ජේසු පිහිටයි! | දිනමිණ

ජේසු පිහිටයි!

නත්තල උදාවී ඇත්තේ කමින් - බොමින් - ගී ගයමින් ප්‍රීති වීමට පමණක්ම නොවේ. නත්තල් උත්සවය තුළ ගැඹුරු හර පද්ධතියක් තිබේ. එහි ඉලක්කය සැනසිලිදායක ජීවිතය යි. නූතන සංකීර්ණ සමාජය වෙතින් සැනසිල්ල හා ප්‍රීතිය පලාගොස් ඇත. ඒ වෙනුවට තරගය හා වෛරය ඉස්මතු වී ඇත. මේ අභාග්‍යය වෙනස් කිරීම සඳහා අධ්‍යාත්මික විප්ලවයක අවශ්‍යතාව පහළ වී තිබේ. එම විප්ලවය හෙවත් වෙනස සඳහා තෝරාගතයුතු එක් නිවැරැදි මාර්ගයක් වන්නේ ක්‍රිස්තු ධර්මයේ දාර්ශනික ප්‍රවේශයට ඇතුළත් වීම ය. ලෝකයට සුභාරංචිය රැගෙන පැමිණි දේව පුත්‍රයාණන් වූ ක්‍රිස්තුස්වහන්සේ මෙසේ කීහ. “මම නුඹලාට ජීවිතය ද, පරිපූර්ණ ජීවිතය ද රැගෙන පැමිණ ඇත්තෙමි.”

මෙහි එන පරිපූර්ණ ජීවිතය යනු කුමක් ද? එය ප්‍රේමයෙන් පිරි ජීවිතයෙකි. දයාවෙන් භරිත ජීවිතයකි. ප්‍රේමය හා දයාව ඇති තැන සැනසිල්ල පහළවෙයි. අප ලබන උත්තම භාග්‍යය සැනසීම ය. අප ලබන පරම සතුට ද සැනසීම ය. ප්‍රේමයෙන් ද, දයාවෙන් ද ඉතිරී - පැතිරී ගිය මිනිස් සමාජයක පහස ලැබිය හැකි නම්; ඒ තරම් භාග්‍යයක් තවත් තිබිය නො හැකි ය. ඒ තරම් සතුටක් ද තවත් තිබිය නො හැකි ය. නත්තලේ සැබෑ අරුත වන්නේ ප්‍රේමය හා දයාව මුළු මිනිස් සමාජය පුරා පැතිරවීම ය. එය ජයගත හැකිනම්; ලෝකය අති සුන්දර පාරාදීසයක්ම වනු ඇත. නන්තල දා අප කළ යුත්තේ පවිත්‍ර සමාජයක් ගොඩනැගීම සඳහා ශක්ති ප්‍රමාණයෙන් දායක වීම ය.

දෙව් සමිදාණන් ලොව පහළ වන කාලය තුළ ඒකාධිපති පාලකයන්ගේ කුරිරු පාලනයට පීඩිත ජනතාව යටත්වී උන්හ. ප්‍රේමය හා දයාව යදිනවිට ඔවුන් වෙත ලැබුණේ වෛරය හා දැඩි දඬුවම් ය. පීඩිතයාගේ සැනසිල්ල සඳහා වූ කිසිදු උපාය මාර්ගයක් ඒ සමාජය තුළ ක්‍රියාත්මක වූයේ නැත. කොටින්ම පීඩිත ජනතාවට කිසිදු සැනසිල්ලක් තිබුණේ නැත. සමිදාණෝ ඔවුනට පරිපූර්ණ ජීවිත ලබාදීම උදෙසා පරිවර්තන යුගයක් ද, පරිවර්තන දෘෂ්ටියක් ද ඇති කළහ. මෙයින් උරණ වූ අධිරාජ්‍යය, සමිදාණන් අත්අඩංගුවට ගත්තේ ය. පසුව කුරුසයේ ඇණ ගසා ඝාතනය කළේ ය. එහෙත් උන්වහන්සේ කිසිවකුට වෛර නොකළහ. ඔබගේ කම්මුලකට පහර දෙන තැනැත්තාට අනෙක් කම්මුලත් පාන්න යන්න උන්වහන්සේගේ ඉගැන්වීම විය.

නූතන සමාජය දෙස හැරී බලන්න! වෛරයේ ගිනිදැල් එහි පැතිර යයි. තරගයේ පීඩනය ද එහි පැතිර යයි. බලවත් රාජ්‍යය එකිනෙකා සමඟ වෙළෙඳ යුද්ධයක ද, අවි තරගයක ද යෙදී සිටිති. ඒ අතර ජාතිවාදය, ගෝත්‍රවාදය හා ආගම්වාදය පැතිර යයි. ඒවා මත පදනම්ව ලෝකය පුරා යුද්ධ පවතී. සිරියාවේ ඇත්තේ නොනවතින යුද්ධයකි. යේමනයේ ඇත්තේ බල තරගයකි. ඇෆ්ගනිස්ථානය සදාකාලික ගැටුම් ඇති රාජ්‍යයකි. මේ අතර දේශපාලන අර්බුදවලින් ද, ආර්ථික පසුබෑම්වලින් ද ලෝකයේ තවත් කලාප අති දුෂ්කර අවස්ථාවලට මුහුණදී සිටිති. මේ සියල්ල පසුපස ඇත්තේ ප්‍රේමය හා දයාව අහෝසි වීමත්; බල තරගය ඉස්මතුවීමත් ය. අප ද මේ ගැටුම් හා අර්බුදවලින් මුළුමනින් නිදහස් වී නැත. එසේනම්; අප නව ජීවිතයකට හා නව සමාජයක් කෙරෙහි එබිකම් කර බැලිය යුතු ය.

නත්තලෙහි තවත් අර්ථයක් වන්නේ පුද්ගලයාට හා සමාජයට නව ජීවනයක් ලබාදීම ය. එය ආලෝකයක් ලෙස ද හඳුන්වා ඇත. පුද්ගලයාට නව ජීවනයක් හෝ ආලෝකයක් හෝ ලැබෙන්නේ කෙසේ ද? ඒ සඳහා ඔහුගේ සබඳතා අලුත් විය යුතුය. ගනුදෙනු අලුත් විය යුතුය. සමාව දීම මෙන් ම සමාව ඉල්ලා සිටීම ද මේ සඳහා යොදාගත හැකි හොඳම උපායමාර්ග දෙකකි. පුහුදුන් මිනිසුන් අතින් වැරැදි සිදුවීම ස්වභාවික යැයි විශ්වාසයක් තිබේ. එහෙත් වරදක් සිදුවූ කල එය පිළිගැනීමට මෙන්ම ඒ ගැන පසුතැවීමට ද පුරුද්දක් අපේ සමාජය තුළ නැත. එය බලවත් අවාසනාවකි. නත්තලෙහි මාර්ගෝපදේශනය වන්නේ වරද පිළිගැනීම, පසුතැවීම හා සමාව ඉල්ලා සිටීම ය. නූතන සමාජයට එය ඉතා කදිම පාඩමකි.

දේව පුත්‍රයාණෝ තමන් පාවාදුන් අයට ද සමාව දුන්හ. තමන් ඝාතනය කළ අයට ද සමාව දුන්හ. සමාව ලබාදීම දේව ගතියක් බවට කියමනක් සාමාන්‍ය සමාජය තුළ ද පවතී. සමාව ඉල්ලීමෙන් මෙන් ම සමාව දීමෙන් ද බොහෝ ගැටුම් නිරාකරණය කරගත හැකි ය. ලෝකයේ බොහෝ ගැටුම්වලට හේතුව වරද පිළිගැනීමට හා සමාව ඉල්ලා සිටීමට විවිධ පාර්ශ්ව දක්වන මැළිකම බව පෙනීයයි. එහිදී සිදුවන්නේ දෙවියන්ගේ උපදේශනය පවා නොසලකා හැරීම යැයි කියන්නට පුළුවන. යහපත් සමාජයකට මෙන් ම ශිලාචාර සමාජයකට ‘සමාව’ යන වචනය පවා බෙහෙවින් වැදගත් වෙයි. කිසිවකු නත්තල්දා වරදකට සමාව ගන්නේ නම්; ඔහු නත්තල සැබැ ලෙස සමරන බව කිව හැකි ය. සමාව ගැනීමෙන් පසු නව ජීවනයකට පාර ඉබේ ම සැලසෙනු ඇත.

නීතිය හා අධිකරණය මගින් මිනිසා ශිෂ්ට කළ හැකි යැයි කෙනකු තර්ක කරන්නට පුළුවන. එය අර්ධ සත්‍යයක් පමණි. නීතියෙන් මිනිසාගේ වැරැදිවලට දඬුවම් ලබාදිය හැකි ය. ඒ දඬුවමට ඇති බිය නිසා වැරැදි නොකර සිටින්නට කෙනකු පෙලඹිය හැකි ය. එහෙත් පුද්ගලයාගේ ඇතුළාන්තය හෙවත් අධ්‍යාත්මය මේ මගින් ශුද්ධ - පවිත්‍ර වන්නේ නැත. මිනිසා සිය චින්තනයෙන් නිවැරැදි විය යුතු ය. චින්තනයෙන් ම පවිත්‍ර විය යුතුය. ශිෂ්ට සමාජයක් බිහි කළ හැක්කේ ඒ මාර්ගයෙන් පමණි. ඒ අනුව මිනිසාගේ ජීවිතය අර්ථවත් කිරීම සඳහා අවශ්‍ය ම උපායමාර්ග ඇත්තේ ආගම් හා දර්ශන තුළය. කිතුදහම ලොව වැඩිම පිරිසක පිළිපදින හා අදහන ආගම හා දර්ශනය බවට පත්ව තිබේ. එහි පෘථූලබව එයින් ම පැහැදිලි වෙයි.

ශ්‍රී ලංකාවේ සංස්කෘතිය සමඟ ද කිතු දහම ඉතා තදින් බද්ධ වී තිබේ. නත්තල කිතුනුවන්ගේ පමණක් උත්සවයක් නොවන්නේ ඒ නිසා ය. බෞද්ධ - හින්දු - ඉස්ලාම් භේදයකින් තොරව නත්තල සමරති. එය රටේ සංස්කෘතික උත්සවයක් ලෙස ද ජාතික උත්සවයක් ලෙස ද සැලැකීම ඉතා නිවැරැදිය. ඕනෑම උත්සව සමයක ව්‍යාපාරික ක්‍රියාවලියක් පවතී. අප දන්නා පරිදි ව්‍යාපාරිකයන්ගේ අරමුණ ලාභය උපරිම කර ගැනීම ය. ඒ අනුව නත්තල ද ලාභය උපරිම කරගැනීම සඳහා යොදාගන්නට පුළුවන. එහෙත් නත්තලෙහි වටිනාකම වාණිජ්‍ය ක්‍රියාවලියකින් වසා දැමිය නො හැකි ය. වාණිජකරණයේ ප්‍රතිඵල සොයනු වෙනුවට අප කළ යුත්තේ නත්තලෙහි සැබෑ අරුත සොයා ඒ අනුව කටයුතු කිරීම ය. එවිට නත්තලෙහි සැබෑ අර්ථය අප වෙත ළඟා වනු ඇත.

දුගියාගේ නිවසට නත්තල එනදා තමන්ගේ නත්තල ආරම්භ වන බව මර්සලීනු ජයකොඩි පියතුමා කියා ඇත. එය රටේ ප්‍රචලිත කියමනක් බවට පත්වී තිබේ. එහි ඇත්තේ ගැඹුරු අර්ථයකි. රටේ ජනගහනයෙන් බහුතරය දුප්පත් ය ඒ දුප්පතුන් අතර එදා වේල පිරිමසා ගැනීමට බැරි අය ද සිටිති. ජයකොඩි පියතුමාගේ දැක්මට අනුව නත්තලදා හැකිතාක් දුරට දුප්පතුන් ගැන සොයා බැලිය යුතු ය. දුප්පතුන් වෙනුවෙන් ඔබට කළ හැක්කේ කුමක් ද? එම සිතුවිල්ල මතුවන හැම වාරයක් පාසාම ප්‍රේමය හා දයාව ඔබ වෙතින් ඉස්මතු වනු ඇත. අපට හා රටට අවශ්‍ය වන්නේ එබඳු මිනිසුන් ය. එබඳු මිනිසුන්ගෙන් මේ සමාජය සන්තෘප්ත වේවා! යන්න අපගේ ප්‍රාර්ථනය වෙයි.

රටේ නන් දෙසින් සීනු හඬ ඇසෙයි. ඒ නත්තල සිහිපත් කිරීමට ය. එහෙත් සැබෑ නත්තල ඇත්තේ අජීවී මෙවලම් තුළ නොව; සජීවී හෘද සාක්ෂිය තුළ ය. නත්තල අර්ථාන්විත ලෙස ගෙවා දමන්නට සැරසෙන්න! ඔබ සියලු දෙනාට ම ජේසු පිහිට ප්‍රාර්ථනා කරන්නෙමු.


නව අදහස දක්වන්න