මගඩි වැඩට සුපිරි නැවක් | දිනමිණ

මගඩි වැඩට සුපිරි නැවක්

හොඳයි එහෙනම්, මම කෙනත් මැක්ඩොනල්ඩ්ව මැකාතිට මුණගස්වන්නම්. හැබැයි එකක්, හායි, බායි කියනවා ඇරෙන්න වෙන කිසි දෙයක් කතා කරන්න බැහැ.“ නගරාධිපතිවරයාගේ හඬ තීරණාත්මකය. වෙයින්බර්ග් හා ඇමරොසෝ එකිනෙකා දෙස බැල්මක් හුවමාරු කර ගත්හ. නගරාධිපතිවරයා එකඟවුණේ මැක්ඩොනල්ඩ්ව පෙන්වීමට පමණි. එතැනින් එහාට කිසිවක් නැත. නමුත් එරිචෙට්ටි සම්බන්ධයෙන් එය අතිශයින් වැදගත් පියවරක් විය. ඊට එකඟවීමෙන් මෙතෙක් කලක් මැක්ඩොනල්ඩ් වෙනුවෙන් නගරාධිපතිවරයා පවත්වාගෙන ගිය ආරක්ෂක පවුර බිඳී ගියේය.

එරිචෙට්ටිගේ නිවැරදි විනිශ්චය බිඳී ගියේ අබ්දුල් කැරට් අලයට ගිජු වූ නිසාය. අබ්දුල්ගේ නියෝජිතයින්ගෙන් කෙළින්ම අල්ලස් ලබාගැනීමට මැක්ඩොනල්ඩ් පැමිණෙන දිනය වැඩි ඈතක නොවේ. ඕනෑ කරන්නේ ඒ සඳහා ඔහු පොළඹවා ගැනීමට ප්‍රමාණවත් කැරට් අලයක් හා ඉවසීම පමණි. දැන් කරන්නට ඇත්තේ කාලයට ඉඩ දී බලා සිටීමයි. එරිචෙට්ටිද සිටියේ සිදුවන්නට යන වෙනස ගැන උකටලී ස්වභාවයකින් බව ඔහුගේ කතාවෙන් කාටත් වැටහුණි.

“මම මේ වැඩවලට නවකයෙක් නෙවෙයි. ඒත් මොන දේ කළත් ඒ හැමදේකම මොකක් හරි අඩුවක් තියෙන බව මට හැමවෙලාවෙම පෙනුණා. මට දැන් වයස පනහයි. මම හුඟක් දේවල් දැකලා, හුඟක් දේවල් අහලා, තවත් හුඟක් දේවල් ගැන හීන දැකලා තියෙනවා. ඒත්! මේක තමයි මගේ ජීවිතේටම දැකපු විශ්වාස කරන්න බැරි හොඳම දේ !“

තීරණාත්මක හමුව පැවැත්වුණේ 1979 මාර්තු 05දාය. නිව් ජර්සි නුවර චෙරිහිල්වලදී එරිචෙට්ටි හා මැක්ඩොනල්ඩ් සමඟ අබ්දුල්ගේ පාර්ශ්වය නියෝජනය කරමින් රාත්‍රී භෝජනයට සහභාගි වූයේ මැකාතිය. මැකාති හමුව පිළිබඳ සුබවාදි අදහස් දැරුවත් ඒ පිළිබඳ වැඩිදුර විස්තර සිය සගයන්ට හෙළි කිරීමට තරම් උනන්දු වූයේ නැත. නගරාධිපතිවරයා සේම කැසිනෝ කොමිසමේ ප්‍රධානියාද පහසුවෙන් නම්මා ගත නොහැකි බව පෙනෙන්නට තිබුණි. නගරාධිපතිවරයා කලින් කර තිබු අනතුරු ඇඟවීම නිසාවෙන් අල්ලස් සම්බන්ධ කිසිවක් මැකාති එම සාකච්ඡාවේදි මතුකර තිබුණේ නැත. නමුත් කැසිනෝ අවන්හලක් සඳහා බලපත්‍රයක් ලබාගැනීමේදි අනුගමනය කළ යුතු ‘සාමාන්‍ය‘ ක්‍රියාපටිපාටිය ගැන හොඳ විස්තරයක් ලබාදීමට තරම් මැක්ඩොනල්ඩ් කාරුණික වී තිබිණි. එපමණක් නොව අබ්දුල්ගේ බලපත්‍රය වෙනුවෙන් පෞද්ගලිකවම මැදිහත්වීමට පවා මැක්ඩොනල්ඩ් පොරොන්දු වි තිබිණ.

මැකාතිගෙන් ඊට වඩා විස්තරයක් ලබාගැනීම ඉබ්බකුගෙන් පිහාටු ගැනීමක් බඳු වූ නිසා වෙයින්බර්ග් කළේ, හිතමිතුරු එරිචෙට්ටිව ඇමතීමය. බලාපොරොත්තු වූ පරිදිම හිත සැනසෙන ආකාරයේ විස්තර කථනයක් නගරාධිපති තැනගෙන් ලැබුණේ එදින පැවති හමුව ගැන අදහස් දැක්වීමක්ද සමඟය.

“මැක්ඩොනල්ඩ් කිව්වා එයා ජැක් (මැකාති) ඉල්ලන ඕනම දෙයක් දෙන්නම් කියලා. එයා ඒ තරම් විශ්වාසයකින් කතා කරනවා මම කවදාවත් අහලා නැහැ . “අපි ඔයාට වචනේ දීලයි තියෙන්නේ. දැනටමත් වැඩේ කෙරිලා කියලා හිතාගන්න“ කියලා එයා කිව්වා. “

ඉන්පසු සති කිහිපයක්ම ගෙවී ගියේ කිසිදු වගතුවක් නැති ගාණටය. මැක්ඩොනල්ඩ්ව ඇමට දැමු නගරාධිපති එරිචෙට්ටි දිගින් දිගටම වෙයින්බර්ග්ට කරදර කළේ ඩොලර් ලක්ෂයේ අල්ලස ලබාදෙන්නැයි කියමිනි. නමුත් අල්ලස ලබාදිය යුතු වූයේ ඔහුගේ අතටය. එය ලබාගැනීමට මැක්ඩොනල්ඩ් හෝ අනෙක් කැසිනෝ කමිටු සාමාජිකයින් හෝ ඉදිරිපත් කිරීමට නගරාධිපති තැන කිසි ලෙසකින්වත් කැමති නොවීම අබ්දුල් නියෝජිතයින්ට තිබු ලොකුම ගැටලුව විය.

අල්ලස් ලබාගැනීමට මැක්ඩොනල්ඩ් ඇතුළු සෙසු කමිටු නිලධාරීන් ඉදිරිපත් කරන තෙක් එරිචෙට්ටි ගෙනෙන කැසිනෝවලට සුදුසු ඉඩකඩම් මිලට ගැනීමත්, ඔහුගේ සෙසු ගනුදෙනු කල්දැමීමටත් අබ්දුල් පාර්ශ්වය තීරණය කළහ. වැඩ කල් දැමීමේ වගකීම භාරවුණේ එවැනි වැඩ සඳහාම නම් දැරූ වෙයින්බර්ග්ටය.

එරිචෙට්ටිව සැනසීමටත්, ඔහුගේ විශ්වාසය නොබිඳී පවත්වා ගැනීමටත් වෙයින්බර්ග් යෙදූ විවිධ උප්පරවැට්ටි ඔහුගේ නිර්මාණ කෞශල්‍යයටම පමණක් පහළවන ඒවාය. ඒවා අමු බේගල් බවට සැක කරන්නට එරිචෙට්ටිට හාංකවිසියකවත් හේතුවක් තිබුණේ නැත.

“අබ්දුල්ගේ බෝර්ඩ් එක නගරාධිපතිතුමා දීපු ලොකේෂන් ගැන ඇහැ ගහගෙනයි ඉන්නේ. කරුමේ කියන්නේ ඒවායේ මේ පොඩි පොඩි නීතීමය ගැටලු ටිකක් ඇවිල්ලා තියෙනවා. දන්නවානේ ඔය ඉඩකඩම් ගන්න ගියාම තියෙන බර බරේ. අබ්දුල් කැමති නැහැ ඕවට පැටලෙන්න. හැමදෙයක්ම ක්ලියර් කරගෙන මිසක් ඉඩම් එකක්වත් ගන්න එපා කියලයි මිනිහා එයාගේ ස්ටාෆ් එකට අණ දීලා තියෙන්නේ. ඉතිං එයාලා බයයි කරදරේ වැටෙන්න. කල් ගියත් කමක් නැහැ වැඩේ තිතටම කරන්නයි එයාලට ඕනේ.“

කැසිනෝ අවන්හලක් ඉදිකිරීමට ණය ලබාදෙන ලෙසට ඉල්ලීමක් කරමින් එරිචෙට්ටි හඳුන්වා දුන් ගුචියෝන්ට ණය ලබාදීමත් මෙතෙක් සිදුව තිබුණේ නැත. එයද ඉඩම් මිලදී ගැනීම සේම කල්දැමීමට අබ්දුල්ගේ නියෝජිතයින් තිරණය කර තිබුණේ අල්ලස් ලබාගැනීමට මැක්ඩොනල්ඩ් හා කැසිනෝ කොමිසමේ සාමාජිකයින් ඉදිරිපත්වන තෙක්ය.

“ගුචියෝන්ගේ වැඩේ ගැනත් මම හොයලා බැලුවා. වැඩේ තියෙන්නේ මිනිහාගේ කලින් කියපු නැති මුල්‍ය ගැටලු ටිකක් මතුවෙලා තියෙනවා. මම ඇට්ලන්ටාවල ඉන්න මිනිහාගේ ඉදිකිරීම් නියෝජිතයාවත් හම්බවෙලා කතා කරලා බැලුවා.“

වෙයින්බර්ග්ගේ සූත්තරමාරු එරිචෙට්ටි පිළිගත්තේ හිස්මුදුනිනි. කල් නොයවාම යළිත් ඇමරෝසෝ හා වෙයින්බර්ග්ව හමුවකට කැඳවූ එරිචෙට්ටි ඩොලර් මිලියන හාරසිය තිස්පහක් වටිනා ව්‍යාජ තැන්පතු සහතික මිටියක් පිරිනැමුවේය. එතැනින් නොනැවතුණු හේ තම ගනුදෙනුකරුවන් හා ඉහළ තලවල වැජඹෙන උදව්කාරයන් ගැන පම්පෝරි ගැසීමද අඛණ්ඩව කරගෙන ගියේය. 1979 මාර්තු 15දාද ඇට්ලන්ටා නුවර රිසෝට් කැසිනෝ හෝටලයේ පැවති භෝජන සංග්‍රහයද එරිචෙට්ටි සංවිධානය කර තිබුණේ එවැනි පුරාජේරු වැඩකටය.

ඇට්ලන්ටා නුවරට නිතර නිතර කෙරෙන ගමන් බිමන් සෑහෙන තරම් ඉහළ මට්ටමක තිබුණු කාලයකි ඒ. එරිචෙට්ටිගේ ආරාධනයෙන් භෝජන සංග්‍රහයට එක්ව සිටියේ වෙයින්බර්ග්, ඇමරොසෝ හා බ්‍රේඩිය. (මැකාති විසින් ඒ වන විට බ්‍රේඩිට රියදුරු තනතුරේ සිට අබ්දුල්ගේ උප සභාපති දක්වා උසස්වීමක් ලබාදී තිබිණි) රිසෝට් හෝටලයේ පැවති සංග්‍රහයට එරිචේට්ටිගේ සුවච කීකරු ඥාති පුතුද එක්ව සිටි අතර, ඒ වන විටත් රිසෝට් හෝටලයේ කැසිනෝවට බලපත්‍රය ලැබී තිබුණේ ද නැත. අවන්හලේ කළමනාකරු වූ ජැක් ඩේවිස්ද අහම්බයකින් මෙන් එහි සිටිනු දුටු එරිචෙට්ටි, ඔහුද තම මේසයට කැඳවාගෙන අබ්දුල්ගේ පිරිසට හඳුන්වා දුන්නේය.

“හලෝ ජැක්, මේ ඉන්නේ එමිර් අබ්දුල්ගේ ස්ටාෆ් එකේ ලොකුම අතු. ඔයාට මතක ඇතිනේ මම ඔයාට කලිනුත් කියලා තිබ්බ අර සෞදියේ තෙල් ආකරවලින් භාගයකට වඩා අයිතිය තියෙන අරාබිකාරයා ගැන. මෙයාලත් කැසිනෝ හදන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ. ඒවාට ලයිසන් ඔක්කොම මං ගාණේ කියලා මම දැන් හිටන්ම වචනේ දීලයි තියෙන්නේ. රිසෝට් එකේ ලයිසන් එකත් දැන් අන්තිම හරියේ ප්‍රොසෙස් වෙවී තියෙන්නේ. මම මැක්ඩොනල්ඩ්ටත් මතක් කළා. ලබන මාසේ දිහාට වැඩේ ගොඩ.“

ආගිය විස්තර කතාබහ කිරීමෙන් පසු ජැක් ඩේවිස් පිරිසෙන් සමුගත්තේ එරිචෙට්ටිගේ හැකියාවන් ගැන අතිශයෝක්තියෙන් වර්ණනාවක්ද කරමිනි. ඉන් අනතුරු එරිචෙට්ටි ඔවුන්ට හඳුන්වා දුන්නේ රිසෝට් අවන්හල වෙනුවෙන් නීති කටයුතුවලට මැදිහත්වන නීතිඥ රේ බ්‍රවුන්ය. හේ බ්‍රවුන්ටද බලපත්‍රය සම්බන්ධයෙන් කලින් ජැක් ඩේවිස්ට ලබාදුන් තහවුරු කිරීමම ලබාදුන්නේය. වෙයින්බර්ග් ඇතුළු පිරිසට බ්‍රවුන් ගැන විස්තරයක් කළ එරිචෙට්ටි ඔහු හඳුන්වාදුන්නේ, තමාව මුල්‍ය වංචා චෝදනා ගණනාවකින් ගලවාගත් ගැලවුම්කරුවකු ලෙසනි.

“අද්වකාත් කෙනෙක් නම් රේ බ්‍රවුන් තමයි. මට කැම්ඩන්වලදි ලංසු වංචාවක් ගැන චෝදනා එල්ලවෙච්ච වෙලේ මිනිහා තමයි මං වෙනුවෙන් නඩුවට කතා කළේ. ඒකට කළගුණ සලකන්න මම මිනිහාට රිසෝට් එකේ ජොබ් එක අල්ලලා දුන්නා. දැන් අවුරුද්දකට ඩොලර් දෙලක්ෂ පනස්දාහක් පඩි ගන්නවා. මට සලකන අයට එහෙමයි මමත් සලකන්නේ.“

එම හමුවෙන් වසරකට පසු ඇබ්ස්කැම් අල්ලස් නඩුව විභාගයට ගැනෙද්දී, විත්තියේ එරිචෙට්ටි වෙනුවෙන් පෙනී සිටියේ රේ බ්‍රවුන්මය.

වෙයින්බර්ග්ට එන්න එන්නම වැඩ වැඩිවන්නට විය. ඇට්ලන්ටාවල කැසිනෝ ජාවාරමට අමතරව නිව්යෝක් හා ෆ්ලොරිඩාවල සිදුකෙරෙමින් තිබුණු එවැනිම දෙබිඩි මෙහෙයුම් ගැනත් සොයා බැලීමට ඔහුට සිදුව තිබිණි. ඇට්ලන්ටා මගඩියට පැටලෙන්නට පෙර කරමින් තිබු ගනුදෙනු ගැන ඒවායේ සලකුණු නිතර දුන් ඇමතුම්වලින් වෙයින්බර්ග්ගේ දෙසවන් පිරෙන්නට එතරම් කල් ගියේ නැත.

ඒ මදිවාට බිල් රොසෙන්බර්ග්ද ඔහුට නිතර කරදර කරන්නට පටන්ගෙන තිබුණේ යුක්ති සහගතවය. ඒ වන විට එරිචෙට්ටිගේ ගනුදෙනුවලින් මුළුමනින්ම ඔහු කපාහැර තිබිණි. ඇල්ෆ්‍රඩ් කාර්පෙන්ටියර් තව තවත් දූෂිත දේශපාලනඥයින් ගෙන එන්නට පොරොන්දු දෙද්දී බෙන් කොහෙන් සිය තැන්පතු සහතික වෙනුවෙන් අයවිය යුතු මුදල් ඉල්ලා නිතර දෙවේලේ කළ කන්දොස්කිරියාව ඉවසීමට හැකි වූයේ වෙයින්බර්ග්ටම පමණි. සැබ්ලොස්කි දෙසොහොයුරෝද වෙයින්බර්ග්ව අමතක කළේ නැත. සද්දන්ත ජෝර්ජ් හෙවත් බෝම්බ ජෝර්ජ්ටද වෙයින්බර්ග්ට ඉදිරිපත් කිරීමට සිත්ඇද ගන්නාසුලු ගනුදෙනු රාශියක්ම තිබිණි. ඇබ්ස්කැම් මගඩියේ මුල්ම කාලයේදී එහි දැලට හසුවු පෝල් රොබර්ට්ස් තවමත් වෙයින්බර්ග්ව හැරදා ගොස් තිබුණේ නැත. තවත් අක්වෙරළ බැංකු අලුතින් හඳුන්වාදීමට ඔහු සිටියේ අසාර්ථක උත්සාහයක නියැලෙමිනි.

ඒ අහු අස්සේ නීතිඥ ඇලෙක්සැන්ඩර් ෆෙයින්බර්ග්ට අවශ්‍ය වුණේ සෙනේටර් විලියම්ස් සමඟ හවුලේ හිමිකම් කියන ටයිටේනියම් පතළ ගැන වෙයින්බර්ග් සමඟ කළ සාකච්ඡා තවදුරටත් පුළුල් කිරීමටය. මෙවැනි පරණ ගනුදෙනුවලට අමතරව අබ්දුල් එන්ටර්ප්‍රයිසස් ගැන ආරංචිය කන වැකුණු අලුත් සලකුණුද මිලියන ගණන් වටිනා හොර තැන්පතු සහතික රැගෙන ඇදී ආ නිසා වෙයින්බර්ග්ට වැඩ ගොඩවී තිබිණි.

කරවටක් වැඩවල ගිලී සිටියත්, ෆ්ලොරිඩා බලාගිය ගමනකදී මයාමි එෆ්.බී.අයි. කාර්යාලයට ගොඩවැදී යන්නටත් වෙයින්බර්ග් අමතක කළේ නැත. අලුතින්ම අරඹා තිබු ‘ගෝල්ඩ්කොන්‘ නමැති තවත් දෙබිඩි මෙහෙයුමකට එෆ්.බී.අයි. නිලධාරි බොබ් ෆිට්ස්පැට්‍රික් වෙයින්බර්ග්ගේ උපදෙස් පැතුවිට සිය අනන්‍යතාව කදිමට කියාපාමින් වෙයින්බර්ග් ලබාදුන්නේ දෙපැත්තටම වාසි වන අන්දමේ අපූරු විසඳුමකි.

“අබ්දුල්ගේ පෞද්ගලික ජෙට් එක නිසා අපිට ගොඩක් වැඩ සෙට් වුණා. මේ වගේ වැඩ නැඟලා යන්න නම් ඒ වගේ සුපිරි බඩුවක් දෙකක් තියෙන්න ඕනේ. මම හිතන්නේ ෆ්ලොරිඩාවලට හොඳ නැවක් තිබුණොත් වැඩේ අල්ලලා යයි.“ වෙයින්බර්ග් ඇඟට පතට නොදැනී කියද්දී ෆිට්ස්පැට්‍රික් හිස වැනුවේ එය හොඳ අදහසක් ලෙස පිළිගන්නා බව අඟවමිනි. ෆිට්ස්පැට්‍රික්ට නැවක් ලැබුණොත් එය ඇබ්ස්කැම් සඳහාත් හවුලේ යොදා ගන්නට බැරි මොකද ? ඇරත් ඇබ්ස්කැම් වේවා, ගෝල්ඩ්කොන් වේවා මේ සියල්ල බියුරෝවේ බඩුය. අබ්දුල්ට පෞද්ගලික ගුවන්යානයට අමතරව පෞද්ගලික නැවකුත් තිබේ නම්............. හිත හිතා ඉන්නට දෙයක් නැත.

රොබට් ඩබ්. ග්‍රීන් විසින් රචනා කළ

මෙල්වින් වෙයින්බර්ග්ගේ චරිතාපදානය ‘ස්ටිං මෑන්‘ කෘතියේ පරිවර්තනය

රුක්ලන්ති පෙරේරා
හෙට -‍බෝට්ටු සාදයට කාන්තා ප්‍රශ්නයක්


නව අදහස දක්වන්න