බුද්ධිය වෙනුවට ගුස්තිය | දිනමිණ

බුද්ධිය වෙනුවට ගුස්තිය

රෝහණ හෙට්ටිආරච්චි විධායක අධ්‍යක්ෂ පැෆරල් සංවිධානය කැඳවුම්කරු මාර්තු 12 ව්‍යාපාරය

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පත්වන්නේ මහජන ඡන්දයෙනි. ඔවුන් සෑමවිටම ජනතාවට වගකිවයුතුය. මේ වනවිට පාර්ලිමේන්තුවේ උද්ගතව ඇති තත්ත්වය දෙස බැලීමේදී මහජන නියෝජිතයන් ජනතාවට වගකියන බවක් නොපෙනේ. ඔවුහු දැඩි බල අරගලයක නිරතව සිටිති.

පාර්ලිමේන්තුව යනු රටේ නීති සම්පාදනය කරන කේන්ද්‍රස්ථානයයි. රටේ විනය, පරීක්ෂණය, ඇතිවන්නේ පාර්ලිමේන්තුව හරහාය. ආර්ථිකය, දේශපාලනය, අධ්‍යාපනය, සෞඛ්‍ය, ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් රටේ අනාගත දිශානතිය පිළිබඳ ප්‍රතිපත්ති සම්පාදනය කරනුයේ ද පාර්ලිමේන්තුවෙනි. රටේ මූල්‍ය පරිපාලනයද පාර්ලිමේන්තුව සතුය. මෙවැනි තැනකට නියෝජිතයන් තෝරා පත්කර යැවීමේදී ඡන්දදායකයන් ලෙස මහජනතාවට ඇත්තේ විශාල වගකීමකි.

ඡන්දයක් දීමට පෙර අප කල්පනා කළ යුත්තේ තම පෞද්ගලික අභිමතාර්ථයන් ජයග්‍රහණය කරවන කෙනෙකුට වඩා රටේ පොදු පරමාර්ථයන් ජයග්‍රහණය කරවිය හැකි පිරිසක් පාර්ලිමේන්තුවට යැවීම ගැනය. තම දරුවාට හොඳ පාසලක් ලබාගන්නවා වෙනුවට, රටට හොඳ අධ්‍යාපන ප්‍රතිපත්තියක් හොඳ පාසල් පද්ධතියක් නිර්මාණය කළ හැකි දක්ෂයකු පාර්ලිමේන්තුවට යැවීමේ අභිලාෂය ජනතාව සතුවිය යුතුය. දේශපාලන හිතවත්කම් මත වරප්‍රසාද ලබා ගන්නවා වෙනුවට ජාතික ප්‍රතිපත්තියක් සෑදීමට දායකත්වය සැපයිය හැකි පිරිස් තෝරා පාර්ලිමේන්තුවට යැවීම පුරවැසි යුතුකමය. මළගෙදරට, මඟුල්ගෙදරට එන මළගෙදරදී පිටට තට්ටුවක් දමන, පොලීසියට ගොස් සැකකරුවන් මුදාගන්නා, රජයේ කාර්යාලයට ගොස් චණ්ඩිපාට් දමන නියෝජිතයන් පාර්ලිමේන්තුවට යවා පාර්ලිමේන්තුවේ සිදුවන දේ විවේචනය කිරීමෙන් පළක් නැත.

මහජන නියෝජිතයන්ද තමන් පාර්ලිමේන්තුවට පැමිණි කාරණය හොඳින් තේරුම් ගත යුතුය. ජනතා අභිලාශයන් ඉටුකරන්නට නොහැකි මහජන නියෝජිතයන්ගෙන් රටට වැඩක් නැත.

ජනමතය සහ නියෝජිතයා

ජනතාව විසින් පාර්ලිමේන්තුවට තෝරා යවන ජනතා නියෝජිතයන් ජනමතය කොපමණ කලක් නියෝජනයක කරනවාද යන්න පිළිබඳව අද ඇත්තේ අවිනිශ්චිත බවකි. වයඹ පළාතේ එක් මහජන නියෝජිතයකුගෙන් “ඔබ පක්ෂය මාරුකරනවාදැයි” මාධ්‍යවේදීන් ප්‍රශ්නකළවිට, ඔහු ඊට උත්තර දුන්නේ “මම ඊළඟ ආණ්ඩුවේ ඇමැති කියාය” ඊළඟ ආණ්ඩුව කවුරුන් විසින් ගොඩනැගුවද ඇමැතිවීම ඔහුගේ අරමුණ බව ඒ අනුව පැහැදිලිය. එම ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්තිය, සමාජ ප්‍රතිපත්ති හා වැඩපිළිවෙළ රටට හිතකර ද නැද්ද යන්න ඔහුට වැදගත් නැත. මේවනවිට එක් මහජන නියෝජිතයෙක් කිසිම හිරිකිතයක් නැතිව මසක් ඇතුළත හයවතාවක් පක්ෂ මාරුකර ඇත. ඔහු තම ඡන්දදායකයාට කිසිම වටිනාකමක් දී නැත. මෙවැනි පිරිසක් සිටින පාර්ලිමේන්තුවකින් රටේ ප්‍රතිපත්ති සකස්කළ හැකිද යන්න බලවත් ගැටලුවකි.

පාර්ලිමේන්තුවට මහජන නියෝජිතයන් පත්කර යවනුයේ බුද්ධියෙන් දැනුමෙන්, සාකච්ඡාවෙන්, නීතියට හා සම්ප්‍රදායට අනුකූලව සාමකාමීව තීන්දු තීරණ ගැනීමටය. එහෙත් පසුගිය මාසයක පමණ කාලය පුරා පාර්ලිමේන්තුවේ අප දුටුවේ මීට ඉඳුරාම වෙනස් තත්ත්වයකි. පාර්ලිමේන්තුවට ආයුධ ගෙනයාම, මිරිස් කුඩු ප්‍රහාර එල්ලකිරීම පමණක් නොව තම තමන්ගේ බාහු බලය භාවිතාකරන අයුරු ද අපි දුටුවෙමු. ඒ අනුව ගත්කල මොවුන් පාර්ලිමේන්තුවට නොව ගෙදරකටවත් ගතයුතු පිරිසක් නොවේ. එවැනි පිරිස් පාර්ලිමේන්තුවට පත්කර ඇත්තේද අප විසින්මය. මෙවැනි අය නි‍යෝජනය කරන පාර්ලිමේන්තුවක ඉදිරියේදී අපට දකින්නට ලැබෙන්නේ මෙවැනිම තත්ත්වයකි. පවතින දේශපාලන බල ව්‍යාපෘතිය තුළ මිනිසුන්ට සේවය කිරීමට කැමති පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ හඬ යටපත්වී ඇත.

ජාතික ලැයිස්තුව

විවිධ ක්ෂේත්‍රවල දැනුමැති පිරිසක් පාර්ලිමේන්තුව නියෝජනය කරවීම, ජාතික ලයිස්තුවෙන් මන්ත්‍රීවරුන් තෝරා ගැනීමේ අරමුණ වූ බව පැහැදිලිය. එහෙත් පසුගිය කාලයේ එකී අරමුණෙන් බැහැරව කලාකරුවන් හා වෙනත් පිරිස් මෙන්ම ඡන්දයෙන් පරාජය වූවන්ද ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත්කර ගැනුණි. ජාතික ලැයිස්තුව නියෝජනය කළ පිරිස අඩුම තරමින් තමන් නියෝජනය කළ ක්ෂේත්‍රයටවත් සාධාරණය ඉටු කළේද යන්න විමසා බැලිය යුතුය.

ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත්වූ සමහර මන්ත්‍රීවරුන් සාම්ප්‍රදායික දේශපාලනය කර පාර්ලිමේන්තුවට තේරීපත් වූවන්ටත් වඩා නරක ආකාරයෙන් හැසිරෙනු දැකිය හැකිවිය. ඔවුහු ඉතාම නරක ලෙස නීතිය විග්‍රහකරමින් සිටිති. ඔවුන් හුදු දේශපාලන අරමුණු පමණක් මූලික කර ගනිමින් හැසිරීම අනුමත කළ නොහැකිය. ‍ෙමකී තත්ත්වයනට එරෙහිව මහජන මතය ගොඩනැගිය යුතුය. තම පක්ෂයට බලපෑම් කළ හැකි ජනමතයක් ගොඩනැංවීම මඟින් මෙම තත්ත්වය වළක්වා ගත හැකිය.

මෙම කාරණයේදී මෙරට ජනමාධ්‍යවලට සුවිශාල කාර්යභාරයක් පැවරී ඇත. තම ජනතා නියෝජිතයා නිවැරදිව තෝරාපත්කර ගැනීමට ජනතාව දැනුවත් කිරීමේදී ජනමාධ්‍ය ඉදිරියෙන් සිටීම වැදගත්ය.

ජනතාවට වගකියන පිරිසක් පාර්ලිමේන්තුවට තෝරාපත්කර යැව්වේ නම් රටේ ප්‍රතිපත්ති මීට වඩා වෙනස්වීමට ඉඩ තිබුණි. නිදහසින් පසු අපට ජාතික ප්‍රතිපත්තියක් සකසාගන්නට නොහැකිව ඇත්තේ එවැනි පිරිසක් ව්‍යවස්ථාදායකයට පත්කර නොයැවීම නිසාය.

රටක දියුණුවට දිගුකාලීන ක්‍රමවත් ප්‍රතිපත්ති අවශ්‍යය. නමුත් ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියාතික රටවල එවැනි තිරසාර ප්‍රතිපත්තියක් පවත්වාගෙන යන බවක් දක්නට නැත. මූලික ප්‍රතිපත්ති සකසා ගැනීමට අපොහොසත් ශ්‍රී ලංකාව වැනි රටකදී දේශපාලන වෙනස්කම්වලින් රටේ සංවර්ධනයට දැඩි බලපෑමක් එල්ලවේ. හේතුව සියල්ල දේශපාලනීකරණය වී ඇති නිසාය. ආණ්ඩු වෙනසකදී නොව ඇමැති මාරුවීමකදී පවා අමාත්‍යාංශ ප්‍රතිපත්ති වෙනස් වනු අපට දැකිය හැකිය.

අධ්‍යාපනය, සෞඛ්‍ය, ප්‍රවාහන, ආර්ථිකය වැනි රටේ ප්‍රධාන විෂයයන් සම්බන්ධයෙන් පවා තවමත් නිසි ප්‍රතිපත්ති සැකසී නැත. යම් ආකාරයක ප්‍රතිපත්ති තිබුණාවුවද රටේ සිදුවන දේශපාලන වෙනස්කම් සමග ඒ ප්‍රතිපත්ති සියල්ල ද ක්ෂණිකව වෙනස්වේ. ඇමැතිවරයකු මාරුවූවිට බොහෝ අමාත්‍යාංශ විශාල වියදමක් දරමින් ප්‍රතිපත්ති සැකසීමට කටයුතු කරණ නමුත් ඒ ප්‍රතිපත්ති පවතින්නේ කෙටිකාලයකි. නැවත එම අමාත්‍යාංශයටම වෙනත් ඇමැතිවරයකු එම ආණ්ඩුව යටතේම පත්වූ විගස හිටපු ඇමැතිවරයා ගෙනගිය ක්‍රමවේදය ඉවත දමන්නේ ඊට අදාළව සිදුකළ වියදම් පිළිබඳව හෝ නොසලකමිනි.

ආර්ථිකයට වන බලපෑම

ඩොලරයේ අගය ඉහළයාම මේවනවිට රට මුහුණපා ඇති ප්‍රධාන අර්බුදය සේ සැලකිය හැකිය. මේ හරහා විදේශ සංචිත බරපතළ අර්බුධයකට හසුව ඇත. රටට අවශ්‍ය භාණ්ඩවලින් වැඩි ප්‍රමාණයක් ආනයනය කරන රටක් වශයෙන් අපට මෙකී තත්ත්වය දැරිය නොහැකිය. ලෝක ආර්ථිකයේ ඇතිවුණ ප්‍රවණතා ඩොලරයේ නැගීමට හේතුවී ඇත. එවැනි ලෝක ආර්ථික අර්බුදයක් පවතින අවස්ථාවක මෙරට ඇතිවූ දේශපාලන සංකූලතාව හේතුවෙන් පැවති ආර්ථික අවපාතය දෙගුණ තෙගුණවීමට හේතුවී ඇත.

දේශපාලන අර්බුදය හමුවේ වඩාත්ම පීඩනයකට ලක්ව ඇත්තේ රාජ්‍යසේවකයන් බව පැවසිය හැකිය. කිසිදු තීන්දු තීරණයක් ගත නොහැකි තත්ත්වයට රාජ්‍යසේවකයා පත්ව සිටිති. පවතින රජය නීත්‍යානුකූලද නැද්ද යන්න ඔවුන් මුහුණ දෙන ප්‍රධාන ගැටලුවකි. රාජ්‍ය අංශයේ තීන්දු තීරණ ගන්නා නිලධාරීන්ගේ අනාගත ඉරණම කුමක්ද යන්න පැහැදිලි නැත. පැවැති ආණ්ඩුව, තීරණ ගන්නා රජයේ නිලධාරීන්ට තර්ජනය කරමින් සිටින බැවිනි. අනෙක් අතින් පවතින ආණ්ඩුව, රජයේ සේවකයන් හරහා ඔවුන්ගේ තීන්දු ක්‍රියාත්මක කරවා ගැනීමට කටයුතු කරමින් සිටී.

සාමාන්‍ය ජනජීවිතයද මේ හරහා යම් අඩාළවීමකට ලක්ව ඇති බව පෙනේ. රජයේ ආයතනවලින් එදිනෙදා සිදුවන සේවාවන් බිඳ වැටෙන්නේ නම් එයින් සාමාන්‍ය ජනජීවිතයට පීඩනයක් එල්ල වේ.

ජනතාව වෙනුවෙන් තීන්දු තීරණ ගතයුතු දේශපාලන අධිකාරිය මේවනවිට දේශපාලන බල අරගලයක නිරතව සිටිති. ඔවුන් තම බල අරගලයට ප්‍රමුඛතාව දීම මිස රටේ සමාජ තත්ත්වය, මිනිසුන්ගේ ජීවන තත්ත්වය කෙරෙහි අවධානයක් යොමුකොට ඇති බවක් නොපෙනේ.

රටේ ආර්ථිකය ස්ථාවර වීමට ස්ථාවර ආණ්ඩුවක් අවශ්‍යය. එහිදී පක්ෂ, පාට වැදගත් නැත. රට ස්ථාවර කිරීමට කුමන හෝ ස්ථාවර ආණ්ඩුවක් කඩිනමින් ඇතිවිය යුතුය.

අරගලයේ ස්වභාවය

මේ මොහොතේ දේශපාලනය තුළ මතුව ඇත්තේ බල අරගලයකි. රටක නීතියක්, ව්‍යවස්ථාවක් හා සම්ප්‍රදායක් පවතී. දේශපාලකයන් මේ කෙරෙහි කෙතරම් අවධානය යොමුකොට ඇත්ද යන්න ගෙවීගිය දිනකිහිපය නිරීක්ෂණය කිරීමෙන් පසක්කරගත හැකිය.

රටේ සියලු තීන්දු තීරණ ගන්නේ දේශපාලකයන් ය. ඔවුන් රටේ ඉහළම කණ්ඩායම වේ. ඔවුන් ගන්නා තීන්දු හරි හෝ වැරදි, හොඳ හෝ නරක විය හැකිය. කාලයක් තිස්සේ රටේ තීන්දු තීරණ ගත්තේ ඔවුන් වුවද ඔවුනට වඩා හොඳ තීන්දු තීරණ ගත හැකි අය පාර්ලිමේන්තුවෙන් පිටත සිටිති. එහෙත් රටේ තීන්දු තීරණගැනීමේ බලය ඔවුනට නැත. විධායක බලය ඇත්තේ ජනාධිපතිවරයාට ය. පාර්ලිමේන්තුව උත්තරීතරය. මේ ස්ථාන දෙකම නියෝජනය කරන්නේ දේශපාලකයන් බැවින් රටේ තීන්දු තීරණ ගැනීමේ බලය පවතින්නේ එතැනය. පවතින ක්‍රමයේ බොහෝ අඩුපාඩු තිබේ. ඒ අතරට එම ක්‍රමය රටේ ජනතාවගේ පිළිගැනීමටද ලක්ව තිබේ. මිලියන 20ක පමණ වන රටේ ජනතාව මෙහෙයවීමේ බලය එකී ජනතාව විසින්ම දේශපාලන බල අධිකාරිය වෙත පවරා ඇත.

දේශපාලන අධිකාරිය ජනතාව හා රට පත්වන අවාසනාවන්ත තත්ත්වය නොදන්නවා නොවුණත් දේශපාලන බල අරගලය ඔවුන් ජනතා ප්‍රශ්නවලට වඩා වැදගත් වී ඇති සැටියකි. එක් වැරදි තීන්දුවක් හේතුවෙන් සමාන්තරව සහයෝගීව වැඩකළ පද්ධති බොහොමයක් තුළ ගැටුම් මතුව තිබේ. කථානායකවරයා සහ පාර්ලිමේන්තු මහ ලේකම්වරයා සහයෝගයෙන් වැඩ කළ නමුත් දේශපාලන අර්බුදය හේතුවෙන් ඔවුන් අතර ගැටුම් ඇතිවිය. වාසනාවකට එම ගැටුම බරපතළ වූයේ නැත. රාජ්‍ය නිලධාරීන් අතර සුහදශීලීත්වය බිඳ වැටී ඇත.

දේශපාලන බල ව්‍යාපෘතියේ තරම කෙතෙක්ද කිවහොත් සත්‍ය දකිමින්ම සමහර දේශපාලනඥයෝ වැරදි මත සමාජ ගතකරමින් සිටිති. සත්‍ය හොඳින්ම දන්නා වෘත්තිකයන්ද මේ බල ව්‍යාපෘතිය තුළ අසරණ වී සිටින බව පෙනේ.

සටහන දුමින්ද සම්පත්

 


නව අදහස දක්වන්න