ආගම්වාදයට නැවතීමක්...! | දිනමිණ

ආගම්වාදයට නැවතීමක්...!

ජාතිවාදයෙන් ද, ආගම්වාදයෙන් ද ‍ඕනෑවටත් වඩා බැටකා ඇති රටක් ලෙස ශ්‍රී ලංකාව හැඳින්විය හැකි ය. එහි අර්ථය වන්නේ ජාතිවාදයේ හා ආගම්වාදයේ වේදනාව අපේ පොදු ජනයා හොඳින් හඳුනන බව ය. මේ අනුව බලනවිට ජාතිවාදය හෝ ආගම්වාදය හෝ අවුළුවන ඕනෑම සිද්ධියක් හෙළා දකින තැනක ද, ප්‍රතික්ෂේප කරන තැනක ද අප සිටිය යුතුය. ජාතිවාදයෙන් අපට ඉතිරිවී ඇත්තේ පසුබෑම හා ආර්ථික පරාජයන් පමණි. ආගම්වාදයෙන් අපට ලැබී ඇත්තේ ද ඊට සමාන දේ ය. කිසිදු ආගමික නායකයකු සෙසු ආගම්වලට ගරහන්නේ නැත. ආගම් - දර්ශන හා දෘෂ්ටි ගැරහීමට ලක් කරන‍්නෝ අන්තවාදියෝ ය.

මාවනැල්ලේ සිද්ධිය මේ වනවිට සමාජ - සංවාදයට ලක්වී ඇත. සංවිධානාත්මක කල්ලියක් බුදු පිළිම විනාශ කරන බව එම සිද්ධියෙන් කියැවෙයි. එහෙත් එය රට පුරා ව්‍යාප්ත වූ බලගතු සංවිධානයක් නොවේ. කල්ලියක් යැයි කියුව ද එහි බොහෝ පිරිසක් ඇති බවට සාක්ෂි ද නැත. මොළය විකෘති කරගත් කිහිපදෙනකු මිථ්‍යා සංකල්පයක එල්ලී, බුදු පිළිමවලට හානි කරන බව පෙනෙයි. කල්ලියේ නායකයා අන්තවාදී අදහස් දරන්නකු බව පැහැදිලිය. ඔහු කෙබඳු ඉලක්කයක් සපුරා ගැනීම සඳහා බුදු පිළිම විනාශ කරන්නේ ද යන්න පැහැදිලි නැත. පොලිසිය සිදු කරන පරීක්ෂණවලින් පසුව මෙහි සැබෑ තත්ත්වය නිරීක්ෂණය කළ හැකි වනු ඇත.

මේ සිද්ධියේ යථා තත්ත්වය හෙළිදරව් නොවූයේ නම්; ගැටුම් ගණනාවක් ඇති වීමට ඉඩ තිබිණි. බහු ආගමික හා බහු සාංස්කෘතික සමාජයක ජන කොට්ඨාස අතර බිය හා සැකය ඉතා වේගයෙන් පැතිර යයි. ඒ අනුව ඕනෑම මොහොතක ගැටුමක් ඇති විය හැකි ය. බුදු පිළිම කඩා දැමීම වැනි සිද්ධියක දී බෞද්ධ සමාජය වහා ම නැඟී සිටිති. සමාජ මාධ්‍ය මෙබඳු සිදුවීම් ගිනි ඇවිලවීම සඳහා යොදාගන්නා බැවින්, තත්ත්වය තවත් නරක අතට හැරෙනු ඇත. එහෙත් සැකකාරයන් අතේමාට්ටු වී ඇති බැවින්, සත්‍යය හෙළිදරව් වී ඇත. එයින් ආගමික ආරවුලක් විසැඳී ඇතැ’යි සතුටු විය හැකි ය. දැන් මේ සිද්ධිය නීතියට අනුව විසඳාගත යුතු ය.

අන්තවාදී අදහස් දරන පිරිස් කොයි සමාජයේත් සිටිති. ඔවුන් සැලැකිය හැක්කේ මානසික රෝගීන් හැටියට ය. එක අතෙකින් මානසික රෝගීන්ට අනුකම්පා කළ යුතු ය. තව අතෙකින් ඔවුන් යථා තත්ත්වයට පත් කිරීම සඳහා මානසික ප්‍රතිකාර ලබාදිය යුතු ය. වැදගත් ම කාරණය වන්නේ මේ සිද්ධිය ආගමික ආරවුලක් දෙසට ගමන් කරන්නේ නම්; එය වළක්වා ගැනීම ය. කුමන ආගමකට අයත් සංකේතයක් විනාශ කළ ද, එය වැරැද්දකි. නීතියෙන් ඊට ඉඩක් නැත. නීතියෙන් පමණක් නොව; සදාචාරයෙන් ද ඊට ඉඩක් නැත. එහෙත් මානසික රෝගියකු නීතිය සැලකිල්ලට ගන්නේ නැත. සදාචාරය සැලැකිල්ලට ගන්නේ ද නැත. මේ පසුබිම ද අප වටහාගත යුතු ය.

මාවනැල්ල, බේරුවල, අලුත්ගම, මහනුවර හා තවත් ප්‍රදේශ ගණනාවක වරින්-වර ආගමික ගැටුම් සිදුවී ඇත. ඒවා ඉතිහාසය තුළ සටහන්වී ඇත්තේ අඳුරු සිදුවීම් හැටියට ය. මේවා හොඳින් නිරීක්ෂණය කරනවිට පෙනීයන්නේ, ඉතා සුළු සිද්ධියක් මූලිකකොට ගැටුම් වර්ධනය වී ඇති බව ය. අනව‍බෝධය හා සැකය ගැටුම් ඇති වීමට බලපාන හේතුසාධක ලෙස පවතී. තව පිරිසක් මේවා වැඩිදියුණුකොට ගැටුම් ඇති කරති. ඇවිලෙන ගින්නට පිදුරු දමන අය ද සමාජය තුළ සිටිති. ප්‍රථමයෙන් ම අපේ සමාජය අන්තවාදී අදහස්වලින් මුදාගත යුතු ය. අන්තවාදය මානසික ව්‍යාධියක් බව සමාජයට වටහා දිය යුතුය. එය කළ හැකි ස්ථාන දෙකක් පවතී. එක; පාසල ය. දෙක ආගමික සිද්ධස්ථාන ය.

ආගමික සහජීවනය ගොඩනැගීම සඳහා ශක්තිමත් ව්‍යාපාරයක් ද අපට තිබිය යුතු ය. දැනට එබඳු සංවිධාන කිහිපයක් ඇතත්; ඒවා කෙරෙහි ඇති මහජන අව‍ධානය අඩු ය. ගියවර ආගමික ගැටුම් ඇතිවීමෙන් පසු ද එබඳු උත්සාහ කිහිපයක් ක්‍රියාත්මක විය. එහෙත් අද ඒවා දකින්නට නැත. අපේ සමාජය තුළ ආගමික සහජීවනය ඇති කිරී‍ෙම් ශක්‍යතා ගණනාවක් ද තිබේ. නිදසුනක් ගතහොත්, ආගමික උත්සව පෙන්වා දිය හැකි ය. පොදුවේ ගත් කළ මේ උත්සව සඳහා සියලු ආගමිකයෝ සහභාගී වෙති. එය යහපත් ගතිකයකි. සමාජ නායකයන් ඒවායින් ප්‍රයෝජන ගත යුතු ය.

මාවනැල්ල සිද්ධිය තුළ ‍කැපී පෙනෙන ලක්ෂණ දෙකක් තිබේ. පළමුවන්න සමාජය අවදියෙන් සිටීම ය. සමාජයේ යම් කොටසක් හෝ සිදුවන දේ පිළිබඳ නිරීක්ෂණයක යෙදිය යුතු ය. දෙවන්න පොලිසිය මේ පිළිබඳ පුළුල් පරීක්ෂණයක් පැවැත්වීම ය. සැකකරුවන් අත්අඩංගුවට ගැනීමෙන් පමණක් නොනැවතී, රහස් පොලිසිය ඔස්සේ තවත් පරීක්ෂණ සිදු කිරීමට ද පියවර ගෙන තිබේ. එය වැදගත් ය. මෙබඳු කඩාකප්පල්කාරී දේ පිටුපස සිටින පුද්ගලයන් හා ඔවුන්ගේ ඉලක්ක ඉහත පරීක්ෂණවලින් සොයා ගත හැකි ය. සැකය සුදුසු දෙයක් නොවුව ද, පුළුල් පරීක්ෂණ පැවැත්වීම සිදුවිය යුතු ය.

මෑත කාලය තුළ ජාතිය හා ආගම මූලික කොට මතුවන ගැටුම් උත්සන්න වී ඇත්තේ දේශපාලනය ද ඒ සමඟ ගැටගැසී ඇති නිසා ය. ඇතැම් දේශපාලන ව්‍යාපාර ජනතාව ඒකරාශී කිරීමේ පදනම ලෙස තෝරාගෙන ඇත්තේ ජාතිය හා ආගම යන සාධක දෙක ය. ශ්‍රී ලංකාව තුළ ද එබඳු ව්‍යාපාර පවතී. ජාතිවාදය මෙන් ම ආගම්වාදය ද ඉතා ඉක්මනින් අවුළුවා, බරපතළ විනාශයක් ඇති කළ හැකි ය. එහෙත් ජාතිවාදයෙන් හා ආගම්වාදයෙන් අන්තයට ගිය විට එම විනාශය පෙනෙන්නේ නැත. බරපතළ ඛේදවාචකය එයයි. සමාජයේ ප්‍රභූ කණ්ඩායම් පවා ජාතිවාදයේ හා ආගම්වාදයේ ගිලී සිටිති. තත්ත්වයේ බරපතළ බව ඉන් වටහාගත යුතු ය.

මාවනැල්ලේ සිද්ධිය පාඩමකට ගැනීම ඉතා වැදගත් ය. මේ සිද්ධියෙන් කියැවෙන්නේ සිදුවීමක් විශ්ලේෂණය නොකොට තීන්දු-තීරණ ගැනීම වැරැදි බව ය. මාවනැල්ල සිද්ධියේ ඇත්ත සොයා ගැනීම නිසා ගැටුමක් වැළකී ඇති බව නැවතත් කිව යුතු ය. දැන් සිදුවිය යුත්තේ නීතියට අනුව වැරැදිකරුවන්ට දඬුවම් ලබාදීම ය. එලෙස දඬුවම් ලබාදීමේ දී කිසිවකු කලබල විය යුතු නැත. නීතිය සියල්ලට ඉහළින් පවත්නා බැවින් එය සියලු දෙනාට ම පිළිගත හැකි ය. සියලු ආගම්වලට සේ ම සියලු ජාතීන්ට ද ගරු කරන සමාජයක් බිහි කිරීම අපේ වගකීම විය යුතු ය. ඒ සඳහා අපේ නායකයන් ද යම් කැපවීමක් කළ යුතු ය.

නව අදහස දක්වන්න