බොරු පම්පෝරියට ලැබුණු දඬුවම | දිනමිණ

බොරු පම්පෝරියට ලැබුණු දඬුවම

 “දැන් මේ ඇබ්ස්කැම් එක හැරවිලා තියෙන්නේ කොයි පැත්තටද කියල ඔයා දන්නවානේ මෙල්. මෙච්චර කල් එළිකරගන්න බැරිවෙලා තිබිච්ච, නිව්යෝක්වලයි, නිව් ජර්සිවලයි, ෆ්ලොරිඩාවලයි හොර ජාවාරම් අල්ලගන්න පුළුවන් පාත්එකට ඇබ්ස්කැම් වැටිල කියලා දැනගත්තම බියුරෝ එකට මල් හතයි. දැන් එයාලා මේකට අංක එකේ තැන දීල. කොච්චරද කිව්වොත් අපේ එෆ්.බී.අයි. ඩිරෙක්ටර්ම කෙළින්ම මේකට මැදිහත්වෙලයි ඉන්නේ. ලබන මාසේ දිහාට ඇබ්ස්කැම් එකට සම්බන්ධ ඔක්කෝම එෆ්.බී.අයි. නිලධාරීන් එක්ක කොන්ටිකෝවල ලොකු සාකච්ඡාවක් තියන්නත් ලෑස්ති කරල. දැන් තමයි කතාවේ හොඳම ටික.ඇබ්ස්කැම්වලට දෙන ප්‍රතිපාදන වැඩිකරන්න මේ සාකච්ඡාවේදි ලොක්කෝ තීරණය කරයි කියලා ගුඩ්ට ලොකු විශ්වාසයක් තියෙනවා . එහෙම වුණොත් ආයේ දෙකක් නැහැ එයා ඔයාගේ මාසේ පඩිය ඩොලර් තුන්දහකට නග්ගනවාමයි. ඒ විතරක් නෙවෙයි, ඔයාගේ වියදම්වලටත් අමතර දීමනාවක් දේවි.“

ඇන්තනි ඇමරොසෝ මෙන්ම ඔහුගේ කතාවත් වෙයින්බර්ග්ගේ හදවත පිනවීමට සමත්විය. ඩොලර් තුන්දාහක් යනු අතට දැනෙන තරමේ ගතමනාවකි. අනෙක මේ ඇමරොසෝ කියන හාදයා ද තමාට ගැලපෙන බව ඒ වන විටත් වෙයින්බර්ග්ට තේරුම් ගොස් තිබිණි. කිසිවකින් කලබලයට පත් නොවන සන්සුන් අයකු වූ ඇමරොසෝ ගින්නට වත්කරන දිය පහරක් මෙන් විය. වෙයින්බර්ග්ට ඔහු පෙණුනේ නිතරම සිය වල්ගය වනමින් ගොදුර වෙත පනින්නට මාන බලමින් සිටින පූස් නාම්බකු මෙනි. ඔහු නම්‍යශීලීය, එමෙන්ම එඩිතරය, කාර්යශූරය. ඇමරොසෝ සතු වැදගත්ම ගුණාංගය ලෙස වෙයින්බර්ග් දැක්කේ පාතාල බස්වහර හා ඉඟිවැකි ගැන තිබූ පෘථුල දැනුමයි. ඒ මදිවාට ඔහු හොඳින් ඇඳුම් ඇන්දේය. වෙයින්බර්ග්ගේ ගෞරවය දිනාගැනීමට ප්‍රමාණවත් වටිනාකමකින් යුතු සන්නාමයේ ඇඳුම් පැලඳුම් නිසා ඇමරෝසෝගේ ප්‍රතිරූපය වඩාත් ආකර්ශනීය විය.

පැයකට පමණ පසු හොලිඩේ ඉන් හෝටලයේ තැබෑරුමේදී වෙයින්බර්ග්ට ඇමරොසෝගේ ක්‍රියාකලාපය ගැනත් හොඳ අවබෝධයක් ලබාගැනීමට පළමු අවස්ථාව හිමිවිය. කවදත් ඕනෑම දෙයක් මොන යම් වෙට්ටුවක් දමා හෝ ලබාගැනීමට පසුබට නොවන රොසෙන්බර්ග්, සිය බීම විදුරුව තොලගාමින් කල්පනාවේ ගැලී සිටි ඇමරොසෝ වෙතට ළංකරනු වෙයින්බර්ග් බලා සිටියේ විමසිල්ලෙනි.

“හේයි ටෝනි ඔයා ඉංජිනේරුවෙක්ලු නේද? මොන ඉංජිනේරු විද්‍යාලයෙන්ද ඔයා පාස්වුණේ ?“ රොසෙන්බර්ග් විමසුවේ ඇමරොසෝව කතාවකට අල්ලා ගැනීමටය.

“තමුසේට ඒක වැඩක් නැහැනේ. “ සිය කල්පනාවලියට බාධා කිරීම ගැන උරණ වූ ඇමරොසෝ කඩාපනිද්දී රොසෙන්බර්ග් කාටත් නොදැනෙන සේ එතැනින් මාරුවූයේ ලැජ්ජාව වසන් කරගැනීමටය. ඇමරොසෝ යළිත් කල්පනා සයුරේ ගිලුණි.

පළුදු වූ ගර්වයට පැලැස්තර දමා ගැනීමට රොසෙන්බර්ග් පසුබා යද්දී, නගරාධිපති එරිචෙට්ටි සිටියේ මැකාති සමඟ දිවා භෝජනය ගනිමිනි. එරිචේට්ටි වටින් ගොඩින් යන්නේ නැතිව කෙළින්ම සිය අවශ්‍යතාව කියා දැම්මේය.

“මට අතරමැදියන්ට දෙන්න ඩොලර් විසිපන්දහක් ඉක්මණින්ම ඕනෑකරලා තියෙනවා. කැසිනෝ ලයිසන් එක ගන්න නම් අඩුම තරමේ ඩොලර් හාරලක්ෂයක්වත් ඒක පිටිපස්සේ ඉන්න කට්ටියට ඔය විදිහට දෙන්න වෙනවා. ලයිසන් එක හම්බවෙන එක ගැන කිසිම සැකයක් තියාගන්න එපා. මොකද වැඩේ කරගන්න ඕනෑකරන ඉත්තෝ ඔක්කොම ඉන්නේ මගේ අතේ. කැසිනෝ ලයිසන් පාස්කරන ආණ්ඩුවේ කැසිනෝ කොමිසමේ උප සභාපති කෙනත් මැක්ඩොනල්ඩුත් මගේ අතේ. කෙනත් මගේ අතේ කියන්නේ එයාගේ අතවැසියෝ වගේ ඉන්න කොමිසමේ ඉතුරු බලු කුක්කෝ තුන්දෙනාගේ ඡන්ද ටිකත් මගේ අතේ. අමතක කරන්න එපා, ඒ තුන්දෙනා අතර සභාපති ජෝසප් ලෝඩිත් ඉන්නවා. එතකොට කොමිසම මට විරුද්ධව යනවා නම් එහෙම කරන්න ඉතුරුවෙලා ඉන්නේ එක්කෙනයි. තනි ඡන්දෙකට කරන්න පුළුවන් දෙයක් නැහැ. “

එරිචෙට්ටිගේ කතාව සාවධානව අසා සිටි මැකාති ඊට කැමති බවක් ඇඟවීය.

“හොඳයි එහෙම නම්. ඔහේගේ ඉල්ලීම ගැන සලකලා බලන්න අපට පුළුවන් කියලා මම හිතනවා. හැබැයි මුලින්ම අබ්දුල්ට මේක ගැන හොඳ පැහැදිලි කිරීමක් කරන්න අපිට සිද්ධවෙනවා.“

“අපෝ ඕකත් දෙයක්ද ? මම කරන්නම්. අබ්දුල් මම හිතාගෙන ඉන්න විදිහේ කෙනෙක් නම් කොහොමටවත් මේ වගේ චාන්ස් එකක් අතඅරින එකක් නැහැ.“

එරිචෙට්ටි එදින සවස මෙම යෝජනාව වෙයින්බර්ග් හමුවේද ඉදිරිපත් කළේ තවත් වෙයින්බර්ග්ට කිසිසේත්ම එපා කීමට හැකියාවක් නැති සිත්ගන්නාසුලු බරසාර ගතමනා කිහිපයක්ද සමඟය. හොර තැන්පතු සහතික හා හොර මුදල් නෝට්ටුද ලබාදිය හැකි අලුත් මිතුරකු හඳුන්වාදීමට නගරාධිපතිවරයා පොරොන්දු විය.නගරාධිපතිවරයා ඒ කිසිවකට දෙවැනි නොවන අලුත්ම පුදුමයක් ගෙනාවේ ඊටත් පසුවය.

“ඔයාලාට හඳුන්වලා දෙන්න ඕන කෙනෙක් මට ඉන්නවා. ඇලෙක්සැන්ඩර් ෆෙයින්බර්ග් කියන්නේ නිකන්ම පෙරකදෝරුවෙක් නෙවෙයි. ඩෙලවෙයාර් තොටුපොළේ නීතිමය වැඩ භාරව ඉන්නේ එයා. නිව් ජර්සිවල ඉන්න ජ්‍යෙෂ්ඨම සෙනේට් සභික හැරිසන් විලියම්ස්ගේ දකුණු අතත් මිනිහා. දන්නවානේ විලියම්ස් සෙනේටර් කෙනෙක් විතරක් නෙවෙයි, සෙනේට් කම්කරු කමිටුවේත් සභාපති, ඒ වගේම මිනිහා සෙනේට් එකේ ඉන්න ලොකුම ඩිමොක්‍රටික් අත්තක්. මිනිහාත් අපේ සාක්කුවේ කියන්නේ ඉතින්...............“

එදින රාත්‍රියේ ඇට්ලන්ටා නුවර අබ්දුල් කණ්ඩායමෙන් ජෝන් ගුඩ්ට ලබාදුන් හදිසි දුරකතන ඇමතුම්වලින් ඉල්ලා සිටියේ පසුදින චෙරි හිල් වෙත ගොස් නීතිඥ ෆෙයින්බර්ග් හමුවීමට අවසර දෙන ලෙසයි. වහා අවසර ලැබිණි. ඇමරිකානු සෙනේට් මණ්ඩලයත් ඇබ්ස්කැම් දැලේ පැටලෙන්නේ එලෙසය.

අබ්දුල්ගේ කණ්ඩායම සමඟ චෙරිහිල්වලදී පැවති හමුවට හැත්තෑ එක් හැවිරිදි ෆෙයින්බර්ග් තවත් අමුත්තකුටද ආරාධනා කර තිබිණි. ඒ සෙනේට් සභික විලියම්ස්ගේ සමීප මිතුරකු වූ හෙන්රි විලියම්ස්ටය. (මේ දෙදෙනා නෑයන් නොවේ). තමන් සෙනේට් සභික විලියම්ස් සමඟ මෙන්ම ටයිටේනියම් පතලක කසළ බැහැර කිරීමේ කොන්ත්‍රාත්තුවක් බාරගෙන සිටි ජෝර්ජ් කැට්ස් සමඟද හවුලේ වැඩ කරන බව ෆෙයින්බර්ග් සහ විලියම්ස් පැහැදිලි කළෝය. ඔවුන්ට අවශ්‍යව තිබුණේ පතල අසල පිරිපහදු කම්හලක් ඉදිකිරීමට හා පතලේ ණය ගනුදෙනුවලින් නිදහස්වීමට අවශ්‍ය මුදල් අබ්දුල්ගෙන් ලබාගැනීමටය.

“ආණ්ඩුවට ඕනකරන ටයිටේනියම්වලින් භාගයකටත් වඩා එන්නේ මේ පතලෙන්. එයාලට අපි නැතුව බැහැ. මේ වැඩේ හරි ගියොත් මිලියන ගාණක් හොයාගන්න අපිට පුළුවන්.“

ෆෙයින්බර්ග් හා විලියම්ස් උත්සාහ කළේ කෙසේ හෝ අබ්දුල්ගේ පාර්ශ්වය මෙම ගනුදෙනුවට පොළඹවා ගැනීමටය. මැකාති ඇතුළු පිරිස පස්ස ගසන බව දුටු ෆෙයින්බර්ග් කතාවට තවත් පොහොර දැම්මේය.

“ඔයාලා මේ වැඩේට බැස්සොත් අබ්දුල්ව පෞද්ගලිකවම හම්බවෙලා ගනුදෙනු ගැන කතා කරගන්න අපේ සෙනේටර් කැමති වේවි. සෙනේටර්ට කියලා ලබන මාසේ දිහාවට ඒ වගේ හමුවක් දාගන්න අපිට පුළුවන්.“

“කිසි සැකයක් නැහැ අබ්දුල් ඔයාලගේ සෙනේටර්ව හම්බවෙන්න කැමති වේවි. එයා ඔයාලට උදව්කරන්නත් ඉදිරිපත් වෙන එක ෂුවර්, හැබැයි ඒ මේකන් එයාට හොඳ වාසියක් තියෙනවා කියලා ඔයාලට ඔප්පු කරන්න පුළුවන් නම් විතරයි.“ වෙයින්බර්ග් එලෙස කියද්දී මැකාති හිස වැනුවේ ඒ අනුමත කරන නියාවෙනි. වෙයින්බර්ග් අසලම සිටි නගරාධිපති එරිචෙට්ටි ඔහුට පමණක් ඇසෙන සේ වෙයින්බර්ග්ගේ කනට කර මුමුණන්නට විය.

“මේකට කොහොම හරි කට්ටිය කැමති කරවා ගන්න. මේ වැඩේ හරි ගියොත් සෙනේට්කාරයාත් එක්ක එකතුවෙලා කෝටි ගාණක් හොයාගන්න පුළුවන්. අපි ඔක්කොම ගොඩ.“

එදින හමුව අවසන් කර නිවෙස බලා යමින් සිටියදීත් වෙයින්බර්ග් සිටියේ ගැඹුරු කල්පනාවක නියැලෙමිනි. මැකාති සමඟ වැඩකිරීමට සිදුවීම ගැටලුවක් වුවද හේ ඇමරොසෝට මුලු හිතින් කැමතිව සිටියේය. හැකි හැම විටම මැකාති මඟහැර ඇමරොසෝ සමඟ පමණක් වැඩ කිරිමට හේ හිත හදාගත්තේය. පොරොන්දු වූ පරිදි තම පඩි වැඩිවීම පෙබරවාරි මාසයේදී සිදුවුවහොත් දිගටම ඇබ්ස්කැම් සමඟ රැඳී සිටිමටත්, මැකාති ඉවත්කරන ලෙස පුළුවන් තරම් ගුඩ්ට කරදර කිරීමටත් හේ ඉටාගත්තේය. මැකාති වැනි කිසිම රහක් නැති පුද්ගලයකු ඇබ්ස්කැම් වැනි සුවිශේෂි මෙහෙයුමකට සම්බන්ධ කර ගැනීමත් අපරාධයක් ලෙසයි වෙයින්බර්ග් සැලකුවේ. හොලිඩේ ඉන් හෝටලයේදි මැකාති සම්බන්ධයෙන් සිදුවූ තවත් උපහාසාත්මක සිදුවීමක් සිහිවීම නිසා ඔහුගේ දෙතොලට මදහසක් නැගුණේ ඉබේටමය.

රඟපෑම උපරිම සාර්ථකව කිරීමට අදිටන් කරගෙන සිටි මැකාති, තමා අබ්දුල්ගේ පෙම්වතිය, මාර්ගෝ ඩෙනෙඩි සමඟ පෙම් පලහිලව්වක ද පැටලී සිටින බවට නගරාධිපති සමඟ පුරාජේරු ගසා තිබුණි. එය ඇත්තක් ලෙස භාරගත් එරිචෙට්ටි හොලිඩේ ඉන් හෝටලයේ දෙදෙනාටම එකම කාමරයක් වෙන් කිරීමට තරම් කාරුණික වී ඇති බව දැනගත් විට මැකාතිට දෙලෝ රත්විය. නගරාධිපතිවරයා කුමක් සිතුවත් සුචරිතවාදී මැකාතිට කාන්තාවක සමඟ රැයක් ගතකිරිමට තරම් හයියක් ඇති බව රොසෙන්බර්ග්ට නම් විශ්වාසයට ගැනීම පහසු වුණේ නැත. ඇරත් මාර්ගෝ ඩෙනෙඩි වැනි සුරූපිණියක් වසඟයට ගැනීමට තරම් මුස්පේන්තුවකු වූ මැකාති දක්ෂ වූයේ කෙසේද ? මෙහි යම් රහසක් ඇති බැව් සැක කළ රොසෙන්බර්ග් කළේ, හෝටල් සේවිකාවක් ලවා මැකාති ගේ හා ඩෙනෙඩිගේ කාමරය පරීක්ෂාවට ලක් කිරීමයි. නිදාගත් බවට ලකුණු තිබුණේ එක් ඇඳක පමණක් බව රොසෙන්බර්ග් වෙයින්බර්ග්ට දැන්වූයේ මැඩගත නොහැකි විස්මයකිනි. නමුත් හෝටලයේ ගත කළ දින කිහිපයේදි රැය ගත කිරීමට මැකාති ඇමරොසොගේ කාමරයට ගිය බව රොසෙන්බර්ග් දැන සිටියේ නැත. සියලුදෙනාම නින්දට යන තෙක් ඩෙනෙඩිගේ කාමරයට වී අපහසු පැය කිහිපයක් කල් මරමින් සිට, හීන්සීරුවේ ඇමරොසෝගේ කාමරයට ගොස් නිදාගැනීමට මැකාතිට කිරීමට සිදුව තිබූ අරගලය සිහිවූ විට වෙයින්බර්ග්ට ඔහු ගැන අනුකම්පාවක් ඇති නොවුණාම නොවේ.

“මැකාති කවදාවත් හැදෙන මිනිහෙක් නෙවෙයි. මේ වගේ ඇණයකට මාත් අහුවුණානේ. “

නමුත් මැකාතිට වඩා කල්පනා කිරීමට බොහෝ දේවල් ඒ වන විට වෙයින්බර්ග්ට ඉතිරිව තිබිණි. එක්වරම ඇබ්ස්කැම් නව මානයන් කරා විහිදී තිබුණේ කවුරුත් නොසිතූ ලෙසය. නගරාධිපතිවරයෙක්, කැසිනෝ කොමිසමේ නිලධාරින්, පමණක් නොව ඇමරිකාවේම ප්‍රසිද්ධ සෙනේට් සභිකයෙක් පවා දැන් ඊට පැටලී සිටින අයුරු සිතනවිට පුදුම නොවී සිටිය හැක්කේ කෙසේද ? එදා හොලිඩේ ඉන් හෝටලයේ ජවනිකා පෙළ අවසන් කර නිවෙසට පැමිණි වෙයින්බර්ග් සිය බිරිය මාරි ඇමතුවේය.

“ඔයා දන්නවාද කෙල්ලේ, මේ වැඩේ දැන් එන්න එන්නම දරුණු වේගනයි එන්නේ. හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමේට තියේවි. අපිට තියෙන්නේ බලාගෙන ඉන්නයි. “

රොබට් ඩබ්. ග්‍රීන් විසින් රචනා කළ මෙල්වින් වෙයින්බර්ග්ගේ චරිතාපදානය ‘ස්ටිං මෑන්‘ කෘතියේ පරිවර්තනය
රුක්ලන්ති පෙරේරා

හෙට - පරම්පරා කිහිපයක් ගොඩයන සූත්තරයක්

නව අදහස දක්වන්න