ඉවසීමෙන් සහ බුද්ධියෙන් අභියෝග ජයගත් රනිල් | දිනමිණ

ඉවසීමෙන් සහ බුද්ධියෙන් අභියෝග ජයගත් රනිල්

පිරුණු කළේ දිය නොසැලේ. සියලු අභියෝගයන් හමුවේ නොසැලී සිට සිය බුද්ධියෙන් සහ ඉවසීමෙන් එම අභියෝග ජයගත්ත නායකයා ඔහුය. පස්වන වරටත් ශ්‍රී ලංකාවේ අගමැතිවරයා ලෙස ඊයේ (16) දිවුරුම් දුන් රනිල් වික්‍රමසිංහ මහතා පස් වතාවක් අගමැති ධුරයට පත් එකම ශ්‍රී ලාංකික දේශපාලනඥයා වන්නේය.

උගත්කමින් පරිපූර්ණ වැදගත් ප්‍රභූ පවුලකට අයත් වන රනිල් වික්‍රමසිංහ මහතා එම පරම්පරාවේ පස්වැනි අධිනීතිඥවරයා වන්නේය. එතුමාගේ සීයලා, මාමලා, බාප්පලා හා පියා ආදීහු අතිදක්ෂ නීතිඥවරුන් හා උගත්තු වෙති.

එතුමා ජාතිය නිදහස් කරගැනීමේ ජාතික සටන පණගැන් වූ ඩී. ආර්. විජයවර්ධනයන්ගේ මුණුබුරාය. එමෙන්ම බෞද්ධ ප්‍රබෝධයට මුල් වූ කැලණි මහා වෙහෙර වැඩි දියුණු කළ හෙලේනා විජයවර්ධනගේ මුණුබුරාය. නිදහස් ශ්‍රී ලංකාවේ ගොවි හා වාරිමාර්ග ව්‍යාපාරය දියුණු කළ ප්‍රථම සිංහල සිවිල් නිලධාරි එල්. ඒ. වික්‍රමසිංහගේ මුණුබුරාය. ජාතික හා ජාත්‍යන්තර මාධ්‍ය නිදහස රැකගත් එස්ඩ්මන් වික්‍රමසිංහගේ පුත්‍රයා එතුමාය.

රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ වජිරාරාම දහම් පාසලේ දහම් අධ්‍යාපනය ලබා කොළඹ රාජකීය විද්‍යාලයට ඇතුළත්ව සිංහල බසින් හා ඉංග්‍රීසි බසින් අධ්‍යාපනය ලබමින් විද්‍යාලයීය දස්කම් මත සහතික හා ත්‍යාග ලබාගනිමින් ලංකාවේ සහ ලන්ඩන් උසස් පෙළ විභාගවලින් උසස් ලෙස සමත්ව කොළඹ විශ්වවිද්‍යාලයේ නීති උපාධිය ලබාගත්තේය.

1971 දී නීතිඥ විභාගයෙන් සමත්ව අධිනීතිඥවරයකු ලෙස දිවුරුම් දී නීතිඥ ක්ෂේත්‍රයේ ඉහළම තලයට පිවිසි වික්‍රමසිංහ මහතා, දේශපාලනයට පිවිසියේ පියාගේ මවගේ ඇවෑමෙන් ලද බූදලයක් ලෙස හෝ අහසින් කඩා වැටුණු අයකු ලෙස නොවේ. 1970 ජාතික සේවක සංගමය ප්‍රතිසංවිධානය කරමින් 1976 දී එජාපයේ නීතිඥ සංගමය ඇරඹූ අතර 1972 දී එජාප තරුණ පෙරමුණේ භාණ්ඩාගාරිකවරයා වශයෙන්ද 1994 සමවාදී ශිෂ්‍ය පෙරමුණ බිහිකරමින්ද අධ්‍යාපන සේවක සංගමය නගාසිටුවමින්ද 1976 දී දකුණු කොළඹ අතුරු මැතිවරණයේ ව්‍යාපාරයේ ලේකම් වශයෙන්ද, 1970 දී දේශපාලන බැට කෑ වූවන්ගේ සංගමය පිහිටුවීමට හේ දායක විය.

1976 දී කැලණිය ආසන සංවිධායකවරයා වූ වික්‍රමසිංහ මහතා 1977 බියගම සංවිධායකවරයා වශයෙන් මහ මැතිවරණයට ඉදිරිපත්ව වැඩි ඡන්ද 6276 ලබා ජයග්‍රහණය කළේය.

1977 ජූලි හතරවැනිදා ජේ. ආර්. ජයවර්ධන නායකතුමාගේ ප්‍රධානත්වයෙන් බියගම ගෝනවල නාගහමුලදී පැවති මැතිවරණ ප්‍රකාශන රැලියේදී හා හා පුරා බියගම ජනතාව අමතා කතා කරමින් ඔහු කියා සිටියේ මාගේ සීයලාත් තාත්තාත් මමත් ඉගෙනගත්තේ රාජකීය විද්‍යාලයේ. අපේ විද්‍යාලයේ ආදර්ශ පාඨය තමයි “කරන දේ හරියට කරන්න නොහැකි නම් ඉවත් වන්න” යන්න. (DISCE AUT DISCEDE) මමත් මේ බියගමට හරියට වැඩ කරනවා. බැරිනම් යනවා. මා එක්ක තරග කරන අපේක්ෂකයන් ඔක්කොටම කරන්න පුළුවන් දේවල් මටත් කරන්න පුළුවන්. ඔවුන්ට බැරි වැඩත් මට කරන්න පුළුවන් යනුවෙන් ප්‍රකාශ කළේය.

ඔහු කී ලෙසම පුරා අවුරුදු 15 කට අධික කාලයක් බියගමට මහා සංවර්ධනයක් බිහිකළේය. ග්‍රාමීය ප්‍රදේශයක් වූ බියගම වාණිජ නගරයක් බවට පත්කරමින් වෙළෙඳ කලාප, නව මංමාවත්, පාසල්, විදුලිය, ජලය, සෞඛ්‍ය ආදී සියලු ක්ෂේත්‍රවල පහසුකම් ඇති කළේය.

පක්ෂය තුළ බොහෝ තනතුරුවල කටයුතු කරමින් ලබාගත් පන්නරය මත ඔහු නායකයා ලෙස පක්ෂය මෙහෙයවමින් සිටියි.

ඔහු පක්ෂ නායකත්වයට පත්වනවිට පක්ෂය මහ මැතිවරණයකින් හා ජනාධිපතිවරණයකින් එකවිට පරාජය වී සිටි අතර එජාපය ජයග්‍රහණය කර තිබුණේ මහියංගණය කොට්ඨාසය පමණි. එජාපය ගොඩනැඟීමේ බැරෑරුම් කටයුත්ත ඔහු මහා සංයමයකින් යුතුව බුද්ධිය මෙහෙයවා ඉටුකළේය.

රනිල් යනු පරාජිතයකු නොවේ. ඔහු 1994 දී එක්සත් ජාතික පක්ෂය නායකත්වය ලබාගත්තේ අසීරු අවදියකදීය. දකුණේ ත්‍රස්තවාදීන් විසින් නන්දලාල් ප්‍රනාන්දු, හර්ෂ අ‍ෙබ්වර්ධන, රන්ජන් විජේරත්න, ලයනල් ජයතිලක වැනි පක්ෂයේ ප්‍රබලයින් හා සියලු තරාතිරමේ පක්ෂ සංවිධායකයින් රාශියක් ඝාතනය කර තිබිණ.

එමෙන්ම උතුරේ ත්‍රස්තවාදීන් විසින් ආර්. ප්‍රේමදාස, ගාමිණී දිසානායක, ලලිත් ඇතුලත්මුදලි වැනි ප්‍රධාන නායකයන් ඝාතනය කොට තිබිණි.

දැවැන්ත පක්ෂයක්ව තිබූ එජාපය මහා විපතකට පත්ව තිබියදී එහි නායකත්වය ලබාගන්නා විට අවුරුදු 17 ක් බලයේ සිටීම නිසා නොයෙක් අඩුපාඩු හා වැරදි පිළිබඳ චෝදනා පක්ෂය වෙත එල්ල වී තිබූ මොහොතක ඒ සියලු දේටම මුහුණදීමට රනිල් වික්‍රමසිංහ මහතාට සිදුවිය.

සියලු දුෂ්කරතා මැද 2001 දෙසැම්බර් 05 දින පැවැති මහ මැතිවරණය දුග්ගිනි නැති රටක් - යුද ගිනි නැති හෙටක් යන තේමාව යටතේ මෙහෙයවමින් ආසන සංවිධායකයින් දිරිගන්වා ආසන කළමනාකරණ සේවය හා නානාවිද නවතම ක්‍රමෝපායන් මෙහෙයවමින් ජයග්‍රහණය අත්කරගත්තේය. පක්ෂය භාරගන්නාවිට ලක්ෂ 27 කට වැටී තිබූ ඡන්ද පදනම මැතිවරණයේදී ලක්ෂ 47 දක්වා පෙරට ගෙන ඡන්ද ලක්ෂ 20 කින් පක්ෂය වර්ධනය කළේය. ඒ අනුව බලන කල්හි කෙටි කාලයක් ඇතුළත පක්ෂය තුළ මෙවන් ආශ්චර්යක් කළ නායකයකු නැති තරම්ය.

පක්ෂයට කළ සේවය පරිත්‍යාගය මත බොහෝ කාලයක් පක්ෂයේ නායකත්වයට පාර්ලිමේන්තුව තුළ දැනුම් හා පළපුරුද්ද මත ව්‍යවස්ථා දායකත්වය රැකගැනීමටද මහජන මතයට ගරු කරමින් අඛණ්ඩව වසර 44 ක් පුරා පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට හැකි වූයේ ඔහු කෙරෙහි ඇති මහජන ආකර්ෂණය හසල දැනීමෙන් යුතු බුද්ධිමත්භාවය වැනි ගුණාංග නිසාය.

රනිල් වික්‍රමසිංහ මහතා නිතර පොත්පත් කියවන ලෝකයේ දේශපාලන සිදුවීම් පිළිබඳ පර්යේෂණ මට්ටමේ සොයා බැලීම් කරන දැනුම් සම්භාරයක් ඇති නායකයෙකි. බුද්ධ ධර්මයට අදාළ පොත්පත් කියවීමෙන් දාර්ශනික දැනුමද, සමයාන්තර දහම් පිළිබඳ අවබෝධයද ලබමින් ආගමික සංකල්ප තුළ මනස මෙහෙයවන නායකයෙකි.

රාජ්‍ය පාලනයට අවශ්‍ය බුද්ධිය මෙහෙයවන ඔහු පුහු ආටෝපයෙන් රඟපාන බෞද්ධයකු නොවේ. නිවැරදි බව, මධ්‍යම පිළිවෙත, ඉවසීම, ප්‍රගුණ කළ කිසිවෙකුටවත් ඊර්ෂ්‍යා නොකරන, ක්‍රෝධ නොකරන, පසුතැවීමට කම්පාවට පත් නොවන අයෙකි.

බෞද්ධ ඡන්ද පදනම රැකගැනීම සඳහා ඇතැමෙක් පන්සල් ගානේ මුදල් බෙදමින්ද පූජා පවත්වමින්ද වන්දනා කරද්දී වික්‍රමසිංහ මහතා කියා සිටියේ මම තෙම්පරාදු බෞද්ධයකු නොවන බවයි.

දිවයිනේ නොයෙකුත් වෙහෙර විහාරවලට ආධාර උපකාර කරන අතරතුර තමාගේ හා පරම්පරාවේ පරිත්‍යාග මත ගොඩනැඟුණු විහාරස්ථාන වන කැලණිය රජමහා විහාරය, කොළඹ ගංගාරාම විහාරය, සේදවත්තේ වෙහෙරගොඩ විහාරය ආදිය දියුණු කරමින් රැකබලා ගන්නා අතර බෞද්ධ දර්ශනය පිළිබඳ තමාගේ උගත්කම විදහාදක්වන පොත් කීපයක්ද ලියා පළ කිරීමට රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කොට ඇත.

ඒ මහතා ආගම්වාදය, ජාතිවාදය හෝ කුලවාදය තුට්ටුවකටවත් ගණන් නොගත් අයෙකි.

වික්‍රමසිංහ මහතා ඕනෑම අභියෝගයකට මුහුණදීමේ මනා හැකියාවක් හා නොසැලී සිටින ශක්තියක් ඇති නායකයෙකි.

පක්ෂයේ බො‍හෝදෙනකුට, අමනාපකම් සහ අඩුපාඩු සිදුවීම නිසා රාජ්‍ය නායකයා පලවා හැරිය යුතු යැයි සලකා 1991 අගෝස්තු 28 වැනිදා ආර්. ප්‍රේමදාස ජනාධිපතිවරයා වෙත ඉදිරිපත්වූ දෝෂාභියෝගයේදී ඔහු බේරාගත්තේ විරුද්ධවාදීන්ගේ කිසිඳු වහසිබසකට අවනත නොවී පක්ෂයත්, නායකයාත් රැකගැනීමේ, උදාරතර චේතනාව පමණක් මුල්කරගත් නිසාය.

ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදය රකින සියලුම රටවල් සමඟ සුහද බව දිනාගත් නායකයකු වන රනිල් වික්‍රමසිංහ මහතා ජාත්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදී සමුළුවේ උප සභාපතිවරයා ද, ආසියාතික රටවල සමුළුවේ සභාපතිවරයා ද වන්නේය.

එතුමා විවිධ ජාතීන් අතර විවිධ රාජ්‍යයන් අතර සබඳකම් පවත්වන කීර්තිමත් උගතුන් තම පක්ෂය වටා ඒකරාශී කර ගැනීමේ හැකියාව ඇති සුහදත්වය මැනවින් අගය කරන අපූරු මිනිසෙකි.

ඔක්තෝම්බර් 26 වෙනිදා තමන්ට ප්‍රජාතන්ත්‍රවාදීව හිමිව තිබූ අග්‍රාමාත්‍ය ධුර‍යෙන් බලෙන් ඉවත් කළ පසු තමාගේ දැන උගත්කම හා පළපුරුද්ද මත එය තමාට හිමි බව සලකා ජනතාව සමඟ නිහඬව සටනක යෙදුනේ අප්‍රතිහත ධෛර්යක් ඇති නිසාවෙනි. පුරා දින 48ක් තිස්සේ අරලියගහ මන්දිරයට වී තම පාක්ෂිකයන් සමඟ දිවා රෑ නොබලා කටයුතු කිරීමෙන් තම අයිතීන් රැකගැනීමට වූ නොපසුබට උත්සාහය වික්‍රමසිංහ මහතා පිළිබිඹු කරමින් අභියෝග සියල්ල ජයගෙන 2018 දෙසැම්බර් මස 16 වැනිදා යළි අගමැති පදවි‍ෙය් දිවුරුම් දුන්නේය.

නව අදහස දක්වන්න