බෝදාගම ටියුෂන් සර් වෙන අයකුට සා. පෙළ ලියලා | දිනමිණ

බෝදාගම ටියුෂන් සර් වෙන අයකුට සා. පෙළ ලියලා

තණමල්විල බෝදාගම මහා විද්‍යාලයේ අපොස (සා.පෙ) විභාග මධ්‍යස්ථානයේ දී ගණිතය ප්‍රශ්න පත්‍රයට වෙනත් පුද්ගලයකුගේ නමින් පෙනී සිටි උපකාරක පන්ති ගුරුවරයකු පෙරේදා (10) තණමල්විල පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇත.

විභාග ශාලාධිපතිවරයා විසින් කරන ලද පැමිණිල්ලක් මත මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අපොස සා. පෙ විභාගයේ ගණිතය ප්‍රශ්න පත්‍රයට වෙනත් අයකුගේ නමින් පෙනී සිටි තිස්සමහාරාමය පන්නෙගමුව අංක 253 හි පදිංචි අයෙකි.

තිස්සමහාරාම ප්‍රාදේශීය සභාවේ රියදුරකු වන තිස්සමහාරාමය පන්නෙගමුව වටරවුම් පාර පදිංචි අයකුගේ ජාතික හැඳුනුම්පතේ ඡායාරූපය ගලවා උපකාරක පන්ති ගුරුවරයා ගේ ඡායාරූපයක් අලවා ඔහු වෙනුවෙන් විභාගයට පෙනී සිට ඇත. හැඳුනුම්පත පරීක්ෂා කිරීමේ දී වෙනත් ඡායාරූපයක් එහි අලවා තිබෙන බව දැනගත් විභාග ශාලාධිපතිවරයා විභාග ශාලාවේ ආරක්ෂක රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන් මඟින් තණමල්විල පොලිසියට දැනුම් දී තිබේ.

සැකකරු ඊයේ (11) වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

තණමල්විල සහකාර පොලිස් අධිකාරි ආර්. ඩී. යූ. පී. අමරතුංග මහතාගේ උපදෙස් පිට තණමල්විල වැඩබලන මූලස්ථාන පොලිස් පරීක්ෂක එම්. කුලානන්ද මහතා ඇතුළු නිලධාරී කණ්ඩායමක් පරීක්ෂණ පවත්වති.

ඌව වෙල්ලස්ස විශේෂ හා සියඹලාණ්ඩුව විශේෂ

නව අදහස දක්වන්න