විපත හා සැපත! | දිනමිණ

විපත හා සැපත!

මේ වන විට රටේ වැඩි දෙනකුගේ අවධානය යොමු වී ඇත්තේ උතුරු පළාතට ය. මහ වැසි හා දැඩි සුළං නිසා යාපනය, මන්නාරම, කිලිනොච්චිය, මුලතිව් හා වව්නියාව යන දිස්ත්‍රික්ක දැඩි ආපදාවකට ලක් වී ඇත. මධ්‍යම පළාතේ ප්‍රදේශ කිහිපයක් ද යම් පමණකින් ආපදාවට ලක් වී ඇත. වැඩි ම බලපෑමක් ඇත්තේ මුලතිව් හා කිලිනොච්චිය දිස්ත්‍රික්ක දෙකට බව, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පෙන්වා දෙයි. මේ විපත රට තුළට කඩා වදින්නේ 2014 දෙසැම්බර් 26 දා සිදුවූ සුනාමි අනතුරත්, 2019 දෙසැම්බර් 23 දා ඉන්දුනීසියාවේ සුන්ඩා සමුද්‍ර සන්ධිය අසලට බල පෑ සුනාමි ව්‍යසනයත් සිහිපත් කරමින් ය. විද්‍යාව හා තාක්ෂණය කෙතරම් දියුණු වුව, ස්වාභාවික විපත් වැළැක්වීමේ ක්‍රමවේදයක් තවම නැත.

ස්වාභාවික විපත් හා දේශපාලනය අතර සෘජු සම්බන්ධතාවක් නැත. රාජ්‍ය පාලනය හා ස්වාභාවික විපත් අතර ද සෘජු සම්බන්ධයක් නැත. එබැවින් රටේ නායකයන් හෝ දේශපාලකයන් ඊට වගකිවයුතු නැත. එහෙත් විපත්තියක දී ජනතාවට උපරිම සහන සැලැසීමත්, අනතුරු අවම කරගැනීමට උපාය මාර්ග සැලැසීමත් පාලකයන්ගේ වගවීම වෙයි. ආපදා කළමනාකරණ විෂයට අදාළ අමාත්‍යවරයා ඇතුළු පිරිසක් මේ වනවිටත් උතුරට ගොස් අවශ්‍ය කටයුතු සොයා බලති. අමාත්‍යවරයා අගමැතිවරයා වෙත විපතට අදාළ සම්පූර්ණ වාර්තාවක් ලබා දී ඇති බව ද දැනගන්නට ලැබේ. ජනාධිපතිවරයා අදාළ සියලු අංශවලට උපදෙස් ලබා දී ඇත්තේ උපරිම සහන ලබාදෙන හැටියට ය. සියල්ල හොඳින් කළමනාකරණය වන බවක් මේ අනුව පෙනී යයි.

මෙබඳු විපත් අවස්ථාවක දී සලකා බැලිය යුතු විශේෂ කරුණු කිහිපයක් තිබේ. ඉන් පළමු තැන හිමි වන්නේ ජීවිත බේරා ගැනීමට ය. දෙවන තැන හිමි වන්නේ ආරක්ෂාව සැලසීමට ය. ආහාර සැපයීම, සනීපාරක්ෂක කටයුතු හා අවශ්‍ය ප්‍රතිකාර ලබා දීම ඊ ළඟට ඉටු කළ යුතු කරුණු ලෙස සැලැකිය හැකි ය. ගංවතුරට ගොදුරු වූ පිරිස බේරා ගැනීම සඳහා උතුරේ ආරක්ෂක අංශ ක්‍රියාත්මක කර ඇති මෙහෙයුම අතිශය සංවේදී වෙයි. ඔවුන් සිය ජීවිත පරදුවට තබා ආපදාවට ලක් වූ ජීවිත බේරා ගන්නා ආකාරය කැමරාවල සටහන් වී තිබේ. ජාතිය, ආගම, පන්තිය නොව; මනුෂ්‍යත්වය ඉස්මතු වූ අවස්ථාවක් ලෙස මෙය සැලැකිය හැකි ය. උතුරේ ජනතාවට හමුදාවක ඇති වටිනාකම ද මෙයින් දැනෙනු ඇත.

මේ වන විටත් උතුරේ ආරක්ෂිත ස්ථාන තිස්පහක් පිහිටුවා, ඒවා නඩත්තු කරනු ලැබේ. අවශ්‍ය ආහාර ද්‍රව්‍ය, බෙහෙත් හා වෙනත් භාණ්ඩ ගුවන් මගින් ප්‍රවාහනය කරනු ලැබේ. රජයේ වෛද්‍ය සංගමය උතුරට සෞඛ්‍ය සේවා ලබා දීම සඳහා වෛද්‍යවරුන් සිය දෙනකු පිටත් කරන බව කියා ඇත. ඒ, ස්වේච්ඡා සේවයක් හැටියට ය. වෛද්‍ය සංගමයේ මේ තීරණය බෙහෙවින් අගය කළ යුතු ය. විපතට පත් වූවන් අතර බරපතළ රෝගීන් සිටිය හැකි ය. විපතෙන් ඇති වූ කම්පනය නිසා තවත් අය රෝගී වී සිටින්නට පුළුවන. ඒ හැරත් ගංවතුර සමඟ මතුවන අනෙක් සෞඛ්‍ය තර්ජනය වන්නේ, වසංගත, රෝග පැතිර යෑම ය. මීට අවශ්‍ය ප්‍රතිකාර මෙන් ම උපදේශන ද වහා ලබා දිය යුතු ය. එය කළ හැක්කේ වෛද්‍යවරුන්ට ම පමණි.

මේ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පෞද්ගලික අංශයෙන් කාරුණික ඉල්ලීමක් කර ඇත. එනම්; විපතට පත් වූ ජනතාවට සහන සැලැසීම සඳහා සහයෝගයක් ලබාදෙන හැටියට ය. ඊට සාර්ථක ප්‍රතිචාර ලැබෙමින් පවතින බව වාර්තා වෙයි. ශ්‍රී ලංකාවේ ආර්ථිකය ක්‍රියාත්මක වන්නේ රාජ්‍ය අංශය හා පෞද්ගලික අංශය යන පාර්ශ්ව දෙකෙහි ඒකමතිකත්වයෙනි. ඇතැම් අංශවලින් රාජ්‍ය ව්‍යවසාය පරදවා පෙරමුණ ගන්නට පෞද්ගලික අංශය සමත් වී ඇත. සේවා නියුක්තියෙන් වැඩි අනුපාතයක් අයත් වන්නේ ද පෞද්ගලික අංශයට යැයි කිව හැකි ය. මේ අතර අධික වශයෙන් ලාභ ලබන ආයතන ද පවතී. එම ආයතන ජනතාව වෙනුවෙන් කිසියම් සහන සේවාවක නියුක්ත වීම යහපත් දෙයකි. කොහොමටත් අපේ රටේ පෞද්ගලික අංශය ජනතා සුබ සාධනයට කැමැති ය.

ඊ ළඟට එළඹෙන බරපතළ කාරණය වන්නේ, විපතෙන් පසු ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම හා දේපොළ විනාශය සඳහා වන්දි ලබා දීම ය. ජීවිත හානි ගැන බරපතළ සටහනක් නැතත්. සිදුවී ඇති දේපොළ විනාශය බලවත් බව බැලූ බැල්මටම පෙනෙයි. නිවාස හානිය, වගා හානිය හා වෙනත් දේපොළ හානි ලෙස එය වර්ගීකරණය කළ හැකි ය. මේ හැරෙන්නට සමාජයීය වශයෙන් ඇති වූ හානිය ද සුළුවෙන් තැකිය නොහැකි ය. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ඒ අතර ප්‍රමුඛ වෙයි. අධ්‍යාපන අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකොට පුනරුත්ථාපන වැඩසටහනක් ආරම්භ කර ඇති බව වාර්තා වෙයි. දරුවන්ගේ ඇඳුම් - පැලඳුම්, පොත්පත් හා අවශ්‍ය වෙනත් උපකරණ සියල්ල නොමිලේ හා කඩිනමින් ලබා දීමට එම වැඩසටහන සමත් වනු ඇතැ’යි සිතන්නට පුළුවන.

සිදුවී ඇති දේපොළ හානිය හෝ වගා හානිය හෝ තවම ගණනය කර නැත. ඒ පිළිබඳ සමීක්ෂණ පැවැත්වීම සඳහා ගංවතුර බැස යා යුතු ය. ඊයේ වන විටත් ගංවතුර බැස ගොස් නොතිබිණි. වාර්ෂාව තව දුරටත් පවතින ලකුණු ද පහළ වී තිබිණි. ඉන් කියැවෙන්නේ තවත් අනතුරු හා විපත් සිදුවිය හැකි බව ය. ඒවාට සූදානමින් සිටීම වැදගත් ය. ජීවිතාරක්ෂක බෝට්ටු බොහෝ ප්‍රමාණයක් උතුරට ප්‍රවාහනය කර ඇත. ආරක්ෂක අංශ දවසේ පැය විසි හතර තුළම රාජකාරියේ නිරත වෙමින් විපතට පත් වූවන් ගලවා ගැනීමේ මෙහෙයුම් සිදු කරයි. ආපදා අවස්ථාවකදී අපේ ආරක්ෂක අංශ ක්‍රියා කරන ආකාරය බොහෝ දෙනාගේ පැසසුමට ලක් වී ඇත. මේ තත්ත්වය අන්තර්ජාතික ප්‍රජාව වුව වටහාගත යුතුව තිබේ.

2004 සුනාමිය රටට කඩා වදින විට විපතකට මුහුණ දීමේ විධිමත් හා ශක්තිමත් වැඩපිළිවෙළක් අපට තිබුණේ නැත. එහෙත්, සුනාමියෙන් පසු ස්වාභාවික විපත් පිළිබඳ බොහෝ දේ ඉගෙනීමට අපට හැකියාව ලැබිණි. ආපදා කළමනාකරණය සඳහා වෙනම අමාත්‍යාංශයක් පිහිටුවීම, සුනාමි අනතුරු සංඥා පද්ධතියක් ස්ථාපිත කිරීම මේ අංශයෙන් ශ්‍රී ලංකාව ලබා ඇති විශේෂ ජයග්‍රහණ බව කිව යුතු ය. මීට දින කිහියකට ඉහත දී එනම්; දෙසැම්බර් 23 දා ඉන්දුනීසියාවේ අනාක් ගිනිකන්ද පුපුරායෑමත් සමඟ ඇතිවූ සුනාමි අනතුර ශ්‍රී ලංකාව බලපෑමක් නොකරන බව විද්‍යාත්මක ව දැන ගැනීමට අපට හැකි විය. එය විශාල සහනයකි. එසේ නොවන්නට මුළු රට ම සුනාමියකින් බියට හා කම්පනයට පත්වනු ඇත.

ලෝකයේ දියුණු ම රටවල් ද ස්වාභාවික විපත්වලට මුහුණ දෙයි. කැලිෆෝනියාවේ ලැව් ගිනි, මාස ගණනක් තිස්සේ පැවැතිණි. එය අවසන් වෙත්ම ධාරානිපාත වර්ෂාව හා දැඩි සුළං, එම ප්‍රදේශය ආක්‍රමණය කර තිබේ. ස්වාභාවික විපත් ලෝකයට පොදු යැයි කියන්නට පුළුවන. එයින් පාඩම් උගෙන, විපත - සැපතක් බවට, පෙරළා ගැනීම කළ යුතු ය. ජපානය යනු අළු - දූලි මතින් ලෝකය ජය ගත් රාජ්‍යයකි. අපට ද එය කළ හැකි ය. ඉන්දුනීසියාව නිරන්තරයෙන් ම ස්වාභාවික විපත්වලට මුහුණ දෙයි. සක්‍රිය ගිනි කඳු වළල්ලක් එහි ඇත. ඒ අතින් බලන විට ශ්‍රී ලංකාව බොහෝ වාසනාවන්ත ය. මේ විපත සැපතක් බවට පත්කර ගත හැක්කේ ක්‍රමවත් වැඩසටහන් මගිනි.


නව අදහස දක්වන්න