කාර්යය බාර ගැනීමයි ඊට හේතුව. මහාචාර්ය චන්දන ජයරත්න පසුගියදා මේ බව අනාවරණ කරමින් අවධාරණය කළේ වහ වහා අප රටක් වශයෙන් ඊට නිසි සැලසුම් යටතේ දැන් දැන්ම වැඩ ඇරඹිය යුතු බවය.

අපට එහි අගය පසුගියදා නැවත සිහිකළේ රැකියා විරහිත උපාධිධාරීන් සය දෙනකු එකට එක්ව ඇරඹූ නව ආරක වෙබ් අඩවියක් හේතුවෙනි. අඩු ආදායම්ලාභීන්ගේ දස්කම්වලට නියම වටිනාකමක් ලැබෙන වේදිකාවක් තැනීම අරමුණ බව ඔවුහු කියති.

දිවයින පුරා පිහිටි රජයේ විශ්ව විද්‍යාල සතරකින් උපාධි ලබා තිබෙන ඔවුන් රැකියා අපේක්ෂිතව කොළඹට පැමිණ එකම බෝඩිමකට වැදී සිටියදී මේ නව අදහස ඇතිව තිබීම විශේෂයක්. පසුගියදා අප එම තරුණයන් සොයා මහරගම ප්‍රදේශයට ගියෙමු. එවිට අපට wetroop.com නමැති මේ අලුත් අන්තර්ජාල වේදිකාව තැනූ නිර්මාණකරුවන්ගෙන් එක් අයකු හමුවිය. ඔහු අනුරාධ ඉසුරුය. සිනහ මුසු මුහුණින් යුතුව අප සමඟ දොඩමළු වන්නට දැන් ඔහු සූදානමින්.

අනුරාධ, අපි මේ කතාබහ ඔබට රජයේ රැකියා නොලැබුණු තැනින් අරඹමු?

ඇත්තටම ඒ නොලැබීමමයි අපට මේ අලුත් මාර්ගය විවර කර දුන්නේ. අප අතර සිටින මොරටුව විශ්ව විද්‍යාලයෙන් වෙබ් අඩවි නිර්මාණය පිළිබඳ හැදෑරා ඒ පිළිබඳ වසර කිහිපයක වෘත්තීය අත්දැකීම් ඇති මිතුරා තමයි මේ වෙබ් අඩවිය නිර්මාණය කළේ.

ඔබ එහි පෙන්වා දෙන විශේෂත්වය?

අද වනවිට විවිධ භාණ්ඩ අලෙවියට පහසුකම් සපයන වෙබ් අඩවි තිබෙනවා. ඒත් ඒවායෙන් සේවා අංශය නියෝජනය වන්නේ නැතිම තරම්. ඒ අතින් ලංකාවේ බිහිවූ පළමුවැන්නයි මේ. රටක් විදියට ඒ අඩුව පිරවීම වැදගත් බව අපට හැඟුණා. ඉතින් අතේ සල්ලි නැතත් අපි හයදෙනාගේ හිතේ හයියෙන් අවුරුදු එකහමාරකට කලින් මේ වැඩේ පටන් ගත්තා. දක්ෂතා තිබියදීත් රැකියා අවස්ථා නොලද බොහෝ දෙනෙක් අපේ රටේ සිටිනවා. පූර්ණ කාලීන වගේම අර්ධ කාලීන රැකියා සොයන ඔවුන්ට ව්‍යවසායකයන් මුණ ගස්වන්නයි අප කල්පනා කළේ. අද වනවිට ඔන්ලයින් තාක්ෂණය උපයෝගී කරගෙන අධ්‍යාපන සහ විනෝදාස්වාද පහසුකම් සැපයීම දක්වාම අපට සේවා වැඩි දියුණු කිරීමට අප කටයුතු කරමින් සිටිනවා.

කොහොමද ලැබෙන ප්‍රතිචාර ?

ඉතා ඉහළයි. එක් ලක්ෂ පනස් දහස ඉක්මවූ පාඨක පිරිසක් දැනටමත් අප වටා එක්රොක්ව සිටිනවා. ඔවුන් අතර කම්කරු රැකියාවේ සිට විධායක නිලධාරී තනතුර දක්වා රැකියා අපේක්ෂිතයන් වෙනවා. කෙටියෙන්ම කිව්වොත් පොල් කඩන්නන්, ගස්වල අතු කපන්නන් පවා අපි අන්තර්ජාල තාක්ෂණයෙන් ජනතාවට සොයා දෙනවානේ. විශේෂයෙන් රැකියා විරහිත පිරිසට ඉහළ වැටුප් සහිත රැකියා අවස්ථා පහසුවෙන් සොයා ගත හැකි මඟක් විදියටයි අප ප්‍රකටව සිටින්නේ. නොමිලයේම තමන්ගේ විවිධ නිර්මාණ ලෝකයට ගෙන යාමට අපි අපේ බ්ලොග් අඩවිය හරහා ජනතාවට ඉඩ පහසුකම් සලසා තිබෙනවා. නිතරම එහි ජනතාවගේ දැනුම, ආකල්ප දියුණු කිරීමට තුඩු දෙන ලිපි ආදිය පළ කරනවා.

අප අවසන් වශයෙන් ඔබේ කණ්ඩායම කවුදැයි මතක් කරමු?

ජනක නිලංග, අසංක සඳරුවන්, චතුරංග දීපාල්, ගයාන් චින්තක සහ සාලින්ද රුචිරංග

 

නුවන් මහේෂ් ජයවික්‍රම

නව අදහස දක්වන්න