දේශීය තරගවලදී පන්දු යවා නිවැරැදි වෙන්න අකිලට අවස්ථාවක් | දිනමිණ

දේශීය තරගවලදී පන්දු යවා නිවැරැදි වෙන්න අකිලට අවස්ථාවක්

ප්‍රින්ස් ගුණසේකර

ජගත් තහනමට එරෙහි අභියාචනා බෑ

පන්දු යැවීමේ ඉරියව්ව නීති විරෝධී බවට තහවුරුවීමෙන් පසු එම තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කළ නොහැකි බව ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක ඈෂ්ලි ද සිල්වා මහතා පවසයි. තහනම ඉවත්කර ගැනීමට ගත හැකි එකම පියවර වන්නේ ඔහු විසින්ම සිය පන්දු යැවීමේ ඉරියව් නිවැරදි කර යළි පරීක්ෂණය සඳහා පෙනී සිටීම බව ඒ මහතා පැවැසීය. ශ්‍රී ලංකාවේ පැවැත්වෙන අන්තර් ක්‍රීඩා සමාජ ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කිරීම උදෙසා අකිල ධනංජයට බාධාවක් නොමැති හෙයින් පන්දු යැවිමේ ඉරියව්ව නිවැරදි ආකාරයට සකස් කර ගැනීමට අවස්ථා ඇතැයි සිල්වා මහතා පැවැසීය.

අකිලගේ පන්දු යැවීම නිවැරදි බවට දේශීය පුහුණුකරුවන් තහවුරු කිරීමෙන් අනතුරුව නැවතත් ජාත්‍යන්තර පරීක්ෂණයට මුහුණ දී එම පරීක්ෂණයෙන් සමත් වුවහොත් ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට එක්වීමේ අවස්ථා හිමිවනු ඇත. නිමා වූ ශ්‍රී ලංකා - එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ ගාල්ලේ පැවැති පළමු තරගයෙදී අකිලගේ පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බවට විනිසුරුවෝ තීරණය කළහ. ඒ නිසා ඔහුට තෙවැනි ටෙස්ට් තරගයේ සිට ක්‍රීඩා කිරීමේ අවස්ථා අහිමිවිය.

අනතුරුව අකිල සිය පන්දු යැවීමේ ඉරියව්ව පරීක්ෂා කිරීම සදහා පසුගිය මස 20වැනිදා ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බෙන් නුවර බලා පිටත්ව ගිය අතර එම විද්‍යාත්මක පරීක්ෂණවලදී ඔහුගේ ඉරියව්ව නීති විරෝධී බවට තහවුරුවී මේ තාවකාලික තහනම පැනැවුණි. අකිල ධනංජයගේ පන්දු යැවීමේ විලාසය නීති විරෝධී බව ස්වාධීන පරීක්ෂණයක් මගින් තීන්දු කර ඇතැයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිල නිවේදනයක් ද නිකුත් කළේය. ජාත්‍යන්තර ක්‍රිකට් තරගවලට අදාලව පන්දු යැවීම වහා ක්‍රියාත්මක වන පරිදි තහනම් කර ඇති බව එම නිවේදනයේ සදහන් වේ.

ජාත්‍යන්තර ක්‍රිකට් නීතිය අනුව පන්දු යවන්නෙකුට පන්දු යවන අත අංශක 15 ඉක්මවා යැවිය නොහැකි බවත්, අකිල එම සීමාව ඉක්මවා පන්දු යවන බවත් පරීක්ෂණයෙන් අනාවරණයවී තිබේ. මෙවැනිම චෝදනාවක් ලොව අංක එකේ පන්දු යවන්නා වූ මුත්තයියා මුරලිදරන්ට ද එල්ලවූ අතර පරීක්ෂණ කිහිපයකින් අනතුරුව ඔහු නිදහස ලබා ජාත්‍යන්තර පිටියට එක්විය.

අකිල ධනංජය කොළඹ කෝල්ට්ස් ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කරන අතර තහනමින් පසුව සැරසන්ස් හා සී. සී. සී. කණ්ඩායම්වලට එරෙහිව අන්තර් ක්‍රීඩා සමාජ පළමු පෙළ තරග දෙකකට සහභාගී විය. එම තරග දෙකේදී ඔහු ලකුණු 233කට කඩුලු 5ක් දවා ගත්තේය.

නව අදහස දක්වන්න