වැදගත් නත්තල් පණිවුඩයක් | දිනමිණ

වැදගත් නත්තල් පණිවුඩයක්

පයාගල ශාන්ත ජෝසප් දේවස්ථානයෙන් පසුගිය 24 වනදා එනම් නත්තල් දිනට පෙරදා රාත්‍රියේ අතිශය වැදගත් පණිවුඩයක් නිකුත් වී තිබේ. එය වනාහී රටටත් අපේ මහත් දරු පරම්පරාවටත් මවුපියන්ටත් සියලු ආගමිකයනටත් අතිශයින් වැදගත් මෙන්ම කාලීන පණිවුඩයක් බව විශේෂයෙන් සඳහන් කර තැබීම වැදගත්ය.

ඉහත පණිවුඩයේ පණිවුඩකාරයාණෝ අන් කිසිවකු නොව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමාණෝය. කවදත් රටට වැදගත් කියමන් පවසන එතුමාණෝ දෙසැම්බර් 24 දා රාත්‍රියේ පයාගල ශාන්ත ජෝසප් දේවස්ථානයේ පැවැති ප්‍රධාන නත්තල් දේවමෙහෙයේදී පවසා සිටියේ, දරුවන්ට ආදරය නැතිනම් අජීවී දේට ආදරය කර පලක් නැති බවයි. දෙව්මැදුරේ ගවලෙනේ ඇති ජේසු බිලිඳුන්ගේ මැටි රූපයට වඩා ගෙදර සිටින තම දරුවන්ට ආදරය දක්වන්නැයි අගරදගුරුතුමන් එහිදී කිතුනු බැතිමතුන්ගෙන් ඉල්ලා සිටියහ.

මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමා එකී ඉල්ලීම ‍කළේ ‍කිතුනු බැතිමතුන්ගෙන් වුවද එයට සවන්දීම සහ ඒ අනුව කටයුතු කිරීම සියලු ශ්‍රී ලාංකික සෑම ආගමිකයකුගේම දවසේ යුතුකමක් බව ඉඳුරා කිව හැකිය.

උන්වහන්සේ එහිදී වැඩිදුරටත් මතක් කර දී තිබුණේ නත්තල දරුවන්ගේ මංගල්‍යයක් බවයි. නමුත් දරුවන්ගේ මංගල්‍යය දා දරුවන් පිළිබඳ වැඩිහිටියන් කෙතෙක් දුරට කල්පනා කරන්නේ ද යන ගැටලුව තිබේ. අප කියන්නේ නත්තල වෙනුවෙන් දරුවනට ගවලෙන් තනාදීම, ඇඳුම් ආයිත්තම් රැගෙන දීම, කෑමෙන් බීමෙන් ඔවුන් සතුටු කිරීම ආදිය පිළිබඳ නොවේ. ඇති හැකි නැති බැරි සෑම මවුපියකුම තම තම හැකි පමණ අනුව නත්තල වෙනුවෙන් දරුවනට සංග්‍රහමාන කරන බව අපි දනිමු. අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරු හිමිපාණෝද ඒ බව නොදන්නවා නොවෙති.

උන්වහන්සේ මතක් කර දෙන්නේ ඉන් එහා ගිය කාරණාවකි. කෙටියෙන් කියන්නේ නම් අගරදගුරු හිමිගේ පණිවුඩයෙහි දැක්වෙන්නේ නත්තලෙන් පටන්ගෙන වසර පුරාමත් ජීවිතය පුරාමත් පැතිර යා යුතු එක්තරා දර්ශනයකි. මඟපෙන්වීමකි.

අද දවසේ අපේ දරුවා පත්ව සිටින ඛේදජනක තත්ත්වය පිළිබඳ මනා වැටහීමකින් යුතුව දක්වන ලද අදහසක් වශයෙන්ද ඉහත දෙසුමේ හරය සලකන්නට පුළුවන.

දරුවනට නිවසේදී ආදරය රැකවරණය ලබාදිය යුතු යැයි අගරදගුරුතුමාණෝ කියති. දරුවා ආදරය ඉගෙන ගන්නේ නිවසෙනි. නිවසෙහි ආදරය රැකවරණය නොමැති දරුවා කිසිමවිටෙක පරිපූර්ණ මිනිසකු වශයෙන් වැඩෙන්නේ නැත. මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන්, ඝාතකයන්, වෙනත් අපරාධකරුවන් බිහිවනු ලබන්නේ නිවසේ ආදරය රැකවරණය නිසි ලෙස නොලැබුණු දරුවන් අතරිනි. විශ්වවිද්‍යාලවල ඉගෙනුම ලබන දරුවන් නිවසේ ආදරය රැකවරණය ලැබූ අයය. හිරගෙවල්වලදී අපට හමුවන්නේ නිවසේදී ආදරය රැකවරණය නොලැබූ දරුවන්ය.

දරුවාට නිවසේදී ආදරය රැකවරණය නොලැබෙන හේතුද අගරදගුරුතුමන් පෙන්වා දී තිබුණි. ඉන් එකක් වන්නේ කාර්ය බහුලත්වයයි. එනම් මවත් පියාත් දෙදෙනාම රැකියාවල යෙදීමයි. එවැනි මවුපියනට දරුවන් කරදරයක් සේ සිතෙන බව අගරදගුරුතුමෝ පෙන්වා දෙති. මවුපියන් නිවසේ සිටියද දරුවන් සමඟ කතා නැත. දරුවනට ඔවුනගේ ප්‍රශ්න මවුපියන් සමඟ කතාකරන්නට අවසරයක් අවස්ථාවක් නැත. එවැනි දරුවන් ගෙවනු ඇත්තේ තම නිවසේ සිටියද බාහිර නිවෙසක ගතකරන්නා වැනි ජීවිතයකි.

රැකියාවට අමතරව රූපවාහිනිය ජංගම දුරකතනය වැනි නවීන අංගෝපාංගද දරුවන් සහ මවුපියන් අතර දුරස්බව වැඩි වර්ධනය කිරීමට හේතුවී තිබේ. යක්ෂයාගේ පෙට්ටියෙන් මැද සාලයට එන බාල කතන්දරවලින් ඇස් කන් පුරවා ගැනීමට සවසට සැදී පැහැදෙන අම්මලාට තාත්තලාට දරුවන් ගැන සොයන්නට කාලයක් ඇත්තේ නැත. දරුවනට මවුපියන් සමඟ සුහදවීමට කාලයක් නැත්තේ මුහුණුපොත පරිගණක ක්‍රීඩා ආදිය නිසාය. එවැනි සමාජයක මවුපිය දූදරු පරතරය මහත් වීම පුදුමයක් නොවේ.

මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමාගේ දෙසුමෙහි වැදගත්කම ඉස්මතු වන්නේ එහෙයිනි. අගරදගුරුතුමන් ප්‍රකාශ කරන්නේ දරුවන් සැබෑ සාන්තුවර ජීවන චර්යාවට යොමුකිරීම මවුපිය යුතුකම බවය. එය වනාහී සෑම මවුපියකුම මහත් ඉහළින් පිළිගත යුතු කදිම උපදේශයකි.

 


නව අදහස දක්වන්න