මත්ද්‍රව්‍ය සම්බන්ධ මරණ දණ්ඩනයට සිදු වූ දේ ජනපති කියයි | දිනමිණ

මත්ද්‍රව්‍ය සම්බන්ධ මරණ දණ්ඩනයට සිදු වූ දේ ජනපති කියයි

මත්ද්‍රව්‍ය ජාවාරම හේතුවෙන් මරණ දණ්ඩනය නියමව දඩුවම් ලබමින් සිටියදීත් මත්ද්‍රව්‍ය ජාවාරම් කටයුතු සඳහා සම්බන්ධවන සිරකරුවන්ට මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට පසුගියදා ගත් තීරණය රටේ, ජාතියේ සහ මතු පරපුරේ අනාගතය වෙනුවෙන් කඩිනමින් ක්‍රියාවට නැංවීමට අවශ්‍ය කටයුතු සිදු කළ යුතු බව ජනාධිපතිතුමා පවසයි.
 
මරණ දණ්ඩනය ලබාදිය යුතු පුද්ගලයන් පිළිබඳ වාර්තා කැඳවීමේ දී එම ලිපි ලේඛන ඉදිරිපත් කිරීමට අදාළ ආයතන නිසි පරිදි කටයුතු නොකිරීම හේතුවෙන් තීන්දුව ක්‍රියාවට නැංවීම ප්‍රමාද වි ඇති අතර, ඒ පිළිබඳ පරික්ෂණයක් ඉදිරියේ දී සිදු කිරීමට අපේක්ෂා කරන බව ද ජනාධිපතිතුමා පැවසීය.
 
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව ප්‍රකාශ කළේ මත්ද්‍රව්‍ය ජාවාරම මර්දනය සහ අපරාධ අවම කිරීමට අදාළ නීති සංශෝධනය පිළිබඳ අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී ය.
 
මත්ද්‍රව්‍ය ජාවාරම මර්දනය කිරීමට තිබෙන නීති කිසිසේත් දුර්වල නොකළ යුතු අතර ජාවාරම්කරුවන්ට පැන යාමට කිසිදු හිඬැසක් නොතබා එම නීති ශක්තිමත් කිරීමේ වැදගත්කම පෙන්වා දුන් ජනාධිපතිතුමා සුරාබදු දෙපාර්තමේන්තුව ඇතුළු සියලු ආයතන එහි දී සහයෝගයෙන් යුතුව රටේ මහජනතාවගේ යහපත උදෙසා තීන්දු තීරණ ගැනීමේ වැදගත්කම අවධාරණය කළේය.
 
මත්ද්‍රව්‍ය නිවාරණය සහ අපරාධ අවම කිරීමට අදාළ පනත් කෙටුම්පත, සුරාබදු ආඥා පනතේ 46 සහ 47 වගන්ති සංශෝධනය, විෂ මත්ද්‍රව්‍ය ආඥා පනත සංශෝධනය, බන්ධනාගාරවල ආරක්ෂාව සඳහා විශේෂ කාර්ය බලකායේ සහය ලබා ගැනීම මෙන්ම වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් බූස්ස බන්ධනාගාරය වෙත මාරු කිරීමේ කටයුතු පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට බඳුන් කෙරිණි.
 
නීති විරෝධී මත්ද්‍රව්‍ය වැටලීම්වල දී පොලිස් නිලධාරින්ට මුහුණදීමට සිදුව ඇති ගැටලු කඩිනමින් නිරාකරණය කර ගැනීම පිළිබඳව ද මෙහිදී විශේෂ අවධානය යොමු කෙරුණු අතර, ඒ පිළිබඳ පසුගිය නොවැම්බර් 27 වන දා පැවති සාකච්ඡාවේ දී ගත් තින්දු තීරණ ක්‍රියාවට නැංවීමේ ප්‍රගතිය ද සමාලෝචනය කෙරිණි.
 
නීතිවිරෝධි මත්ද්‍රව්‍ය වැටලීම්වලට අදාළ වර්තමාන ප්‍රගතිය පිළිබඳ මෙහිදී ජනාධිපතිතුමා කරුණු විමසූ අතර, මත්ද්‍රව්‍ය වැටලීම්වලට සම්බන්ධවන නිලධාරින් දිරිමත් කිරීමේ විශේෂ වැඩසටහනක් අමාත්‍යාංශය හරහා ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බව ද කියා සිටියේය.මෙතෙක් සිදු කළ වැටලම්වල දී ජීවිත අහිමි වූ නිලධාරින්ගේ තොරතුරු ඇතුළත් වාර්තාවක් ලබාදෙන ලෙස උපදෙස් දුන් ජනාධිපතිතුමා ඔවුන්ගේ පවුල්වල සුබසාධනය උදෙසා ද වැඩපිළිවෙළක් සකස් කරන බව ප්‍රකාශ කළේය.
 
එමෙන්ම මත්ද්‍රව්‍ය අලෙවිය සඳහා බලපත්‍ර තිබියදීත් ඒවා ප්‍රදර්ශනය නොකිරීම සහ ඉදිරිපත් නොකිරීම, වරදක් සේ සලකා නීතිය ක්‍රියාත්මක කිරීමට නීති සංශෝධනය කිරීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කෙරිණි. මාර්ග ආරක්ෂාව, මාර්ග අනතුරු වැළැක්වීම, පදික ජනතාවගේ ආරක්ෂාව, ත්‍රිරෝද රථ සහ යතුරුපැදි ප්‍රමිතිය, රියදුරු පාසල් ප්‍රමිතිකරණය ඇතුළු කටයුතු පිළිබඳව ද මෙම සාකච්ඡාවේදී විශේෂ අවධානයක් යොමු කෙරිණි.
 
ගරු නීතිපති ජයන්ත ජයසූරිය, ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් හේමසිරි ප්‍රනාන්දු, පොලිස්පති පූජිත ජයසුන්දර යන මහත්වරුන් ද සුරාබදු කොමසාරිස් ජනරාල් ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරු සහ රාජ්‍ය නිලධාරිහු මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

අදහස් 1ක් ඇත

At last, now president can do it. The president should show his commitment to implement it now. It’s is reponsibility to prove he is a man.

නව අදහස දක්වන්න