බි‍්‍රතාන්‍ය කවු­න්සි­ලයේ ලියා­ප­දිං­චි­වූ­වන්ට පරි­ග­ණ­කය ඔස්සේ IELTS පරී­ක්ෂ­ණ­යට පෙනී සිටීමේ අව­ස්ථාව | දිනමිණ

බි‍්‍රතාන්‍ය කවු­න්සි­ලයේ ලියා­ප­දිං­චි­වූ­වන්ට පරි­ග­ණ­කය ඔස්සේ IELTS පරී­ක්ෂ­ණ­යට පෙනී සිටීමේ අව­ස්ථාව

ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය කවුන්සිලයේ ලියාපදිංචි වූ IELTS අයදුම්කරුවන්ට නොවැම්බර් 21 වැනි දින සිට පරිගණකය ඔස්සේ එම පරීක්ෂණයට පෙනී සිටීමේ අවස්ථාව හිමි වී ඇත. IELTS යනු ලොව ජනප්‍රියතම ඉංග්‍රීසි භාෂා ප්‍රවීණතා පරීක්ෂණයයි.

පසුගිය දෙසැම්බර් 05 වන දින කොළඹ පිහිටි බ්‍රිතාන්‍ය කවුන්සිල පරිශ්‍රයේ දී මේ නව ක්‍රමවේදය හඳුන්වා දීම සඳහා විශේෂ වැඩසටහනක් පවත්වන ලදී. රට පුරා විසිරී සිටින IELTS අයදුම්කරුවන්ට දැන් වඩාත් පහසුවෙන් එම පරීක්ෂණයට පෙනී සිටිය හැක්කේ කෙසේද යන්න මෙහි දී රැස්ව සිටි පිරිසට පෙන්වා දීමට බ්‍රිතාන්‍ය කවුන්සිලය කටයුතු කළේය.

පරිගණක පදනම් කරගත් මේ පරීක්ෂණ ක්‍රමවේදය මගින් සතියකට පරීක්ෂණ වාර වැඩි ගණනක් පැවැත්වීමේ අවස්ථාව හිමිවී ඇති නිසා සාම්ප්‍රදායික මුද්‍රිත පරීක්ෂණ ක්‍රමයට සාපේක්ෂව වඩාත් පහසුවෙන් තම පරීක්ෂණ දින යොදාගැනීමේ අවස්ථාව අයදුම්කරුවන්ට හිමිවී තිබේ. තව ද සාම්ප්‍රදායික පරීක්ෂණ ක්‍රමයේ දී ප්‍රතිඵල නිකුත් වීමට දින 13ක් ගතවන නමුත් නව ක්‍රමයේ දී ඒ සඳහා ගත වනුයේ දින 5ක් පමණි.

IELTS පරීක්ෂණ ක්‍රමවේද වැඩි දියුණු කිරීමට මෙන්ම අයදුම්කරුවන්ට වඩාත් පහසුවෙන් එම පරීක්ෂණයට පෙනී සිටීමේ අවස්ථාව ලබාදීමට අප නිරන්තරයෙන්ම උත්සාහ කරනවා. පරිගණකය ඔස්සේ මේ පරීක්ෂණයට පෙනී සිටීමේ අවස්ථාව හිමිවීම අයදුම්කරුවන්ට විශාල පහසුවක් වේවි.’ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය කවුන්සිලයේ අධ්‍යක්ෂ ජිල් කැල්ඩිකොට් මහත්මිය පැවැසුවාය.

නව ක්‍රමය යටතේ අයදුම්කරුවන්ට පරිගණයක් භාවිතයෙන් සවන්දීම, කියවීම සහ ලිවීම යන අංශ සම්පූර්ණ කළ හැකි අතර, කථන පරීක්ෂණය පමණක් මුහුණට මුහුණලා සිදුකරනු ලැබේ. මුල් අදියර තුන එකම දවසක සිදුකළ යුතු වුවද කථන පරීක්ෂණය ඊට සතියක් දක්වා කාලයක් තුළ පෙර හෝ පසු සම්පූර්ණ කළ හැක. කෙසේ වුවද, ක්‍රමවේදය කුමක් වුවත් පරීක්ෂණයේ ලකුණු ක්‍රමය, කාලසීමාව සහ ස්වභාවය වෙනස් වී නැත.

‘පරිගණක ක්‍රමය හඳුන්වා දෙන්නේ සාම්ප්‍රදායික මුද්‍රිත ක්‍රමය වෙනුවට නොවෙයි. එය අයදුම්කරුවන්ට කැමති ක්‍රමයක් තෝරා ගැනීමට අවස්ථාව ලබාදීමක් පමණයි. මුද්‍රිත පරීක්ෂණයේ දී භාවිත වන ආරක්ෂක ක්‍රමවේද මෙහිදීත් එලෙසම භාවිත වනවා. ඒ නිසා කවර ක්‍රමවේදය තෝරාගත්තත් අයදුම්කරුවන් මුහුණ දෙන්නේ ලොව පුරා පිළිගත් එකම විශ්වාසනීය පරීක්ෂණයට වන බව සහතිකයි.’ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය කවුන්සිලයේ විභාග අධ්‍යක්ෂ රොබ් ලෝ මහතා පැවැසීය.

ලොව උසස් අධ්‍යාපනය සහ විදේශගතවීම් හා සම්බන්ධ ජනප්‍රියතම ඉංග්‍රීසි භාෂා ප්‍රවීණතා පරීක්ෂණයක් වන IELTS පරීක්ෂණයට ලොව පුරා වසරකට මිලියන 3කට අධික අපේක්ෂක පිරිසක් පෙනී සිටිති. අධ්‍යාපන ආයතන සේවායෝජක ආයතන සහ විදේශගතවීම් සම්බන්ධ බලධාරී ආයතන 10, 000 කට අධික සංඛ්‍යාවක පිළිගැනීම හිමි මේ පරීක්ෂණය විදේශයක පදිංචිවීම අධ්‍යාපනය ලැබීම හෝ රැකියා සඳහා පිටත්වීමට අපේක්ෂාවෙන් සිටින ශ්‍රී ලාංකිකයන් අතර බෙහෙවින් ජනප්‍රිය පරීක්ෂණයක් බවට පත්වී ඇත.

නව අදහස දක්වන්න