හෙට මම හිනැහෙමි | දිනමිණ

හෙට මම හිනැහෙමි

ෆවුස් මොහොමඩ්

‘සියල්ල අහිමිවුණු වටපිටාවක ධනාත්මකව හිතන්න මට සිද්ධවුණා. ඇවිදින්න බැරිව අසරණ වුණාම කවුරුත් හිතන්නේ දැන් ඉතිං ජිවත්වෙලා මොකටද කියලයි. ඒත් ඉන් එහා ජීවිතය කොයිතරම් පුදුමාකාර විදිහට ලස්සන කරගන්න පුළුවන්ද කියලා කවුරුවත් හිතන්නෙ නෑ.’ ‘මගේ අරමුණ ඒමෝස්ගේ මනාලිය වීම විතරක්ම නෙවෙයි. මට ඕන කරන්නේ මං වාගේම අසරණ වුණු අනිත් අයටත් ජීවිතය දිනන්න පුළුවන් කියලා කියාදෙන්නයි. එයාලටත් දිරියක් වෙන්නයි.’

‘ශක්තිය පමණක් ඉතිරි කර අන් සියල්ල අහිමිව යනතුරු ඔබ කෙතරම් ශක්තිමත්දැයි ඔබට වැටහෙන්නේ නැත. සෑම උදෑසනකදීම ඔබට අවදිවන්නට සිදුවන්නේ දෛවයට එරෙහිව සටන් කිරීමට හා පසු නොබැසීමට තරම් සිත ශක්තිමත් කරගෙනය. ඔබ නිතරම සිහිපත් කළ යුතු කරුණ වන්නේ ඔබට වඩා දුෂ්කර ජිවිතයක් ගත කරන පුද්ගලයකු ලොව කොතැනක හෝ ජිවත්වන බවය.’

ජීවත්වීමට හේතුවක් තිබිය යුතුමය. බලාපොරොත්තු බිඳ වැටුණු තැන ජිවිතය ගැන ආශාව සිතින් පලා යන බැවින් අප හැමෝම ජීවත් වන්නේ බලාපොරොත්තුවලින් සිත පුරවාගෙනය. කවුරුත් දන්නා ‘ගෝල්’ ඉංග්‍රිසි වදන අරමුණ, අභිමතාර්ථය, බලාපොරොත්තුව, දිනුම් කණුව, කෙළවර යනුවෙන් විවිධාකරයෙන් නිර්වචනය වුවත් පාපන්දු, හොකී, නෙට්බෝල් වැනි ක්‍රීඩාවලදී දැල අතරට පන්දුව යොමු කරමින් ලබාගන්නා ජයග්‍රහණය තරම් ගෝල් වදන අර්ථ ගැන්වෙන තවත් ප්‍රබල අවස්ථාවක් නැති තරම්ය. එවැනි මොහොතක සිතට දැනෙන සතුට හා තෘප්තිය වචනවලට පෙරළා ලබාගත නොහැකි තරම් සුන්දරය. විශාලය.

එසේ නම් ජීවත්වීමට තිබිය යුතු වන්නේ ද එවැනිම ගෝල් එකකි. අමෙරිකාවේ ජෝර්ජියා ප්‍රාන්තයේ 22 හැවිරිදි ඇලී පූල්ටත් ඇත්තේ ද එවැනිම ගෝල් එකකි. එහෙත් දිනුම් කණුව වෙත යාමට ඇලීට ඉතිරිව තිබුණේ ඇගේ ශක්තිය පමණි. අන්තිමේදී ජීවිතයට කිසිදු අයුරක පැහැයක් දකින්නටවත් නොතිබුණු පසුබිමක වුවත් මේ දිරිය යුවතිය හරි අපූරුවට ඇගේ ජිවිතය පැහැපත් කරගැනීමට සමත්වූවාය.

‘හැම කෙල්ලෙක්ම දකින අන්තිම හීනය මනමාලියක් වීමයි. ඒක තමයි පස්සේ දවසක බිරිඳක්, අම්මා කෙනෙක්, මිත්තණියක් වෙන්න කළින් ඕනෑම කාන්තාවක් ගැහැනු ළමයෙක් හැටියට දකින අන්තිම හීනය. කවුරුත් බලා ඉන්දැද්දී උජාරුවෙන් යුතුව පෝරුව වෙතට ඇවිද යාම, මුහුණ වැසී ගිය වේල්පොට අතරින් මනාලයා දෙස හොරැහින් බැලීම, මෙන්න මේවා තමයි මගෙත් හීනය වෙලා තිබුණේ. මගේ තත්ත්වයෙන් පසුවන මේ ලෝකේ ඕනෑම ගැහැනු ළමයකුට ඒ හීනය හැබෑ කරගන්න පුළුවන් කියලා ඔප්පු කරලා පෙන්වන්න තමයි මට ඕන කළේ.’

මීට වසර තුනකට පෙර ජෝර්ජියා හීදි සිය මෝටර් රථය තැති ගැන්වෙන සුලු මාරක රිය අනතුරකට මුහුණ දී අඩි 70ක් දුරට විසිවී ගියදා සිට ඇලීට ඇවිදීමට සිදුවී ඇත්තේ රෝද පුටුවකිනි. සිරුරේ අභ්‍යන්තර තුවාල රැසක් සමග කොඳුඇට පෙළ පිපිරී ගිය ඒ රිය අනතුර අන්තිමේදී මේ සුරූපි යුවතියගේ සිරුර ඉනෙන් පහළ අප්‍රාණික කර ඇගේ සුන්දර ජීවිතය එහෙම පිටින්ම රෝද පුටුවකට සීමා කර තිබිණි.

එය සිදුවූයේ 2015 ජනවාරියේ ඇය සිය සුරතල් බල්ලා ‘ලිලී’ සමග ඇගේ මෝටර් රථයෙන් ගමන් කරමින් සිටියදීය. එකවරමට ඇගේ ඉදිරියට වේගයෙන් ඇදී ආවේ විශාල ට්‍රක් රථයකි. ඇයට මතක එපමණි.

‘මට මතකයි කවුදෝ කෑගැහුවා මොනවහරි කියන්න එතකොට අපි දන්නවා ඔයා තාම ජීවත් වෙනවා කියලා, අනේ උදව් කරන්න.මං කෙඳිරිගාමින් එහෙම කිව්වා. ඊට පස්සේ මට සිහිය නැතිවුණා.’

දින තුනකට පසුව ඇය නැවත ප්‍රකෘති තත්ත්වය පැමිණෙද්දී සිටියේ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ඇඳක් මතය.

‘මට හුස්ම ගන්න උපකරණයක් සවි කරලයි තිබුණේ. කතා කරන්න බෑ. හෙල්ලෙන්න බෑ. මට මුකුත්ම කරගන්න බැරි තත්ත්වයකයි හිටියේ. මම ඇයි මෙතැන ඉන්නේ. ඇයි මගේ උගුරට බටයක් දාලා තියෙන්නේ. මට ඇයි හෙල්ලෙන්න බැරි..මෙන්න මේ දේවල් ගැන හරියටම තේරුම් ගන්න මට දවසක් විතර ගියා. ඒ වෙද්දී මගේ කකුල් දෙක හොල්ලන්න බැරිවයි තිබුණේ. ඒත් මං ඒ ගැන හොයන්න ගියේ නෑ.’

රිය අනතුර නිසා ඇගේ ගෙලෙහි අස්ථි බිඳී ගිය අතර පෙණහැල්ල දැඩි ලෙස තුවාල වී තිබිණි. ආමාශය තැනින් තැන ඉරී තිබීමත්, අභ්‍යන්තර ලේ වහනය ඉතා බරපතළ අයුරින් සිදුවී තිබිමත් නිසා ඇගේ ජීවිතය ඉතා අවදානම් තත්ත්වයකට ඇද වැටුණේය. ඒ සියල්ලටම වඩා ඇගේ කොඳුඇට පෙළ දරුණු ලෙස පිපිරී බිඳී ගොස් තිබිණි.

එබැවින් සති ගණනාවක් රෝහල්ගතව සිටි ඇලීට සැත්කම් 6කට මුහුණදීමට සිදුවිය. ජිවිත කාලය පුරාම රෝද පුටුවකින් ගමන් කරන්නට සිදුවන බව ඇයට රෝහලේ වෛද්‍යවරු කීවේ දින ගණනාවකට පසුවය. රෝහලෙන් පිටව ගියත් මාස 6ක් පමණ වනතුරු ඇයට සායනික ප්‍රතිකාර ලබාගැනීමට සිදුවිය.

පවුලේ සාමාජිකයන්ගේ සහ ඇගේ පෙම්වතා ඒමොස්ගේ දිරිගැන්වීම නොලැබූවේ නම් ඇතැම් විට ඇලීගේ ජීවිතය මීට වඩා නරක තත්ත්වයකට හැරෙන්නට ඉඩ තිබිණි. සිය සිරුර සහ මාංශපේශින් ශක්තිමත් කරගැනීමට ඇය දැන් සතියකට වරක් භෞතචිකිත්සකවේදියකුගේ සහය ලබාගනී. ඇවිදින්නට නම් මනසත්, සිරුරත් එකලෙස ශක්තිමත් වියයුතු බව ඇය දැන් දනී. ඇය දකින එකම සිහිනය පෙම්වතාගේ අත අල්ලාගෙන පල්ලියේ අසුන් පෙළ මැදින් අල්තාරය වෙත ඇවිද යන අයුරුය.

‘මගේ පෙම්වතාගේ උදව් මට ලෝකයක් තරම් වටිනවා. ගොඩාක් මිනිස්සු එයාලා ආදරය කරන අය කරදරයකට වැටුණාම දාලා යනවා. විශේෂයෙන් මං වගේ ඉනෙන් පහළ අප්‍රාණිකව ජීවිත කාලයම රෝද පුටුවේ ගත කරන්නට සිදුවී ඇති කෙල්ලෙක් කසාද බඳින්න කවුද කැමැති..? දාලා යනවා මිස..ඒත් ඒමෝස් තවමත් මගේ ළඟ හෙවණැල්ලක් වගේ ඉන්නවා. එයා නිසා මම මානසිකව ශක්තිමත් වුණා. ශාරිරිකව, සිතුම් පැතුම්වලින් ශක්තිමත් වුණා.’ ඇලී එසේ කියන්නීය.

‘සියල්ල අහිමිවුණු වටපිටාවක ධනාත්මකව හිතන්න මට සිද්ධවුණා. ඇවිදින්න බැරිව අසරණ වුණාම කවුරුත් හිතන්නේ දැන් ඉතිං ජිවත්වෙලා මොකටද කියලයි. ඒත් ඉන් එහා ජීවිතය කොයිතරම් පුදුමාකාර විදිහට ලස්සන කරගන්න පුළුවන්ද කියලා කවුරුවත් හිතන්නෙ නෑ.’

‘මගේ අරමුණ ඒමෝස්ගේ මනාලිය වීම විතරක්ම නෙවෙයි. මට ඕන කරන්නේ මං වාගේම අසරණ වුණු අනිත් අයටත් ජීවිතය දිනන්න පුළුවන් කියලා කියාදෙන්නයි. එයාලටත් දිරියක් වෙන්නයි.’

‘මුලදි මට හිතුණේ විවාහ වන දවසට ඇවිදගෙන යන්න විතරක් තිබුණොත් ඇති කියලයි. ඒත් දැන් මට හිතෙන්නේ එක් පුංචි ගෝල් එකක් කියලයි. ලොකුම ගෝල් එක මේ වගේ අසරණ වුණු අනිත් අයට දිරියක් වෙන්න ලැබීමයි.’

රිය අනතුරින් දින කිහිපයකට පසුව ඇලීගේ සුරතල් ලිලී බලුපැටවා බියපත්ව ඒ ස්ථානය අසළ කුකුල් කූඩුවක සැඟවී සිටියදී සොයාගෙන තිබිණි. ඒත් අවාසනාවන්ත කරුණ වන්නේ ඇය මේ ඉරණමට ඇද දැමූ ට්‍රක් රථ රියැදුරා මෙතෙක් හඳුනා ගැනීමට පොලීසියට නොහැකි වීමය.

ජීවිතය දිනන්න ශරිර අවයව අංග සම්පූර්ණව තිබීම පමණක් ප්‍රමාණවත් නොවන බව ඔබ අවබෝධ කරගත යුතුය.


නව අදහස දක්වන්න