සංවර්ධනයේ පදනම දේශපාලන ස්ථාවර බවයි | දිනමිණ

සංවර්ධනයේ පදනම දේශපාලන ස්ථාවර බවයි

නව ලොව දිනන ජාතියක් බිහිකිරීමට නම් පර්යේෂණ සහ සංවර්ධන දැනුම ලබාගැනීමට වැඩි ආයෝජනයක්, ඉඩක් දිය යුතු යැයි එපික් ලංකා සමාගම් සමූහයේ සභාපති ආචාර්ය නයන ඩී. පී. දෙහිගම මහතා ප්‍රකාශ කරයි.

නවීන ලෝකයේ දැනුම, පර්යේෂණ සොයා ගැනීම් වැඩි වැඩියෙන් මතු දියුණුවට යොදා ගන්නට රටක් ක්‍රියා කරන්නේ නම් එරට සෞභාග්‍ය වේගයෙන් උදාවන බවද ආචාර්ය නයන දෙහිගම මහතා කියයි.

අප රටේ වර්තමාන‍ෙය් පවතින සමාජ, දේශපාලන හා ආර්ථික පසුබිම මැද ව්‍යවසායකයා ගත යුතු මඟ හා ඔහු වෙත පැවැරී ඇති වගකීම් මොනවා දැයි අප සමඟ පැහැදිලි කරමින් එපික් ලංකා සමාගම් සමූහයේ සභාපතිවරයා දැක්වූ අදහස් සමුදායයි මේ.

• රටේ දේශපාලනයේ පැවැති අර්බුදකාරිත්වය දැන් පහව ගිහින්. ඔබ මේ තත්ත්වය දකින්නේ කොහොමද?

ඇත්තටම අපේ රටේ පමණක් නොවෙයි, ලෝකයේ ඕනෑම රටක දියුණුව, සංවර්ධනය ඇති වෙන්න නම් අනිවාර්යෙන්ම දේශපාලන ස්ථාවරභාවය තිබෙන්නට ඕනෑ. එසේ දේශපාලන ස්ථාවරත්වයක් පවතින ඕනෑම රටකට වැඩි වැඩියෙන් දේශීය, විදේශීය ආයෝජන එනවා. ඒ ආයෝජන වැඩිවීම තුළ නව රැකී රක්ෂා, ව්‍යාපාර, කර්මාන්ත බිහිවෙනවා. ඒ වාගේම ජන සමාජයේ ජීවන තත්ත්වය ඉහළට එසවෙනවා. අපේ රටේ පසුගිය දින 51 ක කාලයක් විශාල අවිනිශ්චිතතාවයක් සෑම අංශයකම තිබුණේ. ඒ තත්ත්වය දැන් වෙනස් වුණා. ඒක වඩාත් හොඳයි.

• රටකට සෘජු විදේශ ආයෝජන ගලා ඒමට දේශපාලන ස්ථාවරත්වය වාගේම තවත් හේතු බලපානවාද?

ඔව්!

අනිවාර්යෙන්ම බලපානවා. ඒ අතර ප්‍රධානම දේ තමයි රටක අභ්‍යන්තරයේ පවතින සමාකාමීබව, සාමය, සමාජයක රටක දියුණුවට බලපාන ප්‍රධානම කරුණක්. අද වනවිට අපේ රටේ සාමය පවතිනවා. එදා වසර 30 කට අධික කාලයක් අපේ රටේ මහා විශාල යුද බියක් තිබුණා. අද ඒ තත්ත්වය නෑ. වසර 2009 සිට සාමය නම් රටේ ස්ථාපිත වුණා. නමුත්! සංවර්ධනය, සංහිඳියාව ගොඩනැගීම ගැන නම් සෑහීමකට පත්වෙන්න බැහැ.

සාමය වාගේම රටක දියුණුවට බලපාන ප්‍රධාන කරුණක් තමයි අධිකරණ පද්ධතියේ පවතින ස්වාධීන නිදහස් බලපෑම්වලින් තොර අපක්ෂපාතිබව. එය අපේ රටේ ඉහළින්ම තිබෙන බව මෑතකදී ලබාදුන් අධිකරණයේ නඩු තීන්දුවලින් මුළු ලෝකයාම දැනගත්තා. අපිට ආඩම්බර වෙන්න පුළුවන් අධිකරණමය පද්ධතියක් රටේ තිබෙනවා. මේ ප්‍රධාන කරුණු දෙකට අමතරව දේශපාලන ස්ථාවරත්වයත් ගොඩනැගුණොත් රටට යහපත් සුබවාදී ඉදිරි ගමනක් යන්න පුළුවන්කම තිබෙනවා.

• ඉහතින් කී කරුණු කාරණා සම්පූර්ණ වූවත්, අපට තවමත් ආර්ථික, සමාජයික වශයෙන් සෞභාග්‍ය කරා ළඟාවීමට නොහැකි වී තිබෙන්නෙ ඇයි?

එයට හේතු ගණනාවක් තිබෙනවා. අපි ආර්ථික අංශය ගැන පමණක් කථා කරමු. අපි අපේ රටේ ජනතාවගේ දියුණුවට නව ආදායම්, නව නිපැයුම් ඔස්සේ සොයා ගන්නට උනන්දු වෙනවා අඩුයි. රටේ කෘෂිකර්මාන්තය ගත්තත්, කර්මාන්ත හා සේවා අංශ ගත්තත් අපි ඉන් උපරිම ඵල ලබාගන්න කටයුතු කරලා නැහැ. ඒවාගේමයි අලුතින් යමක් නිර්මාණය කරන්න, සිතන්න වැඩි ඉඩක් ලබාදීලා නැහැ. අපේ දේවලට අගය එකතු කරලා වැඩි ප්‍රතිලාභයක් ලබාගන්න කටයුතු කිරීම අඩුයි. අපි අපට අපේ රටේ පහසුවෙන් කරන්න පුළුවන් නිපැයුම් පවා පිටරටින් ගෙන එන ජාතියක්. පිටරටට යවන්න පුළුවන් අපේ දේවල් නිසියාකාරව යවන්නේ නැති පිරිසක්.

අපි අවදානම භාර අරගෙන යමක් අලුතින් කරන්න පෙලඹෙන්නේ නැති තරම්. සාම්ප්‍රදායිකව කරගෙන ආ දේ ඒ ආකාරයෙන්ම කරගෙන යනවා හැරෙන්නට ඊට පිටින් සිතන්න සූදානම් නැහැ. මේවා තමයි අපි දුරුකරගත යුතු, මඟහැර ගත යුතු දේවල්.

• නව ව්‍යවසායකයකු ලෙස පෙරට එන්නට කටයුතු කරන අයට රජයෙන්, රජයේ ආයතනවලින් ලබාදෙන සහයෝගය ගැන ඔබ සෑහීමකට පත්වෙනවාද?

රජයේ පමණක් නොවෙයි, ව්‍යාපාරික ක්ෂේත්‍රයට, ව්‍යවසායක අංශ වෙත එකතු වූ පිරිස් වෙත උදව් කිරීම සියලුදෙනාම කළ යුතු වෙනවා. ඒවා අඩු වැඩි වශයෙන් ලැබෙනවා. නමුත්! දක්ෂ ව්‍යවසායකයකු නම් තමන්ට ලැබෙන දේට වඩා නොලැබෙන දේ දිනා ගනිමින් අර්බුදයෙන්, අභියෝගයෙන් තෙම්පරාදු වී සන්නද්ධ වී පෙරට යෑමයි කළ යුත්තේ. ඒ නිසා අවදානම, අභියෝගයන් ජය ගන්නටයි අපි අපේ රටේ තරුණ ව්‍යවසායකයෝ පෙළගැස්සිය යුත්තේ.

• එහිදී පර්යේෂණ හා නව සොයා ගැනීම්, සංවර්ධනය කිරීම්වලට වැඩි ඉඩක් ලබාදිය යුතුයි නේද?

එය නම්, අනිවාර්යෙන්ම කළ යුතු දෙයක්. රටේ රාජ්‍ය අංශය වාගේම පෞද්ගලික අංශයත් අලුත් අලුත් දේ සොයා ගන්නට උනන්දු කළ යුතුයි. රටේ ජාතික ආදායමෙන් වැඩි ප්‍රමාණයක් නව පර්යේෂණ හා සංවර්ධන කටයුතුවලට වෙන් කළ යුතුයි. රටේ විශ්වවිද්‍යාල පද්ධතියේ ඉගෙනුම ලබන දරු පිරිස්, ආචාර්ය මහාචාර්යවරු සිදුකරන පර්යේෂණවලට ප්‍රායෝගික දැනුම ලබාගන්නා දේට වැඩි මුදලක් ලබාදී ඔවුන් ඒ සඳහා දිරිගැන්විය යුතුයි.

• නව පර්යේෂණවලට වැඩි මුදලක් රජය වෙන් කළ යුතුයි ඔබ යෝජනා කරනවා. නමුත්! වගකිවයුතු පෞද්ගලික අංශයේ ආයතනයක් ලෙස ඔබ ඊට ලබාදෙන දායකත්වය කොහොමද?

ඇත්තටම කියන්න සතුටුයි ඔබ ඇසූ නිසයි මා මේ දේ හෙළි කරන්නේ. අපි අපේ ආයතනයේ ඉහළ ප්‍රමුඛතාවයක් නව පර්යේෂණ හා සංවර්ධන කටයුතු සඳහා ලබාදී තිබෙනවා. ඒ අනුව මව් සමාගමට අනුබද්ධිතව වෙනමම ආයතනයක් ලෙස අපි පර්යේෂණ හා සංවර්ධන ආයතනයක් පිහිටුවා කටයුතු කරමින් ඉන්නවා.

• එපික් ලංකා ආයතනය, රටේ ආර්ථිකයට ලබාදෙන දායකත්වය කෙබඳුද?

අපි පෞද්ගලික අංශයේ එක් ආයතනයක් පමණයි. අපි රටට, ලෝකයට අවශ්‍ය පරිගණක සේවා ආශ්‍රිතව දැනුම පදනම් කරගත් ව්‍යාපාරික විසඳුම් ලබාදෙන ආයතනයක්. අපේ ආයතනයේ සේවකයෝ 300 ක් විතර සේවය කරනවා. මින් සියයට 90 ක් ම ඉංජිනේරු උපාධිධාරින්. අපේ සම්පත දැනුමින් පිරි මානව සම්පතයි. අපි මේ මානව සම්පතින් උපරිම ප්‍රයෝජන රටට ලබාගැනීමට කටයුතු කරන ආයතනයක්. අපි ලෝකයාට අපේ දැනුමින් පරිගණක විසඳුම් ලබාදී ඩොලර්වලින් රටට ආදායම ගෙන එනවා.

ඒවාගේම එවැනි දේට අපේ රටින් පිටරටවලට ඇදී යන විදේශ විනිමය ඉතිරිකරලා දෙනවා.

• ඔබ ආයතනය ශ්‍රී ලංකාවේ පමණක් නොව විදේශවලත් සේවා සැපැයීම් කරනවාද?

ඔව්! දැනට ජපානය, මැලේසියාව හා සිංගප්පූරුවේ සිට අපි අපේ ව්‍යාපාරික කටයුතු මෙහෙයවනවා. අපි ඉන් උපයන්නේ එක්සත් ජනපද ඩොලර්. ඒක රටට අවශ්‍යම දෙයක්.

• අනාගතයේදී ඔබේ ව්‍යාපාරික සේවා තවත් රටවලට ව්‍යාප්ත කරනවාද?

ඔව්!

එසේ කිරීමට අපි දැනටමත් සැලසුම් සකස්කොට තිබෙනවා. අපි වසර 2019 ඉන්දුනීසියාවට හා තායිලන්තයට ගොස් අපේ ව්‍යාපාරික සේවා ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා. අපේ සේවා පිළිබඳව ලෝකයේ රටවල් රාශියක් ඇගැයීම් ලබාදී තිබෙනවා.

පරිගණක සේවා පිළිබඳව විසඳුම් ලබාදෙන ඔබ ආයතනයට ලෝකයේ ස්වාධීන, ප්‍රමිතිගතකරණ ආයතනවලින්, අධීක්ෂණ ආයතනවලින් සහතික ලැබී තිබෙනවාද?

ඔව්!

එවැනි ස්වාධීන ලෝකය පිළිගත් ආයතනවලින් ඇගැයීම් බලපත්‍ර අපට ලැබී තිබෙනවා. ඒවාගේම ශ්‍රී ලංකාවේ ප්‍රමිති ආයතනවලින් පවා අපිට සහතික බලපත්‍ර හිමිවී තිබෙනවා. එවැනි දෙස් විදෙස් ඇගැයීම් ලැබී තිබීම නිසා තමයි අපිට ලෝකයේ විවිධ රටවල ව්‍යාපාරික අවස්ථා උදාවෙලා තිබෙන්නේ. එය අපට විශාල ශක්තියක් වී තිබෙනවා. අපි ඉදිරියටත් ඉතා වගකීමෙන් විශ්වාසයෙන් පරිගණක විසඳුම් සපයන ආයතනයක් ලෙස ලෝකය දිනාගැනීම, දිනාගත් නාමය රැකගැනීම උදෙසා ඇප කැප වෙනවා.

සංවාදය - ජයසිරි මුණසිංහ

සේයා - සුමනචන්ද්‍ර ආරියවංශ


නව අදහස දක්වන්න