දුම්රියේ ගැටීමෙන් වන අලි මිය යෑම අවම කිරීමට කෙටි පණිවිඩ සේවාවක් | දිනමිණ

දුම්රියේ ගැටීමෙන් වන අලි මිය යෑම අවම කිරීමට කෙටි පණිවිඩ සේවාවක්

සමන්මලී ප්‍රියශාන්ති

දුම්රියේ ගැටීමෙන් වන අලි මිය යෑම අවම කරගැනීමට දුම්රිය කාර්ය මණ්ඩලය දැනුවත් කිරීමේ කෙටි පණිවිඩ සේවාවක් හඳුන්වාදීමටත්, ඒ අනුව 070-4445454 දුරකතන අංකය හඳුන්වා දී තිබෙන බවත්, වන අලින් ගැවසෙන මාර්ගවල සහ ඒ අසල රාජකාරී කරන දුම්රිය රියැදුරන්, දුම්රිය නියාමකවරුන්, අධීක්ෂණ කළමනාකරුවන්, ගේට්ටුකරුවන් මේ දුරකතන අංකයෙන් දැනුවත් කරන බවත් දුම්රිය සාමාන්‍යාධිකාරී දිලන්ත ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේය.

ඒ මහතා මේ බව පැවැසුවේ පෙරේදා (10) දුම්රිය දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදීය.

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද කීය.

දුම්රියේ ගැටීමෙන් වන අලි මිය යෑම සම්පූර්ණයෙන් ම නතර කරගැනීමට ඉදිරියේ දී නව ක්‍රමවේද රැසක් ක්‍රියාත්මක කිරීමට නියමිතයි. මේ එස්. එම්. එස්. ක්‍රමය එහි පළමු පියවරයි. මේ අනුව දුම්රිය ස්ථානාධිපතිවරු මඟින් සහ කෙටි පණිවිඩ මඟින් දක්වන කාලපවල සුපරීක්ෂාකාරීව දුම්රිය ධාවනය කිරීමට හැකියාව ලැබෙනවා.

වන අලි ගම් වැදීම සිදු වන දුම්රිය මාර්ගයට ආසන්න ගම්වල වැසියන්, දුම්රිය මාර්ගය අවට වෙසෙන ජනතාව සහ මේ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන සියලුම පාර්ශ්ව වෙත මේ දුරකතන අංකය හඳුන්වා දීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර තිබෙනවා.

මේ දුරකතන අංකයට අමතා හෝ එස්. එම්. එස්. කර හෝ මිස් කෝල් කිරීමෙන් හෝ අදාළ ප්‍රදේශයේ අලි ගැවසෙන බව දැනුම් දිය හැකියි. එම තොරතුරු ලබාගැනීමට පැය 24 පුරා ක්‍රියාත්මක මෙහෙයුම් කාර්යාලයක් ද ස්ථාපිත කර තිබෙනවා. ඒ අනුව අදාළ පණිවිඩ අලි ගැවසෙන ස්ථානයට අදාළ දුම්රිය ස්ථානාධිපතිවරුන්ට, එම මාර්ගයේ සේවය කරන දුම්රිය රියැදුරන්ට, නියාමකවරුන්ට එස්. එම්. එස්. (elephant ALT) ක්‍රමවේදයක් ඔස්සේ දැනුම්දීමට එම මෙහෙයුම් කාර්යාලය කටයුතු කරනවා.

දුම්රියේ වන අලි ගැටීම වැළැක්වීමට යෝජනා ඉදිරිපත් කිරීමට පිහිටුවන ලද කමිටුවෙන් මේ යෝජනාව ද ඇතුළත්ව තවත් විසඳුම් 30ක් ඉදිරිපත් කර තිබෙනවා. අලි ගැටීමට හේතු 21ක් ද ඉදිරිපත් කර තිබෙනවා. දුම්රිය මාර්ගය ආසන්නයේ අලි ගැවසෙන ප්‍රදේශ ලෙස කිලෝ මීටර් 660ක ප්‍රදේශයක් ද හඳුනාගෙන තිබෙනවා. අලි ගැටීම් සම්පුර්ණයෙන් වැළැක්වීමට පූර්ව අනතුරු හැඟවීම් පද්ධතියක් නිකුත් කරන තෙක් මේ කෙටි පණිවිඩ වැඩපිළිවෙළ පැය 24 පුරා ක්‍රියාත්මක වෙනවා.

මීට අමතරව අලි ගැවසෙන ස්ථානවල සිල්පර කොට අතර ගල් ඇතිරීම, එම දුම්රිය මාර්ග අවට කිලෝ මීටර් 10ක් බැගින් දුරට කැලය එළි පෙහෙළි කිරීම, දුම්රියවලට විදුලි ලාම්පු සවි කිරීම වැනි වැඩසටහන් රැසක් ද ක්‍රියාත්මකයි.

ඉංජිනේරු ඉරෝෂ පෙරේරා, දුම්රිය දෙපාර්තමේන්තුවේ ගමනාගමන අධිකාරී ගාමිණි සෙනෙවිරත්න මහත්වරු ද මේ අවස්ථාවට එක් වුහ.

ඡායාරූපය - රුකමාල් ගමගේ

නව අදහස දක්වන්න