අයවැයට පෙරවදනක් | දිනමිණ

අයවැයට පෙරවදනක්

මේ වසර තුළ ලෝකයේ දියුණු රටවල් මූල්‍ය අර්බුදයකට මුහුණ දෙනු ඇතැ’යි දේශපාලන මතවාද පැතිර ගිය ද; ආර්ථික විශේෂඥයන් මේ වන විටත් පුරෝකථනය කර ඇත්තේ මූල්‍ය අර්බුදයක් ඇතිවීමට තරම් හේතු-සාධක නැති බව ය. ඒ හැරෙන්නට බොර තෙල් බැරලයක මිල තවදුරටත් පහළ යනු ඇතැ’යි ද ආර්ථික අනාවැකි පළවී ඇත. ලෝක ආර්ථිකයේ පවත්නා මේ ප්‍රවණතා දෙක ම ශ්‍රී ලංකාවේ අපට සුබදායක ලෙස බලපානු ඇත. විශේෂයෙන් බොරතෙල් බැරලයක මිල තවදුරටත් පහළ ගියහොත්; අපේ ආර්ථිකයේ බොහෝ අංශ ඉදිරියට එනු ඇත. එලෙස ම ඒ ඔස්සේ ජනතාවට ලබාදිය හැකි සහනවල ප්‍රමාණාත්මක වැඩිවීමක් සිදුවනු ඇත.

නූතන ශ්‍රී ලංකා‍ව දෙස ආපසු හැරී බලන විට පෙනී යන විශේෂ කාරණය වන්නේ අප මුහුණ දෙන ආර්ථීක අභියෝගය අන් සියලු සාධකවලට වඩා ප්‍රධාන වන බව ය. දේශපාලන අර්බුද, මැතිවරණ, සමාජ පසුබෑම් හා තවත් දේවල් ඇත්තේ ආර්ථික අභියෝගයට පහළින් ය. 2019 යනු ශ්‍රී ලංකාව වැඩියෙන් ම ණය ගෙවිය යුතු වර්ෂයකි. විදේශ ණය හා පොලිය දෙස බලන විට ‍එහි බරපතළ බව වටහාගත හැකි ය. මේ හැරෙන්නට රටේ පවත්නා දුගීභාවය හා විරැකියාව සඳහා පිළිතුරු සපයන්නට රජයට සිදුවනු ඇත. මෙහිදී අපේ නායකයන් පොදු න්‍යාය පත්‍රයක් යටතේ වැඩ කරන්නේ නම්‍; ඉතා වැදගත් බව කථානායකවරයා ප්‍රකාශ කර තිබේ. එය කාගේත් අවධානයට ලක්විය යුතු කාරණයෙකි. ආර්ථික අභියෝගයේදීවත්; පොදු න්‍යාය පත්‍රයක් යටතේ වැඩ කිරීමට නායකයන් එකඟ විය යුතුය.

ජාතික ආර්ථිකයේ වැදගත් ම සාධකය ලෙස සැලැකිය හැක්කේ අයවැය ලේඛනයයි. මෙවර අයවැය ලේඛනය ඉදිරිපත් වන්නේ ප්‍රමාදවීම් සහිතව ය. පසුගිය නොවැම්බරයේ 2019 අයවැය ලේඛනය ඉදිරිපත් කිරීමට තිබුණද ඔක්තෝබරයේ හටගත් දේශපාලන අර්බුදය නිසා එය ඉදිරිපත් කිරීම කල්ගත විය. මේ වන විට මුදල් අමාත්‍යවරයා අබිමුව ආර්ථික අභියෝග ගණනාවක් තිබේ. ඒවා ජයගන්නා ආකාරයෙන් අයවැය ලේඛනය ඉදිරිපත් කිරීමට අමාත්‍යවරයාට සිදු වී ඇත. එක අතෙකින් ක්ෂේත්‍ර ගණනාවක් පසුබෑමට ලක් වී ඇත. තව අතෙකින් ක්ෂේත්‍ර ගණනාවක් මන්දගාමී වී ඇත. පැවැති දේශපාලන අර්බුදය ද මීට එක් හේතුවක් විය. කෘෂිකාර්මික ක්ෂේත්‍රය, අපනයනය, ස්වදේශික කර්මාන්ත සැලැකිය යුතු මට්ටමකින් පසුගාමී වී ඇති බවක් පෙනෙයි. මේ හැරෙන්නට ඇතැම් රාජ්‍ය ආයතන පාඩු ලබන තත්ත්වයේ පසුවෙයි. තවත් ආයතනවල ණය බර ඉතා වැඩි ය.

අයවැය ලේඛනයක් යනු වර්ෂයක් සඳහා රජයේ වියදම් හා ආදායම් දක්වන සටහන යැයි සරල විග්‍රහයක් කළ හැකි ය. ආයතන පවත්වාගැනීම සඳහා ද විශ්‍රාම වැටුප්, ආධාර, වන්දි ආදිය ගෙවීම සඳහා ද රජය මුදල් වෙන්කළ යුතු ය. මේ හැරෙන්නට රටේ පොදු සංවර්ධනය හා අධ්‍යාපනය සඳහා ද මුදල් වෙන්කළ යුතුය. ශ්‍රී ලංකාව නොමිලේ අධ්‍යාපනය හා නොමිලේ සෞඛ්‍ය සේවය ලබාදෙන රාජ්‍යයෙකි. මේ අනුව විශාල මුදලක් ලාභ නො ලබන ක්ෂේත්‍ර සඳහා වැය කළ යුතු ය. විදේශ ණය හා පොලී ගෙවීම් ආදියත් සමඟ සලකා බලන විට රජයට විශාල ආදායමක් උපයාගත යුතුව තිබේ. එලෙස ආදායම් උපයාගන්නා මාර්ගය ද මුදල් අමාත්‍යවරයා පෙන්වාදිය යුතු ය. සාමාන්‍ය පරිදි ගත් කල සෑම රාජ්‍යයක් ම පාහේ හිඟ අයවැය ලේඛන ඉදිරිපත් කරයි. ශ්‍රී ලංකාව ද ඒ ගණයට අයත් ය.

ලෝක බැංකුවේ අධිපති ලෙස කාලයක් සේවය කළ රොබට් මැක්නමාරාගේ අදහස වූයේ හිඟ අයවැය ලේඛන යනු සංවර්ධනයේ පුරෝගාමී සලකුණක් බව ය. එහෙත් හිඟය පියවීම සඳහා ගනු ලබන ආර්ථීක උපායමාර්ග ජනප්‍රිය ඒවා නොවන්නට පුළුවන. මැක්නමාරාගේ උපදේශනය වූයේ ජනප්‍රිය නො වන උපායමාර්ග ඔස්සේ වුව රජයක ආදායම් වර්ධනය කරගත යුතු බව ය. ආදායම් නැතිව ජනතාවට සහන සැලැසිය නො හැකි ය. දියුණු රටවල බදු අයකිරීම් ඉහළ මට්ටමක පවතින අතර ජනතාවට ලබාදෙන පොදු පහසුකම් ද ඉහළ මට්ටමක පවතී. දුප්පත් රටවල සුබසාධන ක්‍රම වැඩියෙන් ක්‍රියාත්මක වුව බදු අයකිරීම් ඉහළ මට්ටමකින් පවත්වා ගැනීම දුෂ්කර ය. දුප්පත් රටවල ජනතාව හැම විට ම සහන අපේක්ෂා කරන අතර බදුවලට එරෙහි වෙති.

මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා මෙවර අයවැය හඳුන්වා ඇත්තේ ජනතාවාදී අයවැය ලේඛනයක් හැටියට ය. නව රජය පත්වූ සැණෙන් කියා සිටියේ සංවර්ධන සංග්‍රාමයක් හා ජනතා සහන සංග්‍රාමයක් ක්‍රියාත්මක කරන බව ය. රටේ ජනතාව මේ ගැන අපේක්ෂාවෙන් සිටින බව අමුතුවෙන් කිව යුතු නැත. මුදල් අමාත්‍යවරයා පෙන්වා දෙන අන්දමට මෙවර අයවැය ඔස්සේ ගම හා නගරය සමානුපාතික ලෙස සංවර්ධනය කිරීමට අදාළ යෝජනාවලින් සමන්විතය. එය අලුත් දැක්මක් ලෙස සඳහන් කළ යුතු ය. මීට පෙර අපේ අයවැය ලේඛන බොහොමයකින් උත්සාහ කළේ ශ්‍රී ලංකාවේ ගම්මාන දියුණු කිරීමට ය. රටේ ග්‍රාමීය අංශයට අයත් ජනගහනය මුළු ජනගහනයෙන් 70% ක් පමණ වීම මීට හේතුවක් වන්නට පුළුවන. එහෙත් අද යථාර්ථය ගතහොත් ගම්මාන උප නගර හා නගර බවට පත්වෙමින් තිබේ. නාගරීකරණය සීඝ්‍ර ලෙසින් සිදුවේ.

රටේ ජාතික ආර්ථිකය ඔසොවා තැබීමට නම්; කෘෂිකර්මය දියුණු කළ යුතු ය. කෘෂිකර්මය මුළුමනින් ම පාහේ අයත්වන්නේ ග්‍රාමීය අංශයට හා වතු අංශයට ය. දෙවනුව අපනයනය වේගයෙන් වර්ධනය කළ යුතු ය. අපේ අපනයන ක්ෂේත්‍රය පසුගිය වසර කිහිපය තුළ 15% ක පමණ පසුබැසීමකට ලක් වී ඇති බව ආර්ථික විශේෂඥයෝ පෙන්වා දෙති. අපනයනය දුර්වලවීම රුපියලේ අගය පිරිහීමට ද බලපායි. දැන් පවතින්නේ අපනයනය දුර්වල වෙමින් ආනයනය වර්ධනය වෙන තත්ත්වයකි. එය රටක ආර්ථීක වර්ධනයට සුදුසු නැත. ජාතික ආදායම ඉහළ නංවා ගැනීම සඳහා විදේශ මුදල් උපයනු ලබන ක්‍රමවේද අවශ්‍ය වෙයි. ඒ සඳහා යොදාගත හැකි එක් සාධකයක් වන්නේ සංචාරක කර්මාන්තය යි. සංචාරක කර්මාන්තය අංශ ගණනාවකින් ම ජාතික ආර්ථිකයේ වර්ධනයට බලපෑම් කරයි.

දේශපාලන හැලහැප්පීම් පැවැතිය ද රටක ආර්ථිකය ශක්තිමත්ව පවත්වාගත යුතු ය. එසේ නොවුණහොත් සියලු අංශ කඩාවැටීමකට ලක්වෙයි. මෙහි වගකීමෙන් සැලැකිය යුතු කොටසක් මුදල් අමාත්‍යවරයා වෙත පැවරෙයි. එක අතෙකින් ජනතා සහන ඇතිකළ යුතුය. තව අතෙකින් වාර්ෂික ආර්ථික වෘද්ධිය ඉහළ මට්ටමකට ගෙන යා යුතු ය. තවත් අතෙකින් කැපී පෙනෙන සංවර්ධනයක් ඇතිකළ යුතු ය. මේ සියල්ල ම බලවත් ආර්ථික අභියෝග ලෙස පවතී. මුදල් අමාත්‍යවරයා මේවා සඳහා ක්‍රියාත්මක කරන උපාය මාර්ග මත මේ වසරේ ආර්ථිකයේ සාර්ථක - අසාර්ථකභාවය තීන්දු වනු ඇත.

 


නව අදහස දක්වන්න