කුඩු නැති රටක්! | දිනමිණ

කුඩු නැති රටක්!

ශ්‍රී ලංකාව කුඩු නැති රටක් හැටියට ඔසොවා තැබිය හැකි නම්; මේ කාලයේ අප ලබන විශිෂ්ට ජයග්‍රහණය එය වන්නේ ය. මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන දෙස බලනවිට පෙනී යන්නේ අපට එය කළ හැකි බව ය. කුඩු ජාවාරම වඩාත් ශක්තිමත් වූයේ ප්‍රධාන සාධක කිහිපයක් නිසා ය. පළමුව ඊට දේශපාලන සබඳතා තිබිණි. දෙවනුව ඊට පාතාලයේ සම්බන්ධතා තිබිණි. තෙවනුව අන්තර්ජාතික වශයෙන් ක්‍රියාත්මක ජාලයක් මත්කුඩු ව්‍යාපාරය තුළ තිබේ. මේ හැම එකක් ම අතිශය බරපතළ ය. එහෙත් ගෙවී ගිය වසර තුනක පමණ කාලය තුළදී ඉහත කී සබඳතා සැලකිය යුතු ප්‍රමාණයකින් අඩපණ කරන්නට රජයට හැකිවිය. මහා පරිමාණ කුඩු ජාවාරම්කරුවන්ට මරණ දඬුවම ලබාදිය යුතුය යන මතය පවා අද පිළිගැනීමට ලක් වී ඇත.

මීට දින දෙකකට ඉහත දී කුඩු ගබඩාවක් වැටලීමට පොලිසිය සමත්විය. එය පිහිටුවා තිබුණේ දෙහිවල කවුඩාන පාරේ සුඛෝපභෝගී දෙමහල් නිවසක් තුළ ය. මෙහි තිබී අත්අඩංගුවට ගත් කුඩු ප්‍රමාණය කි.ග්‍රෑ. දෙසිය හැත්තෑඅටක් බව කියති. ඒවායෙහි මුළු වටිනාකම රුපියල් කෝටි තුන්සිය තිස්තුනක් බව ද කියති. රට පුරා මධ්‍යස්ථානවලට කුඩු බෙදාහරින මූලස්ථානය මෙය බව ද කියති. බංග්ලාදේශ ජාතිකයෝ දෙදෙනෙක් ද අත්අඩංගුවට ගෙන සිටිති. ශ්‍රී ලංකාව කුඩු නිෂ්පාදනය කරන රටක් නො වේ. එබැවින් ජාවාරමට අවශ්‍ය කුඩු ආනයනය කළ යුතු ය. බංගලිදේශය, ඉන්දියාව, ඇෆ්ගනිස්ථානය, පාකිස්ථානය හා තවත් රටවල් කිහිපයකින් කුඩු ගෙන්වන බව පැහැදිලි කරගත හැකි ය.

දෙහිවල යනු කොළඹට සමීප ජනාකීර්ණ උප නගරයකි. එහි බොහොමයක් ප්‍රදේශ ධනවතුන් හා ප්‍රභූන් උදෙසා වෙන් වී ඇත. කුඩු මධ්‍යස්ථානය සොයා ගනු ලබන්නේ වැදගත් සමාජයක් වාසය කරන ප්‍රදේශයකින් ය. මේ සිද්ධිය ඔස්සේ කරුණු කිහිපයක් වටහාගත හැකි ය. එක; ජනතාව හා පොලිසිය නොමඟ යවනසුලු ක්‍රමවේද කුඩුකාරයන් ළඟ ඇති බව ය. දෙක; පැල්පත් මුඩුක්කුවල පමණක් නො ව; මහා මන්දිර තුළ ද කුඩු ජාවාරම පැවැතිය හැකි බව ය. තුන; දැන් කුඩු හසුවන්නේ මහා පරිමාණ තොග වශයෙන් බව ය. රුපියල් කෝටි 333 ක් යනු සුළුපටු ගණනක් නො වේ. කුඩු කිලෝ ග්‍රෑම් දෙසිය හැත්තෑඅටක් යනු ද සුළුපටු ප්‍රමාණයක් නොවේ.

ජනතාව අවදියෙන් සිටින්නේ නම්; මෙබඳු ස්ථාන පිළිබඳ ඔත්තුව පොලිසියට ලබාදිය හැකි ය. තව ම අපේ ජනතාව කුඩුකාරයන්ට බයෙන් ජීවත්වන බවක් පෙනෙන්නට තිබේ. තව අතෙකින් තමන්ගේ අසල්වැසියා පිළිබඳ නිවැරැදි විනිශ්චයකට පැමිණීමේ හැකියාවක් ද පුද්ගලයකුට තිබිය යුතු ය. දෙහිවල කුඩු ගබඩාව ඊයේ හෝ පෙරේදා හෝ ආරම්භ කළ එකක් විය නො හැකි ය. මේ ස්ථානය කාලයක් තිස්සේ පවතින්නට ඇත. එහෙත් කිසිවෙක් කුඩු ගබඩාව දැක නැත. ජනතාව සංවිධානගත වී හෝ ඉහත කී ජාවාරම් මැඩපැවැත්විය යුතු ය. ඊට සුදුසු කාලය ද එළැඹ තිබේ.

ආගමික සිද්ධස්ථානවලට ද මෙහිලා විශේෂ වගකීමක් හිමි වෙයි. එහි නායකයන්ට මත්ද්‍රව්‍ය විරෝධී ජාතික සටන් ව්‍යාපාරයක් වුව ආරම්භ කළ හැකි ය.

මත්ද්‍රව්‍ය භාවිතය නිසා රටේ තරුණ පරපුරට සිදුවී ඇති විනාශය ගැන දැනගැනීමට නම්; පුනරුත්ථාපන කඳවුරකට ගොස් එහි නේවාසිකයන්ගේ කතාන්දර වෙන වෙනම අධ්‍යයනය කළ යුතු ය. මත්ද්‍රව්‍යවලට ගොදුරු වූ වැඩිදෙනා යහපත් ජීවිත ගත කළ හැකියාවන් සහිත තරුණ පුද්ගලයෝ ය. මොවුන් මේ වරදට පෙලැඹී ඇත්තේ සමාජ ආශ්‍රයෙන් බව පැහැදිලි ය. තරුණ දරුවන්ට කුඩු ලබාදෙන සංවිධානගත කල්ලි සිටිති. පාතාලය ඔවුන් මෙහෙයවනු ලබන බව පෙනෙයි. මේ සංසිද්ධියෙහි අතිශය ඛේදය වන්නේ ළාබාල ශිෂ්‍යයන් ද මතට බිලි වී සිටීම ය. මත් ලෝලියාට අවට සමාජය පිළිබඳ හැඟීමක් නැත. ඔහු ජීවත්වන්නේ මවාගත් ෆැන්ටසියක ය. එබැවින් අවට සමාජයට ඕනෑ ම හානියක් සිදුකිරීමේ හැකියාව මත්ලෝලියාට තිබේ.

ඉතා බරපතළ ලෙස රට පුරා කුඩු ව්‍යාප්ත වී වැඩි කාලයක් ගෙවී නැත. මුල් වකවානුව තුළ කුඩු ගැටලුව පැවැතියේ කොළඹ ඇතුළු නගර කිහිපයක් තුළ පමණි. පාතාලය කුඩු ජාවාරම හසුරවන තැනකට රට ගියේ ද මෑතක දී ය. පාතාලය කුඩුවලට පමණක් නොව තවත් විෂය ක්ෂේත්‍ර ගණනාවකට ම සම්බන්ධ ය. රාජ්‍ය අංශයේ සිදුවන ඇතැම් මහා පරිමාණ දූෂණ පසුපස ද පාතාලය සිටින බව කියති. ක්‍රීඩා අමාත්‍යවරයා පෙන්වා දෙන අන්දමට මෙරට ක්‍රිකට් ක්‍රීඩාව පසුපස පවා පාතාලය සිටී. මේ හෙළිදරව් කිරීම්වලින් පෙනීයන්නේ කුඩු නිවාරණය පහසු දෙයක් නොවන බව ය. එහෙත් අපේ පොලිසිය හා මත්ද්‍රව්‍ය නිවාරණ අංශ ඉතා දක්ෂ ලෙස සිය මෙහෙයුම් සිදුකරති.

ලතින් අමෙරිකානු රටවල් කිහිපයක කුඩු ව්‍යාපාරිකයෝ ආරක්ෂක බලඇණි පවත්වාගෙන යති. ඔවුන් කෙතරම් බලවත් ද යත්; රජයේ හමුදා හා පොලිසිය සමඟ කරට කර සටනක් දෙන්නට හැකියාව තිබේ. හමුදාව හා කුඩුකාරයන්ගේ බලඇණි අතර සිදුවන පුංචි යුද්ධ ගැන ආරංචි ද වරින් වර අසන්නට ලැබේ. ශ්‍රී ලංකාවේ කුඩු ව්‍යාපාරිකයා එතරම් දියුණු නැතත්; එබඳු ස්ථානයක් කරා ගමන් කරමින් සිටින බව අමතක නොකළ යුතු ය. මේ තත්ත්වය මුළුමනින් ම පාහේ ආපසු හැරවීමට බලපෑ ප්‍රධාන සාධකය වන්නේ මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා ජනාධිපතිවරයා ද සක්‍රීය දායකත්වයක් ලබාදීම ය. මත්ද්‍රව්‍ය නිවාරණයට අදාළ ජනාධිපති කාර්ය සාධක බළකායක් පිහිට වූයේ ද ජනාධිපතිවරයා ය.

ශ්‍රී ලංකාව තුළ මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධයෙන් සාර්ථක වැඩසටහනක් ක්‍රියාත්මක වන බව බැලූ බැල්මට ම පෙනෙයි. දිනපතාම පාහේ රටේ කොතැනක හෝ වැටලීමක් සිදුවෙයි. ජාවාරමේ නායකයන් හෙවත් ප්‍රධාන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම ද දැන් සිදුවෙයි. මීට පෙර මත්ද්‍රව්‍ය නිවාරණයට පැවැති විවේචනයක් වූයේ ජාවාරමෙහි තෝරු මෝරුන් අතහැර හාල්මැස්සන් පමණක් අත්අඩංගුවට ගන්නවා යන්න ය. අද එබඳු විවේචන සිදුවන්නේ නැත. කුඩු සමාජයේ තෝරු මෝරුන් අද වැඩිපුර ම අත්අඩංගුවට ගනු ලැබේ. එලෙස ම කුඩු ගබඩා පවා සොයාගැනීමට ආරක්ෂක අංශ සමත් වී ඇත. මේවා ජයග්‍රහණ ලෙස සැලැකිය හැකි ය.

මත්ද්‍රව්‍ය නිවාරණය පමණක් නො ව ඊට අදාළ ජාවාරම්කරුවන්ට මුහුණදීමත් ලෝක අභියෝගයක් හැටියට පවතී. මෑතක දී පවත්වන ලද අන්තර්ජාතික සමුළු කිහිපයකදීම මේ පිළිබඳ සංවාද පවත්වා ඇත. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෙන්වා දෙන අන්දමට ආසියානු කලාපය වර්තමානයේ මුහුණ දෙන ප්‍රධාන අභියෝගයක් හැටියට ද මත්ද්‍රව්‍ය උවදුර සැලැකිය හැකි ය. ඉන්දියාව, බංග්ලාදේශය, පාකිස්ථානය, නේපාලය වැනි රටවල් ද මත්ද්‍රව්‍ය උවදුරට ගොදුරු වී ඇත. එහෙත් මේ කිසිදු රාජ්‍යයක් මතින් තොර රටක් බිහිකර නැත. ඉහත කී රටවල් ඔස්සේ ශ්‍රී ලංකාවට ලැබෙන විවිධ විෂ මත්ද්‍රව්‍ය හුවමාරු වන මධ්‍යස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව හඳුන්වා ඇත. එය අපට අපකීර්තියකි.

කුඩුවලින් තොර රටක් ගොඩනැඟීම සඳහා සියලු ම පුරවැසියන්ගේ සහයෝගය ද රජයට ලැබිය යුතු ය. එබඳු ජාතික උත්සාහයක් ඇතොත්; අප කිසිවිටෙක මේ සටනින් පරදින්නේ නැත.

 

නව අදහස දක්වන්න