ගිය වසරේ පාඩම්! | දිනමිණ

ගිය වසරේ පාඩම්!

2018 ගෙවී යන්නට තවත් ඇත්තේ හෝරා කිහිපයක් පමණි. එබැවින් එය අතීතයට එකතු කිරීමේ වැරැද්දක් නැත. ඒ අනුව ගෙවී ගිය වසර ලෙස එම වසර හඳුන්වමු. දැන් හොඳ ම අවස්ථාව එළැඹී ඇත්තේ ගිය වසර පිළිබඳ සමාලෝචනයක් කිරීමට ය. එබඳු සමාලෝචනයකින් අනාගතයට වැදගත් පාඩම් උගත හැකි ය. එලෙස ම අපට වැරැදුණු තැන් හඳුනාගත හැකි ය. බුද්ධිමත් සමාජය නිත්‍ය ලෙස ම අතීතය විමසා අනාගතය සකසා ගනී. එය කළ යුතු දෙයකි. සියල්ලන්ගේ ම අපේක්ෂාව සමෘද්ධිමත් හෙට දවසකි. එහෙත් එය ඉබේ පහළවන්නේ නැත. සමෘද්ධිමත් අනාගතයක් ගොඩනැගීම සඳහා වඩාත් සාර්ථක සැලැසුම් තිබිය යුතු ය.

ගිය වසර අභියෝගාත්මක එකක් වූ බව කව්රුත් පිළිගනිති. දේශපාලන අර්බුද, ආර්ථික බිඳවැටීම්, ස්වාභාවික විපත් හා සමාජ කම්පනයට අදාළ තවත් දේවල් පසුගිය කාලය තුළ අඛණ්ඩව සිදුවිය. ඒ අතර කලාතුරෙකින් අත්පත් කරගත ‍හැකි ජයග්‍රහණ ගණනාවක් ද අපට හිමිවිය. සමස්ත ලෝකය බරපතළ ගැටලු ගණනාවකට මුහුණදෙමින් සිටිය දී ශ්‍රී ලංකාව යම් සහනශීලී තත්ත්වයක පසුවුණු බවක් ද දැකගන්නට ලැබිණි. මේ සියල්ල දෙස ආපසු හැරී බලනවිට පෙනී යන්නේ; රටක් ලෙස ද ජාතියක් ලෙස ද බුද්ධිමත් ලෙස සංවිධානගත වන්නේ නම්; මීට වඩා යහපත් ප්‍රතිඵල ලබාගත හැකි ශක්‍යතා අප වටා ඇති බව ය.

පළමුව අප ලැබූ ජයග්‍රහණ කිහිපයක් පිළිබඳ යළි සිහිපත් කිරීම ඉතා වැදගත් ය. අනාගත සංවර්ධනය හා සමෘද්ධිය අතින් ගතහොත් ඊට අදාළ දැවැන්ත ව්‍යාපෘති දෙකක් ඉදිකරන්නට ශ්‍රී ලංකාව සමත් විය. එක; ව්‍යාපෘතිය මොරගහකන්ද බහුකාර්ය සංවර්ධන වැඩසටහන ය. දෙක; ව්‍යාපෘතිය කළුගඟ සංවර්ධන වැඩසටහන ය. කෘෂිකර්මය හා ජලවිදුලිය අපේ ආර්ථිකයේ තීරණාත්මක සාධක දෙකකි. එම සාධක දෙක අමතක කොට ආර්ථික වශයෙන් ඉදිරියට යෑම දුෂ්කර ය. මේ ව්‍යාපෘති දෙක නිසා නව නගර, වෙළෙඳ සංකීර්ණ හා අලුත් ජනාවාස ඉදිවෙයි. ඒ අතින් බලනවිට සංස්කෘතික ප්‍රබෝධනයකට ද ඉහත ව්‍යාපෘති දායක වෙයි.

පසුගිය කාලය පුරාවට සාකච්ඡා වූ ප්‍රධාන මාතෘකා කිහිපයක් තිබිණි. ඒ ගැන සටහනක් තැබීම ද වැදගත් ය. නීතියේ ආධිපත්‍යය, ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම, මානුෂීය නිදහස තහවුරු කිරීම ඒ අතර ප්‍රධාන විය. මේ සෑම අංශයකින් ම සැලකිය යුතු ජයග්‍රහණ සටහන් කිරීමට ශ්‍රී ලංකාව සමත් විය. අන්තර්ජාතික වශයෙන් ඉහත කී ජයග්‍රහණ පැසසුමට ලක් වූ බව ද සටහන් කළ යුතු ය. අධිකරණයේ ස්වාධීනත්වය තහවුරු කිරීම පසුගිය වසරේ අප ලැබූ සුවිශේෂ ජයග්‍රහණයක් සේ සැලැකීම වඩා නිවැරැදි ය. නීතිය දේශපාලන බලයට හෝ දේශපාලන බලපෑම්වලට හෝ යටත් නොවන බව දැන් තහවුරු වී ඇත. ඒ පමණක් නො ව; නඩු විභාගවල ප්‍රමාදයන් අවම වී අධිකරණය කාර්යක්ෂම කිරීමට ද පියවර ගෙන ඇත. රටක් ශීලාචාර වන්නේ නීතිය නිසි ලෙස ක්‍රියාත්මක වන්නේ නම් පමණී.

රටට කඩා වැදුණු ස්වාභාවික විපත් ගණනාවක් නිසා වරින් වර ජන ජීවිතය අවුල් විය. ගංවතුර, අධික වර්ෂාපතනය, සැඩසුළං හා නායයෑම් මේ විපත් අතර තිබිණි. ඇතැම් ප්‍රදේශ කිහිපවරක් ම ගංවතුරට ගොදුරු විය. ආසන්න ස්වාභාවික විපත වාර්තා වූයේ උතුරෙන් ය. උතුරේ දිස්ත්‍රික්ක කිහිපයක් විපතට ගොදුරු විය. ලක්ෂයක පමණ ජනතාවක් එයින් අවතැන් වූහ. එහෙත් මේ උවදුරට මුහුණ දුන් ආකාරය සේම සහන වැඩසටහන් ක්‍රියාත්මක වන ආකාරය ද විමසන විට පෙනී යන්නේ ඒවාට සසල නොවී මුහුණදීමේ ශක්තිය අපට ඇති බව ය. උතුරේ විපතත් සමඟ සංහිඳියාව පිළිබඳ පාඩම යළිත් කරළියට පැමිණ තිබේ. මේ විපතේ දී උතුරේ ජනතාවගේ නිත්‍ය මිතුරා බවට පත්වූයේ හමුදාව ය.

රටේ ආරක්ෂක අංශ වඩාත් කාර්යක්ෂම වී පුළුල් ජාතික මෙහෙවරක යෙදෙයි. මෙය බො‍හෝ කාලයකට පසු දැකගන්නට ලැබුණු සාධනීය ලක්ෂණයකි. පාතාලය මර්දනයට මෙන් මත්ද්‍රව්‍ය ජාවාරම වැළැක්වීමට ද මෙතෙක් ගෙන ඇති පියවර බොහෝ දෙනාගේ පැසසුමට ලක් වී ඇත. අපරාධ වර්ධනය වී ඇති බවට ද, කුඩු ජාවාරම ශක්තිමත් වී ඇති බවට ද දේශපාලන විවේචන එල්ලවන්නේ වුව ඒවා හුදු දේශපාලන විවේචන ලෙස ම පවතී. සත්‍ය සංඛ්‍යා ලේඛන නිරීක්ෂණය කරනවිට අපරාධවල අඩුවීමක් දකින්නට ලැබේ. දිනපතාම පාහේ මත්ද්‍රව්‍ය වැටලීම් සිදුවන බැවින් කුඩු ජාවාරම ශක්තිමත් යැයි කෙනකු වරදවා වටහාගන්නට පුළුවන. කුඩුවලට එරෙහි වැඩසටහන් මේ අයුරින් අඛණ්ඩව පැවතුණහොත් ශ්‍රී ලංකාවෙන් කුඩු වසංගතය තුරන් කළ හැකි ය.

අපේ ජනතාවගේ අවධානයට ලක්විය යුතු විශේෂ සිද්ධියක් වන්නේ රටේ රිය අනතුරු ප්‍රමාණය ඉහළ යෑම ය. අලුත් නීති පනවා ඇති නමුදු අනතුරු ප්‍රමාණය පහළට ගොස් නැත. ලෝකයේ රිය අනතුරු අධික රටක් ලෙස ද ශ්‍රී ලංකාව ප්‍රසිද්ධියට පත්වී ඇත. නොසැලකිල්ල මීට ප්‍රධාන හේතුවක් බව විශේෂඥයන් පෙන්වා දී ඇත. රටට ඔරොත්තු නොදෙන තරම් වාහන සංඛ්‍යාවක් මාර්ගවල ධාවනය වීම ද අනතුරුවලට තවත් හේතුවකි. කුමක් වුව දිනකට සිදුවන මාරාන්තික රිය අනතුරුවලින් පෙනී යන්නේ මෙය ප්‍රමුඛ ජාතික ගැටලුවක් බවට පත්වී ඇති බව ය. දිවි නසාගැනීම හා පවුල් ආරවුල් ද මේ අයුරින් සමාජය පෙළන ප්‍රධාන සාධක බවට පත් වී ඇත. මේවා පිළිබඳ ප්‍රබල සමාජ කතිකාවක් අවශ්‍ය බව පෙනී යයි.

ආර්ථිකයේ ප්‍රධාන ගැටලු දෙකක් වන අපනයනය දුර්වලවීම හා රුපියල කඩාවැටීම එක අතෙකින් පවතින අතර ආසියාවේ හොඳ ම සංචාරක ස්ථානය ශ්‍රී ලංකාව බවට පත්වී ඇත. එක අතෙකින් පසුබෑම් සිදුවන අතර තව අතෙකින් ලෝකයේ කැපී පෙනෙන ජයග්‍රහණ අපට ලැබී ඇත. පසුගිය දේශපාලන අර්බුද සමයේ වුව ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය හොඳින් පැවැතිණි. සංචාරක කර්මාන්තය අපේ ආර්ථිකයේ ප්‍රධාන ඉපැයුම් මාර්ගය බවට වුව පත්කරගත හැකි ය. මාලදිවයිනේ ප්‍රධාන ඉපැයුම් මාර්ග දෙක වන්නේ ධීවර කර්මාන්තය හා සංචාරක කර්මාන්තයය. තායිලන්තයේ ප්‍රධාන ඉපැයුම් මාර්ගයක් වන්නේ ද සංචාරක කර්මාන්තය යි. සංචාරක කර්මාන්තය වැඩි දියුණු කළ හැකි ඕනෑතරම් ශක්‍යතා අප සතු ය.

2018 වසර දෙස ආපසු හැරී බලනවිට වැදගත් දෙයක් සිහිපත් කළ යුතු ය. එනම්; අර්බුද විසඳාගෙන ඉදිරියට යා හැකි ශක්තියක් අපට ඇති බව ය. දේශපාලන අර්බුද ආර්ථික අර්බුද හමුවේ රට ප්‍රපාතයට ගියේ නැත. සුළු පසුබෑම් දක්නට ලැබුණ ද අපේ ආර්ථිකය මෙන් ම රාජ්‍ය යාන්ත්‍රණය ද බරපතළ චලනවලට හසුවන්නේ නැත. එය සාධනීය ලක්ෂණයකි. දේශපාලනයේ දී විවිධ පිල් නි‍යෝජනය කරමින් ආරවුල් ඇති කරගත්ත ද නායකයන් පොදු අර්බුදවල දී රට හා ජාතිය ගැන ගැඹුරින් කල්පනා කරන බවක් පෙනෙන්නට තිබේ. වෙනත් රටවල මෙබඳු තත්ත්වයක් දැකගන්නට නැත. අපේ දේශපාලකයන් නරක නැති බව එයින් පැහැදිලි වෙයි.

දැන් අප කල්පනා කළ යුත්තේ ඉදිරි වසර ගැන ය. ඉදිරි වසරේ ආර්ථික සංවර්ධනය ගැන ය. සංවර්ධනය සඳහා සාර්ථක සැලැසුම් තිබිය යුතු ය. ඒවා නිවැරැදි ලෙස සකස් කර ගන්නට රාජ්‍ය යාන්ත්‍රණයට හැකියාව ලැබේවා යන්න අපගේ ප්‍රාර්ථනය වෙයි.

 


නව අදහස දක්වන්න