ගෝඨාභය ජනපති කරනවා | දිනමිණ

ගෝඨාභය ජනපති කරනවා

අපේ ඊළඟ ඉලක්කය වෙන්න ඕන මහින්ද මහත්තයාට ඉල්ලන්න බැරි කරලා තියෙනවානම් එතුමගේ ආශිර්වාදයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාව මේ රටේ ජනාධිපති කරන්න කිරීමටයි. මම සහෝදරයකුට වගේ සලකන්නේ එතුමාට. ඒ නිසා මම එතුමාට කිවුවා මේ දිනවල කටවත් හොල්ලන්න එපා කියලා. ඉන්න පූජා භාණ්ඩය වගේ. එතුමත් ඒක අහලා ඉන්නවා දෙයියනේ කියලා යැයි හිටපු ඇමැති, පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා බදුරලියේ දී පැවැසීය.

පාලින්දනුවර ප්‍රාදේශීය සභා සභාපති ධම්මික රණසිංහ මහතාගේ සංවිධානයෙන් බදුරලිය නදීෂා උත්සව ශාලාවේ පැවැති ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ක්‍රියාකාරී හමුවකට එක්වෙමින් ඒ මහතා ඊයේ (11) මේ අදහස් පළ කළේය.

එහි දී වැඩිදුරටත් කථා කළ රෝහිත අබේගුණවර්ධන මහතා මෙසේ ද පැවැසීය.

මේ දැන් හදපු ව්‍යවස්ථාව ඇතුළේ ස්වයං පාලනය විතරක් නෙමේ මේක ඇතුළේ තියෙනවා තව දෙයක්, නව පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමයක්, රටටම නව මැතිවරණ ක්‍රමයක් ගැන ඒකේ තියෙනවා. එය තුනෙන් දෙකෙන් සම්මත වුණාම ඔබටවත් අපටවත් ඡන්ද නෑ. ඒ සම්මත වෙච්ච ව්‍යවස්ථාව දඩමීමා කරගෙන ඡන්ද කල් දානවා.

එක පැත්තකින් උතුර වෙනම ගැලවෙනවා,පළාතම බෙදනවා, ඊළාම් කොඩියක් එසවෙනවා. අපේ රණවිරුවො දිවි පුදලා, අතපය දීලා බේරා ගත්ත නිජබිමේ වෙනම රාජ්‍යයක් බිහිවෙනවා.

අනිත් පැත්තෙන් මේ රටේ දකුණේ ඉන්න මිනිසුන්ට ඡන්ද අයිතිය නැති වෙනවා.

එක පැත්තකින් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා අසරණ වුණා. ඔහුගේ ජීවිතය, ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජීවිතය. දැන් දකිනවානේ සිද්ධ වෙන දේ, මැතිවරණය ඉවර වෙන්න ඕන මේවායේ ඉතිරි ටික එළියට එන්න.

වැරදිලාවත් මෛත්‍රීපාල ජනාධිපතිවරයාව ඝාතනය වුණානම් කවුද මේ රටේ ජනාධිපති වෙන්නේ, රනිල් වික්‍රමසිංහ. අවුරුද්දක් යනකම් මොකුත් කරන්න බෑ. එයාට අවුරුද්දක් හොඳටම ඇති රට කන්න. අවුරුද්ද ඇතුළත එයා ඕන දෙයක් කරලා දායි. එතකොට රනිල් වික්‍රමසිංහ අගමැති. ජනාධිපති වෙනවා. මෙන්න මේ වගේ භයානක ඉලක්කයක්, මේ ඉලක්කය නිසා තමයි මහින්ද මහත්තයට සිද්ධ වුණේ මේ අමාරු වෙලාවේ අගමැතිකම ගන්න. එදා 2005ත් එතුමා ජනාධිපතිකම ගත්තේ මේ වගේ අමාරු වෙලාවක. සුනාමියෙන් ව්‍යසන වෙච්ච රටක්. බෙදුණු රටක්, ආර්ථිකය කඩා වැටිච්ච රටක්, පාරක් තොටක් හැදිච්ච නැති අස්ථාවර රටක් තමා මහින්ද මහත්තයා භාර ගත්තේ.

දැන් අපිට ප්‍රශ්නයක් තිබෙනවා අපිට 113ක් හදන්න. හැබැයි 113 හදන්න ගියාම අපිත් එක්ක සම්බන්ධ වෙච්ච අනිත් පක්ෂ හැසිරෙච්ච ආකාරය තමුන්නාන්සේලා දැක්කා. අපි ඒ වෙනුවෙන් කැප කිරීම් කළා. අපි කිවුවා අනේ අගමැතිතුමනි, ඇමැතිකම් ඔක්කොම හරි දෙන්න. දීලා ගන්න කාට හරි ඇමැතිකම් දෙන්න අපිට ඕන ඔබතුමා අගමැතිකමේ ඉන්න විතරයි. අපිට ඇමැතිකම් එපා.

මහින්ද රාජපක්ෂ මහතා ගන්න ඕනම තීරණයක දී අපි එතුමා සමඟ එකට හිට ගන්නවා. හරි හෝ වැරැදි වෙන්න පුළුවන්. දේශපාලනයේ දී ගන්න තීන්දු තීරණ හැම වෙලේම හරි වෙන්නේ නැහැනේ. සමහර වෙලාවට නවයක් හරි ගිහින් එකක් වරදිනවනේ. අපි කොතනද ඉන්න ඕන. නායකයා ගත්තු තීන්දුවත් එක්ක හිට ගන්න ඕනෑ. ඒ නිසා නායකයා ගත්තු තීන්දුවත් එක්ක කවුරු නැතත් මට විශ්වාසයි ඔබ හිටගෙන තියෙනවා. ඔබ මහින්ද මහත්තයා එක්ක ඉන්නවා. ශ්‍රී ලංකාව වටේම ගිහිල්ලා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ශ්‍රී ලංකාවේ දැවැන්තම පක්ෂය බවට පරිවර්තනය කරන්න අපි දෙන පණිවිඩය අපි ජනතාව තුළින් දකින්න ඕනෑ.

ඒ නිසා දැනට අපේ නීතිඥ මහත්වරු අධිකරණය තුළ ගෙහැර පාපු සියලුම කරුණු කාරණා අනුව මම විශ්වාස කරනවා ඉතාම හොඳ තීන්දුවක් ලැබෙයි කියලා මහ මැතිවරණයකට යෑමට. හැබැයි එය නොවෙයිනම් අධිකරණය කරන්නේ රට ඉස්සරහට යන්න බැරිවෙයි. ආයෙත් මැතිවරණයක් නෑ කියලා කිවුවොත් කවුද පාලනය කරන්නේ මේ රට. ජනාධිපතිවරයා කිවුවා 225 ම අත්සන් කළත් රනිල්ට දෙන්නේ නෑ කියලා අගමැතිකම. එහෙනම් මොකක්ද වෙන්නේ, මහ ප්‍රශ්නයක් මේක.

එහෙනම් ඒ විදිහට දුන්නොත් අපිට පුළුවන් ඉලක්කයක් හදන්න. හැබැයි එහෙම නොදුන්නොත් 113ක් හදන්න බැරිනම් අපි මහින්ද මහත්තයාගෙන් ඉල්ලීම කරන්නේ අනේ ඔබතුමාගේ නායකත්වයත් එක්ක අපි යමු විපක්ෂයට නැවත ආරම්බ කරමු අපි ජනතාවත් එක්ක අරගෙන යන ගමනට කියලා.

අපේ ඊළඟ ඉලක්කය වෙන්න ඕන මොකක්ද. මේ ගොල්ල පාර්ලිමේන්තු මැතිවරණයකට යන්න දෙන්නෙත් නැත්නම්, පළාත් සභා මැතිවරණයක් දෙන්නෙත් නැත්නම් අපි විපක්ෂයේ වාඩිවෙලා ඉලක්ක කරන්න ඕන 2019 සැප්තැම්බර් මාසය වෙනකොට ජනාධිපති මැතිවරණයකට. 2020 ලබන කොට ශ්‍රී ලංකාවේ මීළඟ ජනාධිපතිවරයා තෝරා පත් කර ගන්නවා. අපි ඒ සඳහා මහින්ද රාජපක්ෂ මහතාගේ ආශිර්වාදය තිබෙන කෙනෙක්ව දැන්ම ඉදන් පෙළ ගස්වන්න ඕනෑ අපේ ජනාධිපති අපේක්ෂකයා විදිහට. ජනාධිපතිවරණය දිනුවම ඔක්කොම හරියනවා. 113 නිකන්ම හැදෙනවා. මැතිවරණයෙන් අපේ අපේක්ෂකයා දිනුවම පසුවදා 113 හිටගෙන ඉන්නවා මහින්ද මහත්තයාගේ ගේ ඉස්සරහා. එහෙම බඩු ඉන්නේ මේකේ. බය වෙන්න එපා 113 හැදෙනවා. දැක්කනේ අපිට කෙල වෙච්ච හැටි. ජනවාරි 08 වැනිදා තිබුණේ ජනාධිපතිවරණයක්. ජනාධිපති පරදිනකොටම අපි අකුලගෙන ගෙදර ආවා.

අගලවත්ත සමූහ
පී. එම්. පත්මසූරි

නව අදහස දක්වන්න