උතුරට - වන්දි ! | දිනමිණ

උතුරට - වන්දි !

උතුර යථා තත්ත්වයට පත්වෙමින් තිබෙන අතර වන්දි ගෙවීම් ද ආරම්භ වී ඇත. මෙවර විපත්තිදායක අවස්ථාවේ දකින්නට ලැබුණු විශේෂ ලක්ෂණයක් වන්නේ සහන වැඩසටහන් වහාම ක්‍රියාත්මක වීම ය. ඒ හැරෙන්නට මුළු රටේම අවධානය උතුරට යොමුවීමත් වැදගත් ය. රාජ්‍ය අංශය පමණක් නොව; පෞද්ගලික අංශය ද සහන වැඩසටහන් ක්‍රියාත්මක කරයි. අමාත්‍යවරුන් ගණනාවක් උතුරේ නිරීක්ෂණ චාරිකාවල යෙදුණු අතර අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද උතුරේ නිරීක්ෂණ චාරිකාවක යෙදීමට නියමිත ය. ආපදාවට ලක්වූ ජනතාව වෙත හැම පැත්තෙන්ම සහන සැලසෙන බවක් දකින්නට ලැබේ. එය යහපත් ප්‍රවණතාවකි.

මෙබඳු ආපදාවකට මුහුණදීමේ දී මතුවන ප්‍රධාන දුෂ්කරතාව වන්නේ ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම ය. ඒ සඳහා මුල සිට ක්‍රියාත්මක විය යුතු අතර සියලු පාර්ශ්වයන්හි සහයෝගය ද අවශ්‍ය වෙයි. දැනට වාර්තා වී ඇති අන්දමට නිවාස එක්දහස් ගණනකට හානි සිදු වී ඇත. ඇතැම් නිවාස මුළුමනින් ම විනාශ වී ඇති බව ද, තවත් නිවාස අර්ධ වශයෙන් විනාශ වී ඇති බව ද වාර්තා වී ඇත. කෙසේ වුව නැවත පදිංචිවීමට පෙර සියලු නිවාස පරීක්ෂාවකට ලක්කළ යුතුව තිබේ. තාවකාලික කඳවුරු තිස් ගණනක් පැවැති අතර දැන් එය විසිපහ දක්වා අඩුවී ඇත. තවත් දින කිහිපයක දී ගංවතුර මුළුමනින් ම බැසයනු ඇතැ’යි ද විශ්වාස කළ හැකි ය.

ආපදා තත්ත්වය පවුල් විසිඅටදහසකට පමණ බලපා ඇති බව කියති. පුද්ගලයන් වශයෙන් ගතහොත් හැත්තෑපන් දහසකට අධික පිරිසක් පිඩාවට ලක්වී සිටිති. දැන් සිදුවිය යුත්තේ මේ සියලු දෙනාගේම ජීවිත යථා තත්ත්වයට පත් කිරීම ය. කෙනකුගේ ස්වයං රැකියාව අහිමි වී ඇත. තව කෙනකුගේ ව්‍යාපාරය විනාශ වී ඇත. තවත් කෙනකුගේ වගාවට හානි සිදු වී ඇත. උතුරේ කුඹුරු අක්කර අටදහසක් පමණ විනාශ වී ඇති බව දැනට ගණන් බලා තිබේ. වව්නියාව දිස්ත්‍රික්කය වී අස්වැන්න වැඩියෙන් ම නෙළාගනු ලබන ප්‍රදේශයකි. කුඹුරු අක්කර අටදහසකින් ලැබෙන අස්වැන්න සුළුපටු නැත. මේ සියල්ලට වන්දි ලබාදිය යුතුව ති‍ෙබ්.

විනාශ වූ කුඹුරු අක්කරයකට රුපියල් හතළිස් දහස බැගින් වන්දි ගෙවීමට රජය තීන්දු කර ඇත. ඒ වෙනත් දේපොළ හානිවලට ලබාදෙන වන්දි මුදල්වලට අමතරව ය. උතුර ගොවි කලාපයක් වන අතර වැඩිදෙනකුගේ ප්‍රධාන ජීවනෝපාය වන්නේ ද ගොවිතැන ය. ගොවි බිම්වලට හානිවීම නිසා ඇතැම් පවුල් ආර්ථික වශයෙන් මුළුමනින්ම බිඳවැටී ඇත. මේ අය ඊළඟ වගාවට සූදානම් විය යුතු අතර පවුලේ ආර්ථිකය ද පවත්වා‍ගත යුතු ය. නිවාස හානි සිදුවූ පවුල්වලට පළමුව මූලික ගෙවීමක් සිදු කෙරේ. පසුව නිවසේ තක්සේරු වටිනාකමට අනුව වන්දි ගෙවීම් සිදු කිරීමට නියමිත ය. යහපාලනය බිහිවීමෙන් පසු ස්ථාපනය කළ නව රක්ෂණ ක්‍රමය වන්දි ගෙවීම සඳහා උපයෝගී කරගනු ලබන බව ප්‍රකාශ වී ඇත.

අගමැතිවරයා අද සිදු කරනු ලබන නිරීක්ෂණ චාරිකාව මෙහි ලා ගත හැකි වැදගත්ම සිද්ධියක් ලෙස සටහන් කළ හැකි ය. දකුණේ දේශපාලකයන් උතුරට යන්නේ ඉතා ම කලාතුරෙකින් ය. විශේෂයෙන් රටේ නායකයන් උතුරට යන්නේ නැති තරම් ය. ගියත් සාමාන්‍ය ජනතාව හමුවන්නේ නැත. මේ සම්බන්ධයෙන් විවේචන ද පවතී. උතුරට කුඩම්මාගේ සැලකිලි ලැබෙන බව වැඩි දෙනකුගේ විශ්වාසය වෙයි. දේශපාලකයන්ගේ අවධානය යොමු නොවන පළාත්වල සංවර්ධනය පවතින්නේ ද ඉබිගමනේ ය. මේ ආපදාවෙන් පසු ඒ සියල්ල වෙනස් විය හැකි ය. රටේ නායකයන් උතුරට ගොස් නිරීක්ෂණ චාරිකාවල යෙදෙනවිට රාජ්‍ය-ආයතන කාර්යක්ෂම ලෙස වැඩ කරන්නට පටන්ගනු ඇත.

අගමැතිවරයා සිය නිරීක්ෂණ චාරිකාව ආරම්භ කරන්නට පෙර; උතුරේ ආපදා තත්ත්වය පිළිබඳ පරිපූර්ණ වාර්තාවක් ආපදා කළමනාකරණ අමාත්‍යාංශය වෙතින් ලබාගෙන තිබේ. ඒ අනුව වික්‍රමසිංහ මහතා උතුරට යන්නේ පවතින තත්ත්වය පිළිබඳ හොඳ වැටහීමකින් යුතුව ය. මේ වැටහීම තීන්දු ගැනීම පහසු කරයි. ජනතාවගේ අදහස් ද දැනගැනීමෙන් පසු නිවැරැදිම තීරණය ගතහැකි වනු ඇත. උතුරේ සාමාන්‍ය ජනතාවට රටේ අගමැතිවරයා සමඟ සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලැබීම ද වැදගත් සංසිද්ධියක් ලෙස සටහන් කර තැබිය හැකි ය.

හානි පූරණය කරන ක්‍රියාවලිය දෙස බලනවිට පෙනී ගොස් ඇති විශේෂ කාරණයක් වන්නේ උතුරේ මාර්ග පද්ධතියට ගංවතුරෙන් බරපතළ විනාශයක් සිදුවී ඇති බවය. ගංවතුර බැස ගිය ද ඇතැම් පළාත්වල වාහන ධාවනයක් සිදු කළ නොහැකි බව වාර්තා වී ඇත. හේතුව පාලම්, බෝක්කු ආදිය මුළුමනින් ම පාහේ විනාශ වී තිබීම ය. දැනට උතුරු පළාතේ ප්‍රවාහන කටයුතු බෝට්ටු මගින් සිදු වෙයි. මේ තත්ත්වයට අනුව පෙනීයන්නේ මාර්ග සංවර්ධනය සඳහා සැලකිය යුතු අවධානයක් යොමුකළ යුතු බව ය. මාර්ග පද්ධතිය යථා තත්ත්වයට පත් නොකොට කළ හැකි වෙනත් සංවර්ධනයක් ද නැත. පාරක් නැති ගමකට දේශපාලකයන් යන්නේ නැත. නිලධාරීන් යන්නේ ද නැත.

උතුරේ ස්වාභාවික විපත හා ඊට මුහුණදීම යන සිදුවීම් මාලාවේ දී අපේ දේශපාලනය ද, රාජ්‍ය පාලනය ද, පෞද්ගලික අංශයේ මැදිහත්වීම ද සාධනීය ලෙස වෙනස් වී ඇති බව පෙනෙයි. ජනාධිපතිවරයා මෙන්ම අගමැතිවරයා ද ජනතාවගේ පැත්තේ සිට සහන ක්‍රියාවලිය මෙහෙයැවන බවත්, ඊට අවශ්‍ය උපදෙස් ලබාදෙන බවත් දකින්නට ලැබේ. මේ නායකත්වය නිසා සමස්ත ක්‍රියාවලිය ම සක්‍රීය වී ඇත. උතුරේ ආරක්ෂක අංශ උක්ත විපතේ දී බරපතළ සේවාවක් ඉටුකරන බව ද සඳහන් කළ යුතුය. හමුදාව නොවන්නට විශාල ජීවිත හානියක් ද සිදුවන්නට ඉඩ තිබිණි. ගංවතුර හා දැඩි සුළං තත්ත්වය යටතේ ජීවිත හානි දෙකක් සිදුවී ඇත. අවතැන් වූ පිරිස් වහාම ආරක්ෂිත ස්ථානවලට රැගෙන යෑම නිසා ජීවිත හානිය අවම වී ඇත.

තාක්ෂණය කෙතරම් දියුණු වුව ඒවා මගින් ස්වාභාවික විපත් වළක්වා ගත හැකි නොවේ. ධනවත් - දුප්පත් භේදයකින් තොරව රටවල් ඒවාට මුහුණ දෙති. වඩාත් වැදගත් වන්නේ කඩාවදින ආපදාවන් කළමනාකරණය කරගන්නා ආකාරයයි. 2004 සුනාමිය රටට කඩා වදිනවිට; ආපදාවකට මුහුණ දිය හැකි විධිමත් ක්‍රමවේදයක් අපට තිබුණේ නැත. එහෙත් අද වනවිට ආපදාවකට මුහුණදීමේ ක්‍රමවේදය පමණක් නොව; ඊට අදාළ වන්දි පවා කඩිනමින් ලබාදීමේ හැකියාවක් අපට තිබේ. ඒ ගැන සතුටු විය හැකි ය. උතුරට කඩා වැදුණු විපතද සැපතක් ‍බවට පරිවර්තනය කරගැනීමට අප උත්සුක ‍විය යුතු ය.


නව අදහස දක්වන්න