රෝගී දරුවා බැලීමට දින දෙකකට වරක් අවසර | දිනමිණ

රෝගී දරුවා බැලීමට දින දෙකකට වරක් අවසර

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, හිටපු ආරක්ෂක ලේකම්වරයා සහ සහකාර පොලිස් අධිකාරීවරයකු ඇතුලු පොලිස් නිලධාරීන් පිරිසක් ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන්  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින අත්අඩංගුවට  ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින  ත්‍රස්ත විමර්ශන අංශය භාරව කටයුතු කළ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතාගේ රෝගී වී සිටින දරුවා බැලීමට එම දරුවා  නේවාසික  ප්‍රතිකාර ලබන පුද්ගලික රෝහල වෙත දින දෙකකට වරක් රැගෙන යන්නැයි  කොළඹ  කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (21) බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළේය.  
 
මහේස්ත්‍රාත්වර යා මේ නියෝගය සිදු කළේ නාලක සිල්වා මහතාගේ එකම දරුවා ඩෙංගු රෝගය වැළදීමෙන් දැඩි රෝගී තත්ත්වයකින් පසුවන බවටත් දරුවාට ඉතා සමීපව කටයුතු කළ පියෙකු වන ඒ මහතා දරවාගේ රෝග තත්ත්වය හමුවේ දරුවා අසළ සිටීම වැදගත් බවට නිතිඥ ආර් එස් පතිරණ මහතා අධිකරණයට කළ දැනුම් දීමෙන් අනතුරුය.  
 
මෝසමක් ගොනු කරමින් අධිකරණයට කරුණු දැක්වූ පතිරණ මහතා නාලක සිල්වා මහතාගේ පළමු දරුවා 2013 වසරේ ඩෙංගු රෝගය වැළදීමෙන් මියගිය බවද කියා සිටියේය.  ඉදිරිපත් කළ සියලු කරුණු වලට සවන් දුන් මහේස්ත්‍රාත් වරයා දරුවා රෝහල් ගතව සිටින තුරු සෑම දින දෙකකට වරක් දරුවා සිටින රෝහලට රැගෙන යන්නැයි බන්ධනාගාරයට නියෝග කළේය. 
 
 නාලක සිල්වා මහතා වෙනුවෙන් ඉකුත් නඩු දිනයේ සිදු කළ  ඇප ඉල්ලීම මහේස්ත්‍රාත් වරයා ප්‍රතික්ෂේප කළ අතර ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන විමර්ශන සිදු කරන සිද්ධියක් බැවින් නඩුව අවසන් වන තුරු ඇප ලබා දිය නොහැකි බව දැනුම් දුන්නේය.

නව අදහස දක්වන්න