රෝද හතරට බලපත්‍ර නොගෙන ජන විමුක්තිය උදෙසා කැපවුණා | දිනමිණ

රෝද හතරට බලපත්‍ර නොගෙන ජන විමුක්තිය උදෙසා කැපවුණා

රීඩ් ෂෙල්ටන් ප්‍රනාන්දු පිය උපහාර උළෙල

කුරුණෑගල කතෝලික පදවියේ ධර්මෝපදේශ, අධ්‍යාපන හා බයිබලීය අපෝස්තලික සේවා අධ්‍යක්ෂ, පදවි අපෝස්තලික සම්බන්ධීකාරක ලයනල් ප්‍රනාන්දු පියතුමා

“ලෝක ඉතිහාසයේ ඇතැම් දාර්ශනිකයෝ මනුෂ්‍යයා ගැන අදහස් ප්‍රකාශ කරනවා. මාක්ස්වාදයේ යුතෝපියා සංකල්පයක් ගැන කියැවෙනවා. ඒ කියන්නේ පරිපූර්ණ සමාජයක්. තවත් විදියකින් කියතොත් ලෝකය යහපත් ලෙස අලුතෙන් වෙනස් කරන දර්ශනයක්. අලුත් ලෝකයක් ගොඩනැගීමක්. මේ සංකල්පයේ කියවෙන අනෙක් දේ තමයි ඒ වෙනුවෙන් නොකඩවා අරගල කරන්න ඕනේ. ජීවිත කැප කරන්න ඕනේ. ජේසු තුමා මේ ලෝකයට ආවේ ඒ වෙනුවෙන්. ජේසු තුමා කටයුතු කළේ ඒ වෙනුවෙන්. එළිදරව්ව පොතේ සඳහන් වෙනවා කඳුළු පිස දැමූ අලුත් යුගයක් ගැන. රීඩ් ෂෙල්ටන් ප්‍රනාන්දු පියතුමා කටයුතු කළෙත් සිය ජීවිතයම කැප කළෙත් ඒ වෙනුවෙන්. එවැනි අයකුට උපහාර පිදීම අත්‍යවශ්‍ය කටයුත්තක්.”

ලයනල් ප්‍රනාන්දු පියතුමා මේ බව පැවසුවේ සමාජය හා සාමයික කේන්ද්‍රයේ රීඩ් ෂෙල්ටන් ප්‍රනාන්දු පියතුමා වෙනුවෙන් පැවති උපහාර උළෙලේදීය. කැලණිය විශ්වවිද්‍යාලයේ ක්‍රිස්තියානි සංස්කෘතිය අධ්‍යයනය අංශය සහ සමාජය හා සාමයික කේන්ද්‍රය මේ උපහාර උළෙල සංවිධාන කර තිබිණි. වැඩි දුරටත් කතා කළ උන්වහන්සේ මෙසේද කීහ.

රීඩ් පියතුමා මේ කටයුත්ත වෙනුවෙන් යොමු කිරීමට බලපෑ ප්‍රධාන සාධකයක් තිබුණා. ඒ තමයි ‍දෙවැනි වතිකාන මන්ත්‍රණ සභාව. මේ වතිකාන සම්මන්ත්‍රණයෙන් පසුව ඒ පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ කාර්යය පිළිබඳ කොළඹ අගරදගුරු නික්ලස් මාකස් හිමිපාණන් පදවි පියතුමන්ලා සමඟ සාකච්ඡා කළා. ඒ ගැන ජනතාව දැනුවත් කිරීමේ වගකීම බාරදුන් එක් පියතුමකු වූයේ රීඩ් පියතුමායි. මේ විදියට මන්ත්‍රණ සභාවේ බලපෑම දැනුණු ඇලෝෂියස් පීරිස් පියතුමා, මයිකල් රුද්‍රිගු පියතුමා, තිස්ස බාලසූරිය පියතුමා, සරත් ඉද්දමල්ගොඩ පියතුමා වැනි පියතුමන්ලා අතර රීඩ් පියතුමාත් ඉදිරියෙන්ම සිටිනවා. දේව රාජ්‍යයට යන මාර්ගයේ තියෙන බාධක දොරටු ඉවත් කරලා නව චින්තනයක් ඇති කිරීමට 23වැනි ජුවාම් පාප් තුමාට අවශ්‍ය වුණා. ඒ චින්තනය ඉදිරියට ගෙන මේ පියතුමන්ලා සිය ජීවිත කැප කළා. ඒ වෙනුවෙන් මේ තරුණ පියතුමන්ලාට අවශ්‍ය ශක්තිය ලැබුණේ දෙවැනි වතිකාන මන්ත්‍රණ සභාවෙනුයි.

රීඩ් පියතුමාට කැලණිය මීසම බාර දුන් විට එතුමා කුඩා කිතුනු සංඝ නිර්මාණය කිරීමේ කටයුත්තට අතගැසුවා. සතියකට වරක් පියතුමන්ලා මුණ ගැ‍සීමට තිබුණ ඉඩප්‍රස්ථාව දින හතටම විවෘත කළා. කිසිම දවසක රෝද හතරට ලයිෂන් ගත්තේ නෑ. මොකද එතුමාට ඕනේ වුණා දුප්පතුන් වෙනුවෙන් සාක්ෂි දරන්න. ඒ නිසා අල්පේච්ඡ ජීවිතයක් තෝරාගත් එතුමා මිනිසුන් වෙනුවෙන් සිය උපරිම කැපකිරීම කළා.

1977 මැතිවරණයේදී කැලණියේ ‍ජනතා අපේක්ෂකයන් සියලු දෙනා කැඳවූ පියතුමා ජනතාවට කියා සිටියා තමන්ට අවශ්‍ය මොනවාද යන්න ඔවුන්ට කියන ලෙසයි. මේ පිළිවෙතට ඇතැම් අපේක්ෂකයෙක් විරුද්ධ වුණත් එතුමා නියම ආකාරයෙන් දේශපාලනය තුළ ක්‍රියාකාරී වුණා. පක්ෂ බදා නොගත්තට දේශපාලන වගකීමෙන් එතුමා මිදුණේ නෑ. එතැනින් නොනැවතුණ රීඩ් පියතුමා ජාත්‍යන්තර කම්කරු ව්‍යාපාරය ලංකාවේ ගොඩනැගීමට කැප වුණා. ජන විමුක්ති පූජක සංඝය හරහා සෙසු පියතුමන්ලා සමඟ එක්වූ එතුමා නව දේශීය සභාවක් වෙනුවෙන් කළ කැපවීම ඉතා ඉහළයි. සැබැවින්ම එතුමාගේ සේවය මීසම් එඬේරික සේවයට එහා ගිය සේවයක්.

රීඩ් ෂෙල්ටන් පියතුමා කියන්නේ සභාව තුළම ඉඳගෙන අභියෝග බාර ගත්ත පියතුමෙක්. එතුමා වැල යන අතට මැස්ස ගැහුවේ නෑ. කතෝලික දේශපාලනය කියන්නේ පක්ෂවලට කොටු නොවුණු පැතුරුණු, ගැඹුරු එකක්. ඒ බව උන්වහන්සේ දැන සිටියා. උන්වහන්සේ කටයුතු කළේත් තවමත් කටයුතු කරන්නේත් ඒ දැනුවත්වීම අනුවයි. රීඩ් පියතුමා වත්මන් පූජක පැවිදි ගිහි සියලු දෙනාට මහත් ආදර්ශයක්.

මෙහිදී සමාජය හා සාමයික කේන්ද්‍රයේ අධ්‍යක්ෂ අශෝක් ස්ටීවන් පියතුමා සහ කැලණිය විශ්වවිද්‍යාලයේ ක්‍රිස්තියානි සංස්කෘතිය අධ්‍යයනය අංශයේ ආචාර්ය විජිත් රොහාන් මහතාද කතා කළහ. පියතුමා වෙනුවෙන් “දෙවන වතිකාන කතිකාවේ ලාංකේය සන්දර්භය” නමින් උපහාර ග්‍රන්ථයක්ද එළිදැක්විණි. මේ අවස්ථාවට පැවිදි පූජකවරුන්, පැවිදි සොහොයුරියන්, සිරිසුමන ගොඩගේ මහතා මෙන්ම බොදු කිතුනු සහෘද පිරිස් සහභාගී වී සිටියහ.

සුමේධා නවරත්න
ඡායාරූප- තුෂාර ප්‍රනාන්දු

නව අදහස දක්වන්න