ඉමදුව නගරයේ පරිසර ආලය | දිනමිණ

ඉමදුව නගරයේ පරිසර ආලය

අපද්‍රව්‍ය නිවැරදි ආකාරයට පරිසරගත කිරීම පිළිබඳ ජනතාව දැනුවත් කිරීම හා එකතු කර ප්‍රතිචක්‍රීකරණයට යොමු කිරීම මෙම වැඩසටහන තුළින් බලාපොරොත්තු වේ.

අද වන විට විද්‍යුත් උපකරණ භාවිතය ශීඝ්‍රයෙන් වැඩි වී ඇත. විද්‍යුත් උපකරණ නොමැතිව තම ජීවිතය ගෙන යාමට නොහැකි තරමට මිනිසුන් හැඩ ගැසී ඇත. මිනිසා තම අවශ්‍යතාවයට මෙන්ම අවශ්‍යතාවයක් නැතත් විවිධ වූ උපකරණ භාවිතයට ගන්නා අයුරු දක්නට ලැබේ. මෙසේ සීමාවකින් තොරව භාවිතයට ගන්නා විද්‍යුත් උපකරණ භාවිතයෙන් පසුව පරිසරයට මුදා හරී. විද්‍යුත් අපද්‍රව්‍ය ප්‍රමාණය දිනෙන් දින ඉහළ යාම නිසා පරිසරයට එය දරාගත නොහැකි තත්ත්වයට පත්වී තිබේ. මේ හේතුව නිසා ලෝකයේ හය දෙනකුගෙන් එක් අයෙක් පිළිකා රෝගයට ගොදුරු වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ 2016 වාර්තාව මගින් පෙන්වා දේ.

එක් CFL බල්බයකින් පිරිසුදු ජලය ලීටර් 20,000ක් එකවර වස බවට පත්කළ හැකි බවත්, ගෝලීය උෂ්ණත්වය තවත් සෙල්සියස් අංශක 2කින් ඉහළ ගියහොත් ලෝකයේ සියලුම ජීවීන්ගේ බෝවීමට හා සියලු වගාබිම් විනාශ වි යන බව ‍මෙමගින් පෙන්වා දෙයි. වැඩුණු පුද්ගලයකු ප්‍රාශ්වාස කරන කාබන්ඩයොක්සයිට් වාතය පමණක් උරා ගැනීමට හොඳින් වැඩුණු ගස් 96ක් අවශ්‍ය වේ. ලෝකයේ ජනනය වන ඉලෙක්ටොනික අපද්‍රව්‍ය වලින් 80%ක් 85%ක ප්‍රමාණයක් කසළ බඳුන්වල තැන්පත් කිරීම හෝ දහනය කිරීම සිදු කරන බව, ජංගම දුරකතන මිලියනයක් ප්‍රතිචක්‍රීකරණය තුළින් කොපර් (තඹ) රාත්තල් 35274ක්, රිදී රාත්තල් 772ක්, රත්තරන් රාත්තල් 75ක්, ප්ලැටිනම් රාත්තල් 33ක් ලබාගත හැකි බව, ජංගම දුරකතන බැටරි පරිසරගතවීම මගින් ජල මූලාශ්‍ර සිඳී යන බව දැනට සොයාගෙන ඇති සත්‍යයන්ය. මෙම කාර්යයන් ලෝක මට්ටමෙන් පිළිතුරු සෙවිය යුතු ප්‍රශ්නයක් වෙලා.

වසරකට අපද්‍රව්‍ය ටොන් බිලියන 2.5ක් සාගරවලට පමණක් එකතු වේ. මේ නිසා විවිධ වූ උපද්‍රව වලට මිනිසාට මුහුණදීමට සිදුවී ඇත. ගෝලීය උෂ්ණත්වය ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතී. ගෝලීය උෂ්ණත්වය වැඩිවීමට සෘජුවම මානව ක්‍රියාකාරකම් නිසා ඇතිවන කාබන්ඩයොක්සයිට් බලපායි.

මෙම ව්‍යසනය කළමනාකරණය කර ගැනීම සඳහා ඉමදුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මේ වන විට අපූරු ව්‍යාපෘතියක් දියත් කර ඇත. මෙහි දී ඉලෙක්ට්‍රොනික් අපද්‍රව්‍ය ඉවත් කරන ආයතන දැනුවත් කර ඔවුන්ගෙන් පරිසරයට එකතු කරන ඉලෙක්ට්‍රොනික් අපද්‍රව්‍ය එකතු කිරීම සඳහා භාජන ලබා දී ක්‍රමවත්ව එය සිදු කරනු ලබයි.

ඉමදුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය වර්ග කි.මී. 60ක පමණ වපසරියකින් යුතු ගාල්ල දිස්ත්‍රික්කයේ පිහිටි පරිපාලන ඒකකයකි. ග්‍රාම නිලධාරී වසම් 43ක 50000කට ආසන්න ජන සංඛ්‍යාවකගේ ජන ජීවිතය නංවාලීමට කටයුතු කරයි. මතු පරපුර සඳහා පිවිතුරු පරිසරයක් උරුම කරදීම හා සෞඛ්‍ය සම්පන්න නිරෝගිමත් ජනතාවක් කොට්ඨාසය තුළින් රටට දායාද කිරීම අරමුණු ඇතිව ඔවුන් මෙම විද්‍යුත් අපද්‍රව්‍ය, ප්ලාස්ටික් හා පොලිතීන් වලින් පරිසරයට හා මානව සෞඛ්‍යයට වන බලපෑම පිළිබඳව ජනතාව දැනුවත් කිරීම, භාවිතයෙන් පසු අපද්‍රව්‍ය නිවැරදි ආකාරයට පරිසරගත කිරීම පිළිබඳ ජනතාව දැනුවත් කිරීම හා එකතු කර ප්‍රතිචක්‍රීකරණයට යොමු කිරීම මෙම වැඩසටහන තුළින් බලාපොරොත්තු වන බව ඉමදුව ප්‍රාදේශීය ලේකම් ලක්ෂ්මී කාන්තී මෙනවිය පවසයි.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ ලක්ෂ්මී කාන්ති මෙනවිය - "අද වන විට කුණු ප්‍රශ්නය රටට ලොකු ව්‍යසනයක් වෙලා තියෙනවා. තව කාලයක් යන විට මේ ඉලෙක්ට්‍රොනික් අපද්‍රව්‍ය ප්‍රශ්නය ඊට වඩා එහා ගිය ප්‍රශ්නයක් වේවි. ඒ සඳහා පිළියමක් ලෙස තමයි මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්නේ. මෙහි දී අපි දීර්ඝකාලීන ලෙස පරිසරයට හානි කරන විද්‍යුත් අපද්‍රව්‍ය ප්ලාස්ටික් හා පොලිතීන් පරිසරයට බැහැර නොකර නිවැරදි කළමනාකරණයක් තුළින් ප්‍රතිචක්‍රීකරණට යොමු කිරීම හා විද්‍යුත් අපද්‍රව්‍යවල ඇති පරිසරයට මානව සෞඛ්‍ය කෙරෙහි වන හානිය පිළිබඳ කොට්ඨාසයේ ජනතාව දැනුවත් කිරීම සිදු කර පරිසර හානියෙන් තොර විද්‍යුත් උපකරණ භාවිතයට කොට්ඨාසයේ ජනතාව යොමු කිරීම මේ වන විට සිදු කර තිබෙනවා. මෙහි දී මුලින්ම මේ සම්බන්ධයෙන් කාර්යාල නිලධාරීන් දැනුවත් කළා. පසුව කොට්ඨාසයේ රාජ්‍ය ආයතන ප්‍රධානීන් හා නිලධාරීන්, පාසල් ළමයින්, ස්වේච්ඡා සමිති දැනුවත් කිරීම කළා. ඊටපසුව ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් කාර්යාලයේ නිලධාරීන් ගෙයින් ගෙට ගොස් දැනුවත් කිරීම සිදුකළා. පසුව තමයි පරිසර සංගම් හා බද්ධ වෙමින් නාගරික ප්‍රදේශවල වෙළෙඳ ප්‍රජාව දැනුවත් කිරීම හා මෙම අපද්‍රව්‍ය වලින් පරිසරයට හා මානව සෞඛ්‍යයට වන බලපෑම සම්බන්ධව දැනුවත් කිරීමේ පුවරු ප්‍රර්ශනය කිරීම සිදු කළේ.

අද වන විට මේ සඳහා හොඳ ප්‍රතිචාර තිබෙනවා. දකුණු පළාත් ධීවර අමාත්‍යංශය හා එක්ව ඉලෙක්ට්‍රොනික් අපද්‍රව්‍ය බඳුන් වෙළෙඳ ප්‍රජාවට ලබා දුන්නා. ඒවා පිරුණු පසු අපේ නිලධාරීන් එවා ඔවුන් ළඟටම ගිහින් එකතු කරනවා."

මීට වසර එකහමාරකට පමණ පෙර ඉමදුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ ආරම්භ කළ වැඩසටහන අද වන විට ප්‍රතිඵල ලැබෙන තත්වයක පවතී. යම් දෙයකට ජනතාව හුරු කිරීම අපහසු දෙයක් වුව ද හුරු කර පසු එය කරගෙන යාම අපහසු නොවෙයි. මෙය අද වන විට ඉමදුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සීමාවේ ඉලෙක්ට්‍රොනික් අපද්‍රව්‍ය කළමනාකරණය තුළින් මනාවට පිළිඹිඹු වේ.

අද ඉතා සාර්ථකව ඉමදුව ප්‍රාදේශීය ලේකම් කාර්යාල සීමාව තුළ පවත්වාගෙන යන මෙම වැඩසටහන ඉතා ඉක්මනින් මුළු රටපුරාම ක්‍රියාත්මක වේ නම් ඉදිරියේ දී ඇති විය හැකි විශාල උපද්‍රවයකින් මේ රට ගලවා ගැනීමට හැකියාව ලැබෙනු ඇත.

සටහන සහ ඡායාරූප ලංකින්ද නානායක්කාර ‍ඉමදුව සමූහ

 

 

නව අදහස දක්වන්න