ලෝකය දකින්නට නොලැබීම ගැන දුක්වෙන, සියදහස් වාරයක් පසුතැවිලි වෙන ගතියක් මිනිහට තිබුණේම නෑ
මිනිහෙක් තමන්ගේ ඇස් දෙක පාවිච්චි කරනවා අඩුයි කියන්නේ එයාගේ පෙනීම අඩුයි කියන එක නෙවෙයි..’
පුදුමේ කියන්නේ මේ කතාව කියන්නේ කවදාවත් ලෝකය දැකලා නැති කෙනෙක්. තමන්ටම කියලා ඇස් දෙකක් නැති කෙනෙක්. ඒත් එහෙම වුණා කියලා එයා කවදාවත් ජීවිතයෙන් පැරදුණේ නෑ. ඇස් පෙනෙන අයටත් වඩා හොඳින් එයාට ලෝකය ස්පර්ශ කළා.
අමෙරිකාවේ මිචිගන්වලදී මීට අවුරුදු හැට ගණනකට පෙර නොමේරු දරුවෙක් විදිහට මෙලොවට බිහිවෙලා ඒ නිසාම අන්ධභාවයට පත්වුණු මේ පුද්ගලයා ස්ටීව්ලන්ඩ් හාඩ්වේ මොරිස්. ඒත් හැමෝම එයාව දන්නේ ස්ටීවි වොන්ඩර් නමිනුයි. ස්ටීවි වොන්ඩර් කියන්නේ 20 වැනි ශතවර්ෂයේ අගභාගයේදී ලොව වඩාත්ම විවේචනයට භාජනය වුණු, වානිජමය අතින් වඩාත්ම සාර්ථකත්වයට පත්වුණු බටහිර ගායකයන් අතලොස්සෙන් කෙනෙක්.
ජීවිතය පාට කරගන්න.. එයාගේ කළුවර ලෝකයට නොපෙනෙන එළියක් ළඟාකරගන්න මේ අපුරු ගායකයා ගත් උත්සාහයත්, එහි සාර්ථකත්වයත් එක අතකට ලොව පුරා ඇස් නොපෙනෙන මිනිසුන්ට ආදර්ශයක් වගේම අනිත් අතට ඇස් පෙනි පෙනී තිබියදිත් ජීවිතය අඳුරු කරගත්තු මිනිසුන්ට කදිම අතුල් පහරක් වුණා.
අවුරුදු 11දී මිචිගන්වල මෝටවුන් හී ටැම්ලා ලේබලය යටතේ ගීත ගායනයට පිවිසි මේ විස්මිත ගායකයා මේ වනවිට 68 හැවිරිදි වියෙහි පසුවූවත් අදටත් බටහිර පොප් සංගීතයේ නොම්මර එකේ තරුවක්. කවදාවත් ගිටාරයක්, පියානෝවක්, ඩ්‍රම් සෙට් එකක් දෑසින් දකින්න වරම් නොලැබුණත් පුංචි කාලේ පල්ලියේ ගීතිකා කණ්ඩායමේ සාමාජිකයෙක් විදිහට කටයුතු කළ නිසා ස්ටීවි වොන්ඩර්ට මේ වාදන භාණ්ඩ වාදනය කිරීම කජු කනවා වගේ වැඩක් වුණා. මෝටවුන් ආයතනයේ ටැම්ලා ලේබලය යටතේ ගායකයෙක් හැටියට ඉදිරියට යන්න ඔහුට අවස්ථාව උදාවුණෙත් පල්ලියේ ගීතිකා කණ්ඩායම නිසයි.
කවදාවත් අම්මා කෙනෙකුගේ, තාත්තා කෙනෙකුගේ රූපය දකින්න නොලැබීමේ අවාසනාව කරපින්නාගෙන උපන් ස්ටීවි අවුරුදු 4දී එයාගේ මාපියන් දික්කසාද වුණාම තත්ත්වය තවත් දරුණු අතට හැරුණා. කිසිම දෙයක් කරකියාගන්න බැරිව ගිය එයාගේ අම්මා දරුවෝ 6 දෙනාත් අරගෙන මිචිගන්වල වෙන පැත්තකට පදිංචියට ගියා.
ඇත්තම කියනවානම් දරුවෝ 6ක්, ඇරත් ඇස් පේන්නෙ නැති දරුවෙකුත්....ඒ අම්මට බර වැඩිවෙන්න ඇති. ඒ නිසා තමයි මේ අන්ධ දරුවගේ බරින් පොඩ්ඩක් හරි නිදහස් වෙන්න හිතාගෙන එයා පල්ලියේ ගීතිකා කණ්ඩායමට ස්ටීවි ඇතුළත් කළේ. අන්තිමේදී මේ අසරණ කොලු පොඩ්ඩාට වාසනාව උදාවුණේ ඒ හරහායි.
ටැම්ලා ලේබලයට එයා මුලින්ම ගැයුවේ ‘තනිවුණු කොල්ලා’ ගීතයයි. ඒක එයාගෙම අත්දැකීමක්. ඒ ගීතය රචනා කළෙත් එයාමයි. ඒත් බාලවයස්කාරයෙක් නිසාම අවුරුදු පහේ ගිවිසුමක් වුණත් එයාට මුදල් ලබාගැනීමට නම් අවුරුදු 21 පිරෙන තුරු ඉන්නට සිදුවුණා. ඒ කාලය තුළ ස්ටීවිටත්, එයාගේ අම්මාටත් සතියකට ඩොලර් දෙකයි පනහ බැගින් ගෙවන්නට ටැම්ලා අයිතිකරු ක්ලැරන්ස් පෝල් පොරොන්දු වුණා. හැරුණම විදෙස් සංචාර සඳහා යාමේදී ස්ටීවිට භාරකාරයෙක් පත් කරන්නත් එයා කටයුතු කළා.
මුල් කාලයේ සිටම ස්ටීවි ගැයූ බොහෝ ගීත ඔහු විසින්ම රචනා කරනු ලැබු ඒවා. ඒ අතරින් වැඩි ගණනක් ඔහුගේම අත්දැකීම් ඇසුරින් ලියැවුණා. 1962දී ඔහු ගැයූ ‘අම්මේ ස්තූතියි ඔබට..’ ගීතය ඔහු වෙනුවෙන් ජීවිතය කැප කළ සිය මව වෙනුවෙන් ලියැවුණා.
අම්මා කියන්නේ ස්ටීවිගේ ජිවිතයේ ලොකුම පංගුකාරයා. ලෝකය ගැන... පාට පාට ගැන..මිනිස්සු ගැන..එයා සිතින් මවාගත්තේ අම්මා කියාදුන්නු දේවල් වලින්. ඉන් ඇතැම් ඒවා ඔහු අන්ධ විද්‍යාලයේදී ඉගෙන ගත්තා. ඒත් අම්මා තමයි එයාගේ හොඳම ගුරුවරිය වුණේ.
‘අම්මා තමයි මගේ ශ්‍රේෂ්ඨතම ටීචර්. දයාව කරුණාව උගන්වපු ටීචර්. එයා මට ආදරය ගැන, එඩිතරකම ගැන කියා දුන්නා. ආදරය කියන්නේ මලක් වගේ සුන්දර එකක් නම්, එහෙනම් මගේ අම්මා තමයි ආදරයේ සුවඳ මල..’ ස්ටීවි පසුකාලෙක අම්මා ගැන එහෙමයි කිව්වේ.
මේ පුංචි කොලු ගැටයාගේ ළමා කාලය එහෙම පිටින්ම ගෙවිලා ගියේ දරිද්‍රතාව මැදයි. අන්ධභාවය නිසාම ඔහු අසල්වාසි නිවාසවල සෙසු කොල්ලන්ගේ උසුළු විසුළුවලට නිරන්තරයෙන්ම මුහුණ පෑවත් ඒක මිනිහට තදින්ම දැනුණේ නෑ. ඒ වෙනුවට මිනිහා පසුතැවිලි වුණේ අනිත් කොල්ලො වගේ ගස්වලට නැගලා කෙල්ලන්ට ඇපල් කඩා දෙන්න නොහැකිවීම ගැන විතරයි. ලෝකය දකින්නට නොලැබීම ගැන දුක්වෙන, සියදහස් වාරයක් පසුතැවිලි වෙන ගතියක් මිනිහට තිබුණේම නෑ. එයා නිතරම හිතුවේ දෙවියන් වහන්සේ දුන්නු ජීවිතය කළමනාකරගන්නා ආකාරය ගැනයි. නොපෙනෙන ඇස් දෙකින් අනාගතය දිහා වෙනස්ම විදිහට බලන්න ඔහු පුරුදු වුණා.
‘ඉල්ලුවේ නැත්තම් ඔබට කිසිදෙයක් ලැබෙන්නේ නෑ.’ අම්මගෙන් ලැබුණු මෙන්න මේ උපදේශය කුඩා වියේදි ස්ටීවිගේ උදාන ගීතය බවට පත්වුණා කිව්වොත් නිවැරැදියි. අවුරුදු 13දී ටැම්ලා ලේබලයෙන් නිකුත් වුණු ඔහුගේ ‘ෆින්ගර්ටිප්ස්’ ගීතය සුප්‍රකට ‘බිල්බෝඩ්’ ගීත දර්ශකයේ අංක එකට පත්වීම ස්ටීවි වොන්ඩර් කුඩා වියේදිම ජීවිතයට සොයාගත්තු පැහැය වුණා. එවැනි ගෞරවයක් අවුරුදු 13ක ළාබාල ගායකයකුට හිමිවුණු මුල්ම අවස්ථාව එයයි. ඒ වගේම ඒ ගීතය ඔහුට අලුත් පන්නරයක් ලබාදුන්නා.
ක්‍රමයෙන් වැඩිවියට පා තබද්දි කටහඬ වෙනස්වීමත් එක්ක ස්ටීවිගේ රසික රසිකාවියන්ගේ ප්‍රමාණයත් ඉහළ යන්නට වුණා. ඔහුගේ හඬෙහි තිබුණු අපූරු ලාලිත්‍යය, කළු ජාතිකයන්ටම උරුම වුණු රිද්මයානුකූල හඬ...ස්ටීව් වොන්ඩර් අමෙරිකාවේ නැගී එන තරුවක් බවට පත් කළා.
අන්ධභාවය කියන්නේ ඔබේ නොහැකියාවක් නොවන බව ලෝකයට තහවුරු කළ ස්ටීවි යොවුන් වියේදිම ගායකයකු හැටියට යම්කිසි ස්ථාවරයක් ගොඩනගා ගැනීමට සමත්වීම එක අතකින් විශ්මය දනවන්නක්. ගායකයෙක් හැටියට පමණක් නෙවෙයි පද රචකයෙක් හැටියටත් ඔහුගේ මේ ගැම්ම එකදිගට උඩට නැග්ගා. එයා මෝටවුන් ආයතනයේ ගී පද නිර්මාණ අංශයෙත් වැඩ කළා. එයාට වගේම ටැම්ලා ලේබලයෙන් ගීත ගැයූ ඔහුගේ සෙසු සගයන්ටත් ලෝබ නැතිව ගීත ලියා දුන්නා.
තරුණ වියට පා තබද්දි මේ හාදයා මිචිගන්වල කළු කෙල්ලෝ අතරේ වගේම වෙනසක් නැතිව සුදු කෙල්ලෝ අතරත් වීරයෙක් වුණේ එහෙමයි. ඔහුටම ආවේනික ගායනය වගේම තරුණ හිත්වලට දැනෙන විදිහට ගීත ලියන්න ස්ටීවිට තිබුණේ සහජ හැකියාවක්. ඒකම තමයි ඇස් නොපෙනුණත් කෙල්ලෝ අතර එක්තරා විදිහක වීරයෙක් වෙන්න ඔහුට තිබුණු වාසිය.
අන්තිමේදි මිනිහා අවුරුදු විස්සක් තරම් ළාබාල වියේදිම එයාගේ මුල්ම විවාහය සිදුකරගත්තේ එයාගේ කටහඬට පෙම් කළ මෝටවුන් ආයතනයේ හිටපු ලේකම්වරිය වුණු සිරීටා රයිට් සමගයි. ඇයත් අපූරු ගීපද රචිකාවියක්. ඔහුගේ ඊළඟ ඇල්බමය නිකුත් වුණේ නව යුවළගේ සංකලනයක් ලෙසටයි.
කළු ජාතිකයකු වූවා මදිවට අන්ධයකුවීමත් අමෙරිකාව වගේ රටක ජනප්‍රියත්වයට පත්වීම කෙසේවෙතත් අනාගතය පැහැපත් කරගැනීමට දැඩි අවාසිසහගත සාධක බවට මත පළවූවත් ස්ටීවි ඒවා තඹයකටවත් මායිම් කළේ නැත. ඇරත් ඔහුට ඒවා ගැන සිතන්නට තරම් වේලාවක් තිබුණේම නැත. ගීත ලියන්නටත්, ඒවාට හඬ දෙන්නටත් වගේම තරුණියන්ගේ පහස විඳීමට නොතිත් ආසාවෙන් නිතරම පසුවුණු මේ අපූරු මනමාලයාට සැබැවින්ම ආදරය ගැන තිබුණේ වෙනම මතයක්.
ඔහු ගැහැනුන්ට දැක්වූ උනන්දුව සහ කැමැත්ත අන්තිමේදි කෙළවර වූයේ විවාහයන් තුනක්ම සිදුකරගැනීමෙනුයි. ඒ මදිවට තවත් ගැහැනුන් කිහිපදෙනකු සමගම ඔහු පෙමින් බැඳී සිටියා. ඔහුගේ සමීපතමයෝ කියන හැටියට මේ සොඳුරු ගායකයාට දරුවන්ම 9ක්.
අසූව දශකයේදී ඔහු ගැයූ ‘පාර්ට් ටයිම් ලවර්’ ගීතයත්, ‘අයි ජස්ට් කෝල්ඩ් ටු සේ අයි ලව් යූ’ ගීතයත් ස්ටීවි බටහිර ගායකයන් අතර නොම්මර එකේ ගායකයා බවට පත් කළා. ලොව පුරා මිලියන සියයකට වඩා අලෙවි වූ ඔහුගේ ගීත සුප්‍රකට ග්‍රැමී සම්මාන 25ක් දිනාගැනීමට ඔහුට ඉවහල් වුණා.
‘ඔබේ ජීවිතය රඳා පවතින්නේ අන් අයගේ බලාපොරොත්තු මත නෙවෙයි’
පාට පාට විදුලි බුබුලුවලින් වර්ණවත් වුණු දැවැන්ත වේදිකාවල අතිවිශාල ජනකායක් මැද කළු පැහැති අව් කණ්නාඩියක් පැළඳ උජාරුවට පියානෝව වාදනය කරමින් ගීත ගයන ස්ටීවි වොන්ඩර් අදටත් බටහිර සංගීත ක්ෂේත්රය තුළ විරාජමාන චරිතයක් බවට පත්වී ඇත්තේ කුඩා වියේ සිටම කළු පැහැය පමණක් දකිමින් සිටියත් වෙනම පැහැයකින් ජීවිතය වර්ණවත් කරගැනීමට තරම් හැකියාවක් ඔහුට තිබුණු නිසයි.
ඒ අපූරු පැහැය කිසිදිනෙක දකින්නට ඔහුට වරම් නෑ. ඒත් ලොව පුරා ලක්ෂ සංඛ්‍යාව රසික රසිකාවියන් ඒ වර්ණය පැහැදිලිවම දුටුවා. ඔහු ජීවිතය ජයගත්තේ එලෙසයි.
‘අන්ධභාවය මට වෙස්වලාගත් ආශිර්වාදයක්.’
ඔහු කීවාට ලොවක් දකින්නට වරම් අහිමිවූවන්ගෙන් එසේ කියන්නේ කීයෙන් කීදෙනාද..?
නව අදහස දක්වන්න