සිද්ධි දෙකක්! | දිනමිණ

සිද්ධි දෙකක්!

සිද්ධි දෙකක් පාදක කොට රටේ අනාගතයට වැදගත් කතිකාවක් ගොඩනැගීමට අපේක්ෂා කරමු. පළමු සිද්ධිය වන්නේ ජනාධිපතිවරයා අතින් ආහාර සැකසුම් මධ්‍යස්ථානයක් විවෘත වීම ය. දෙවන සිද්ධිය වන්නේ උත්සව සමයේ ආහාර මිල සම්බන්ධයෙන් ජනාධිපතිවරයා නිලධාරීන් කැඳවා උපදෙස් ලබාදීම ය. මේ සිද්ධි දෙක ම ආහාර නිෂ්පාදනයට හා වෙළෙඳාමට අදාළ ය. එලෙසම එය ජන ජීවිතයට බලපාන ප්‍රධාන ගැටලුව ලෙස ද ගත හැකි ය. අපේ රටේ කෘෂිකර්මය පවතින්නේ ගොවියාත්; පාරිභෝගිකයාත් යන පාර්ශ්ව දෙක ම පීඩනයකට පත්කරන තැනෙක ය. එය දීර්ඝ කාලයක සිට පවතින ජාතික ගැටලුවෙකි.

ආහාර නිෂ්පාදනය, ඒවා සුරක්ෂිත කිරීම හා බෙදාහැරීම සම්බන්ධයෙන් නූතන තාක්ෂණය හා නවීන ක්‍රමවේද භාවිතය තවම අපට නොහුරු ය. ඉතියෝපියාව සාගින්නේ දේශය ලෙස නම් කර තිබුණ ද අද ඒ රට නූතන තාක්ෂණය භාවිත කරමින් කෘෂිකර්මයට යොමු වී ඇත. ඒ අනුව ඉතියෝපියාව තවදුරටත් සාගින්නේ දේශය වන්නේ නැත. කාන්තාර දේශගුණයට නෑකම් කියන ඊශ්‍රායලය ලෝකයේ හොඳම වගාබිමක් බවට පත් වී ඇත. ඊශ්‍රායලයේ එළවළු හා පලතුරු ලෝකය පුරා ප්‍රචලිත ය. අද වන විට ඊශ්‍රායල කෘෂිකර්ම උපදේශකයෝ වෙනත් රටවලට ගොස් වගාව ගැන උපදේශන ලබා දෙති. නූතන තාක්ෂණය හා නවීන ක්‍රමවේද මේ පසුපස ඇති රහස බව පැහැදිලි ය.

අපේ කෘෂිකර්මය දෙස ආපසු හැරී බලන විට පෙනීයන්නේ එය පුරාණ ක්‍රමවිධි සමග එක තැන පල්වෙන බව ය. අල අස්වැන්න ලබන කාලයට අල ගොවියෝ උද්ඝෝෂණ කරති. ඒ සාධාරණ මිලකට අල අලෙවි කරගැනීමට බැරිකම නිසා ය. වට්ටක්කා අස්වැන්න නෙළන කාලයට ගොවියෝ තම අස්වැන්න අලින්ගේ කෑමට ලබාදෙති. නැතහොත් දන්සල් දී අත පිස දමාගෙන හූල්ලති. දෙහි, බටු, කැකිරි යන කොයි වගාවටත් සිදුවී ඇත්තේ එකම ආනිසංශ ය. ඒවා බෙදාහරින විධිමත් ක්‍රමයක් නැත. කල්තබාගන්නා ක්‍රමයක් නැත. ගබඩා පහසුකම් නැත. එහෙත් වෙළෙඳපොළ දෙස බැලුවහොත් හැමදාම පාහේ ආහාර මිල ඉහළ ය.

වී අස්වනු නෙළාගන්නා කාලය බලා පිටරටින් සහල් ආනයනය නැවැත්වීම හෝ බදු වැඩි කිරීම හෝ සිදුවෙයි. අල - ලූනු අස්වනු නෙළාගන්නා කාලයට ද එය ම සිදු වෙයි. එහෙත් ගොවියාට හෝ පාරිභෝගිකයාට හෝ මේ ක්‍රමවේද ඔස්සේ ස්ථාවර සහනයක් ලැබී නැත. ඕනෑම උත්සව සමයක දී එළවළු මිල ඉහළ ය. පලතුරු මිල ඉහළ ය. ඕනෑම ආහාර ද්‍රව්‍යයක මිල ද ඉහළ ය. වෙළෙඳ පොළ තත්ත්වය නිරීක්ෂණය කළහොත් නිදහස් වෙළෙඳ පොළෙහි භාණ්ඩ මිල ඉහළ යන්නේ සැපයුම අඩුවීම නිසා ය.

නැතහොත් භාණ්ඩ හිගයක් පවතින නිසා ය. ආහාර ගබඩා කිරීම, කල්තබාගැනීම හා ඇසුරුම් ක්‍රමවල ඇති අඩුපාඩුව මෙහිදී පැහැදිලි වෙයි.

ආහාර සුරක්ෂිතතාව පිළිබඳ ලෝක මට්ටමේ විද්වත් සමුළු කිහිපයක් මේ වසරේ මුල් කාර්තුව තුළ දී පැවැත්විණි. එම සමුළුවලදී අවධාරණය කෙරුණු ප්‍රධාන සාධකයක් වූයේ සෑම රාජ්‍යයක්ම ආහාර සුරක්ෂිතතාව ප්‍රමුඛ කාර්යයක් ලෙස සලකා ඉටුකළ යුතු බව ය. අනාගත ජනගහනයට අවශ්‍ය ආහාර සම්පාදනය හැමවිටම අභියෝගයක් හැටියට පවතින බව ද මේ සමුළුවලදී කියැවී ඇත. ඉන් පැහැදිලි වන්නේ සෑම රාජ්‍යයක්ම කෘෂිකර්මය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති හා වැඩසටහන් ක්‍රියාත්මක කළ යුතු‍ බව ය. මෙහිදී නිෂ්පාදනය වැඩි කිරීමට හා නාස්තිය අවම කිරීමට පියවර ගත යුතුව තිබේ.

කෘෂිකර්ම විෂයයට අදාළ චින විශේෂඥයෝ පිරිසක් මේ වසරේ මැද කාර්තුවේ දී ශ්‍රී ලංකාවට පැමිණ සමීක්ෂණයක් සිදු කළහ. එම සමීක්ෂණ වාර්තාවේ සඳහන් එක් වැදගත් හෙළිදරව්වක් වන්නේ අපේ දේශීය අස්වැන්නෙන් 60%කට ආසන්න තොගයක් විවිධ හේතු නිසා විනාශ වන බව ය. කොටසක් වන සත්තු කා දමති. තව කොටසක් කෘමීහු ගිල දමති. අස්වැන්න නෙළාගැනීමේ දී හා ප්‍රවාහනයේදී තවත් කොටසක් විනාශ වෙයි. අන්තිමේ පරිභෝජනයට ඉතිරිවන්නේ වගාවෙන් ඉතා සුළු කොටසකි. මේවා වැළැක්වීම සඳහා නවීන ක්‍රමවේද භාවිත කළ යුතුය යන්න චීන විශේෂඥයන්ගේ උපදේශනය වෙයි.

මඩ සෝදාගත් කල ගොවියා රජකමට වුව සුදුසු යැයි කියන්නේ වුව; අපේ ගොවියා කිසිකලෙක රජවූයේ නැත. රජවන බවක් පෙනෙන්නටද නැත. ගොවියා රජ කරවීමට නම්; ඔහුගේ මහන්සියේ තරමට ආදායමක් තිබිය යුතු ය. එවැන්නක් අපේ රටේ නැත. ගොවි ජනතාවගෙන් අති බහුතරය දිළින්දෝය. රටේ වැඩි දෙනෙකුගේ ප්‍රධාන ජීවනෝපාය ගොවිතැන බව ද මෙහිලා අමතක නොකළ යුතු කාරණයකි. රටේ ප්‍රධාන ජීවනෝපාය ගොවීතැන නම්; එම තර්කයට අනුව ජනගහනයෙන් වැඩි පිරිස දිළින්දෝ වෙති. මේ සඳහා විසඳුම් සොයන ඕනෑම නායකයකු කෘෂිකර්මය කෙරෙහි බලවත් උනන්දුවක් දැක්වීම අනිවාර්ය සාධකයක් සේ සැලැකිය හැකි ය.

දේශපාලන අර්බුදයක් හමුවේ වුව රටේ කෘෂිකර්මය හා පරිසරය පිළිබඳ දක්වන උනන්දුව ජනාධිපතිවරයා අල්පමාත්‍රයකින් හෝ අඩුකර නැත. රටේ වාරිමාර්ග ජලාශ පාරිසරික ගැටලු, ගොවියාගේ ප්‍රශ්න ජනාධිපතිවරයා ගේ දැඩි අවධානයට ලක් වූ කාරණා ලෙස සැලැකිය හැකිය. රජරට හා උතුරේ ‍ෙගාවි ජනතාවගේ ජල ගැටලුවලට විසඳුම් ලබාදීම සඳහා සාර්ථක වැඩසටහන් ගණනාවක් ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන් ක්‍රියාවට නැංවී ඇත. එය ඉතා යහපත් ය. රටේ අනාගත පරම්පරාව ගැන කල්පනා කරන නායකයකුට මේ ගැටලු මගහැර යෑමේ හැකියාවක් ඇත්තේ ද නැත. ඒ බව ජනාධිපතිවරයා වටහාගෙන ඇති බව පෙනෙයි.

ආහාර සැකසුම් මධ්‍යස්ථානය විවෘත කිරීමට ගිය ජනාධිපතිවරයා කියා සිටියේ එය රටපුරා ප්‍රචලිත කිරීමට අවශ්‍ය ඕනෑම සහයෝගයක් ලබාදෙන බව ය. බඩඉරිඟු හා අලවර්ග කල්තබාගැනීමේ ක්‍රමවේද මේ මධ්‍යස්ථානය සාර්ථකව අත්හදා බලා තිබිණි. දැන් අවශ්‍ය වන්නේ අදාළ තාක්ෂණය හා ඇසුරුම් ක්‍රමවේද රට පුරා ප්‍රචලිත කිරීම ය. වී ඇතුළු ධාන්‍ය වර්ග රාශියක් දේශීය වශයෙන් වගා කරනු ලැබේ. දේශීය අලවර්ග විශාල ප්‍රමාණයක්ද අප සතු ය. මේවා නූතන අවශ්‍යතාවලට අනුව සකස්කරගත හැකිනම්; එය සාර්ථක ව්‍යාපාරයක් බවට පරිවර්තනය කරගත හැකි ය.

ආහාර මිල ගණන් පිළිබඳ නිලධාරී සාකච්ඡාවේදී ජනාධිපතිවරයාගේ උපදේශනය වී ඇත්තේ උත්සව සමයේ කෘත්‍රීම ලෙස ආහාර මිල ගණන් ඉහළ දැමීමට වහාම වැට බැඳිය යුතු බවය. කුමක් වුව අපට අවශ්‍ය වන්නේ ගොවියාට හා පාරිභෝගිකයාට සහන ලැබෙන කෘෂිකර්මයකි.

 


නව අදහස දක්වන්න