ඌරාට අයි­ති­වන චීන නව වසර | දිනමිණ

ඌරාට අයි­ති­වන චීන නව වසර

කවිඳු වීරරත්න

2019 නව වර්ෂය උදා වීමට තිබෙන්නේ තව එක් දිනයක් පමණයි. ශ්‍රී ලාංකිකයන් ලෙස සිංහල හා හින්දු අපි නව වසර උදාව අප්‍රේල් මාසයේදී සැමරුවත් බටහිර රටවල් ඇතුළු ලෝකයේ විශාල රටවල් ප්‍රමාණයක් නව වසර උදාව සමරන්නේ දෙසැම්බර් මස 31 වැනි දින මධ්‍යම රාත්‍රියේදියි.

චන්ද්‍ර කැලැන්ඩරයට අනුව සාමාන්‍යයෙන් නව වසර උදාවෙන්නේ ජනවාරි 21 හා පෙබරවාරි 20 අතර කාලයේදීයි. අද රසඳුන අතැඹුලෙන් කතා කරන්නේ චීන නව වසර පිළිබඳවයි. උදාවන 2019 වසරේ චීන නව වසර ආරම්භ වන්නේ පෙබරවාරි මස 16 වැනි දිනයි.

ජනවාරි මස 28න් ආරම්භ වන නව වසර සඳහා සූදානම් වීමට පවත්වන උත්සව නිම වන්නේ නව වසර උදාවීමත් සමඟයි.

වර්තමානය වන විට චීනයේ පමණක් නොව බටහිර රටවල පවා අවධානය චීන නව අවුරුදු උදාව වෙත යොමුවෙමින් පවතියි. ඒ එය අලංකාර උත්සවයක් නිසාත් ජ්‍යොතිෂය හා එය බැඳී තිබීමත් නිසයි.

චීන රාශි චක්‍රයට සතුන් 12 දෙනකු ඇතුළත් වන අතර එක් වසරකට එක් සතකු බැගින් පිළි‍ෙවළින් වෙන් කර තිබෙනවා. එම සතුන් වන්නේ මීයා, ගවයා, හාවා, මකරා, සර්පයා, අශ්වයා, බැටළුවා, වඳුරා, කුකුළා, බල්ලා හා ඌරා යි. මේ අතරින් උදාවන 2019 වර්ෂය අයත් වන්නේ ඌරාටයි. ඌරාට අයත් වර්ෂ වල ඉපදෙන පුද්ගලයින් විනෝදයෙන් ජීවිතය ගත කරන අතර උනන්දුවෙන් හා ශක්තියෙන් වැඩි පුද්ගලයන් ලෙසින් හඳුන්වයි.

චීන නව අවුරුදු උදාව සැමරීම සඳහා පවත්වන උත්සව අතුරින් ‘පහන් කූඩු උත්සවය’ ප්‍රමුඛත්වයක් ගනු ලබනවා. 2019 වසරේ පෙබරවාරි මස 19වන දින ආරම්භ වන මෙම උත්සවය දින 15ක් පුරා පැවැත්වෙන අලුත් අවුරුදු සැමරීම් අතරට එක් වෙනවා.

මෙම පහන් කූඩු උත්සවය අපේ රටේ වෙසක් උත්සවයට තරමක් සමානකමක් දක්වන්නේ කඩදාසි පහන් කූඩු නිර්මාණයකිරීම, පන්සල් වල පහන් කූඩු තරග පැවැත්වීම හා ටාඕ දහමේ හා බුදු දහමේ තිබෙන සංඛේත හා චරිත ඇසුරින් පහන් කූඩු සෑදීමද සිදු කරන නිසයි. මීට අමතරව පහන් කූඩු ගුවනේ පා කිරීමද සිදු කරනවා.

අවුරුදු උදාවේ 15වැනි දිනය වන විට සෑම ස්ථානයකම පහන් කූඩු දකින්නට ලැබෙන අතර, රතිඤ්ඤා හා අනෙකුත් ගිනිකෙළි වලින් ආලෝකවත් වී තිබෙන පරිසරයම ගිනිගෙන තිබෙන අයුරින් දිස් වෙනවා. චීනය, තායිවානය, හොංකොං, මලයාසියාව හා සිංගප්පූරුව වැනි රටවල් ඉතාමත් ඉහළින් චීන නව අවුරුදු උදාව සමරන අතර අනෙකුත් රටවලද සුළු වශයෙන් චීන අවුරුදු උදාව සමරන උත්සව දකින්නට ලැබෙනවා.

නව අදහස දක්වන්න