ජනාධිපති රන් කුසලාන වොලිබෝල් | දිනමිණ

ජනාධිපති රන් කුසලාන වොලිබෝල්

නිරෝෂාන් ප්‍රියංකර
වොලිබෝල් සම්මේලනයේ සභාපති රංජිත් සියඹලාපිටිය මහතා අතින් සියනෑතරු පිලට ජනාධිපති කුසලානය ලබාගත් අයුරු. ඩයලොග් ආසියාටා සමාගමේ සමූහ ප්‍රධාන අලෙවි නිලධාරිනී අමලි නානායක්කාර, එම සමාගමේ සාමාන්‍යාධිකාරී (සන්නාම හා මාධ්‍ය) හර්ෂ සමරනායක, වොලිබෝල් සම්මේලනයේ ප්‍රධාන ලේකම් නාලක ශාන්තසිරි මහත්ම මහත්මිහුද මෙහි වෙති. (වමේ) සහ කාන්තා ශූරතා කුසලානය කැෂුවල් පිලට

ශූරතාව ගම්පහ සියනෑතරුට ශූරියෝ කුරුණෑගලින්

ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය ඩයලොග් ආසිආටා සමාගමේ අනුග්‍රහයෙන් සංවිධාන කළ ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලියේ විවෘත අංශයේ පිරිමි ශූරතාව දිනාගැනීමට ගම්පහ සියනෑ තරු ක්‍රීඩා සමාජය සමත්වූ අතර කුරුණෑගල කැෂුවල් ක්‍රීඩා සමාජය නිතරගයෙන්ම කාන්තා ශූරතාවට හිමිකම් කීය.

සියනෑතරු ක්‍රීඩා සමාජය මේ ශූරතාව දිනාගත් 6 වැනි අවස්ථාව මෙය විය.

මහරගම ජාතික තරුණ සේවා සභා ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවැති තරගාවලියේ විවෘත අංශයේ පිරිමි අවසන් තරගයේදී කොළඹ බලරැස් ක්‍රීඩා සමාජය වට 3-0කින් පරාජයට පත්විය. තරගයේ ලකුණු තත්ත්වය වූයේ 25-21, 25-20 සහ 25-18කි. තරගාවලියේ තෙවැනි ස්ථානය දෙබෑගම රන්තුරු ක්‍රීඩා සමාජය පරාජය කළ ආනමඩුව රමීස් ට්‍රැවල්ස් ක්‍රීඩා සමාජයට හිමිවිය.

විවෘත අංශයේ කාන්තා අවසන් තරගයට කුරුණෑගල කැෂුවල් පිල සමගින් කොස්වාඩිය විජය ක්‍රීඩා සමාජය සුදුසුකම් ලබාගත් අතර විජය ක්‍රීඩා සමාජය අවසන් තරගයට සහභාගි නොවීම හේතුවෙන් කැෂුවල් පිලට නිතර ජය හිමිවිය. මේ නිසා මේ අංශයේ දක්ෂතම ක්‍රීඩිකාවන්ද තේරීම සිදු නොකිරිණි.

අවුරුදු 22න් පහළ කාණ්ඩයේ පිරිමි ශූරතාව රුවන්වැල්ල රාජසිංහ ක්‍රීඩා සමාජය 3-0කින් (25-21, 31-29 සහ 25-22) පරාජය කළ නාත්තන්ඩිය ධම්මිසර පිල දිනාගත් අතර මහඋස්වැව රතනපාල ක්‍රීඩිකාවෝ ලකුණු 25-17ක්, 25-10ක් සහ 25-19ක් ලෙස (වට 3-0) පරාජය කරමින් අවුරුදු 22න් පහළ කාන්තා ශූරතාව දිනා ගැනීමට කෑගල්ල ඇලමෝනා ක්‍රීඩිකාවෝ සමත් වුහ.

සියනෑතරු ක්‍රීඩා සමාජයේ ජනිත් සුරත් තරගාවලියේ වටිනාම ක්‍රීඩකයා ලෙස සම්මාන දිනා ගත්තේය. ඔහු පසුගිය වසරේදීත් මේ තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස සම්මාන දිනාගත් අතර ඔහු එවර ශූරතාව දිනාගත් කටාන ඒකාබද්ධ ක්‍රීඩා සමාජය නියෝජනය කළේය.

ධම්මිස්සර ක්‍රීඩා සමාජයේ මහේල ඉන්දීවර සහ ඇලමෝනා ක්‍රීඩා සමාජයේ සෙව්වන්දි ගුණවර්ධන අවුරුදු 22න් පහළ දක්ෂතම ක්‍රීඩකයා හා ක්‍රීඩිකාව ලෙස සම්මාන දිනා ගත්හ.

තරගාවලියේ ජය සංකේත ප්‍රධාන වොලිබෝල් සම්මේලනයේ සභාපති රංජිත් සියඹලාපිටිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

තරගාවලියේ දක්ෂතම ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙසේය.

විවෘත පිරිමි

දක්ෂතම පන්දු පිරිනමන්නා -

මලිත් දිනිඳු (සියනෑතරු)

දක්ෂතම පන්දු ලබාගන්නා -

තරිඳු ශානක (බලරැස්)

දක්ෂතම පන්දු සකසන්නා -

මොරිස් චමින්ද (සියනෑතරු)

දක්ෂතම ප්‍රහාරකයා -

දීප්ති රොමේෂ් (සියනෑතරු)

දක්ෂතම පන්දු වළක්වන්නා -

මහේෂ් දිල්ෂාන් (සියනෑතරු ක්‍රීඩා සමාජය)

දක්ෂතම ආරක්ෂාකයා -

නුවන් චාමික (සියනෑතරු)

වටිනාම ක්‍රීඩකයා -

ජනිත සුරත් (සියනෑතරු)

අවුරුදු 22 න් පහළ - පිරිමි

දක්ෂතම පන්දු සකසන්නා -

අවිෂ්ක කෞෂල්‍ය (ධම්මිස්සර)

දක්ෂතම ප්‍රහාරකයා -

කේ.බී.ඩී. ජයරත්න (රාජසිංහ)

දක්ෂතම ක්‍රීඩකයා -

මහේල ඉන්දීවර (ධම්මිස්සර)

අවුරුදු 22 න් පහළ - කාන්තා

දක්ෂතම පන්දු සකසන්නිය -

සුනේත්‍රා විජේසිංහ (ඇලමෝනා)

දක්ෂතම ප්‍රහාරිකාව -

දිල්රුක්ෂි සේනාරත්න (ඇලමෝනා)

දක්ෂතම ක්‍රීඩිකාව -

නිමේෂික ගුණවර්ධන (ඇලමෝනා)

 

නව අදහස දක්වන්න