හැව්ලොක්ස් පිල අපරාජිත බව රැක ගනී | දිනමිණ

හැව්ලොක්ස් පිල අපරාජිත බව රැක ගනී

ෆවුස් මොහොමඩ්

උත්සාහක දිනුම් දෙක බැගින් තැබූ චාමර දාබරේගේ සහ දුෂ්මන්ත ප්‍රියදර්ශනගේ විශිෂ්ට දස්කම් හේතුවෙන් සී.ආර්.ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජයට එරෙහිව ලකුණු 31-22ක ජයක් ලබාගත් හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය අන්තර් සමාජ පළමුපෙළ ලීග් රග්බි තරගාවලියේ පස්වැනි සතියේදිත් සිය අපරාජිතභාවය රැකගත්තේය.

සී.ආර්.පිටියේ පෙරේදා පස්වරුවේ පැවැති මේ තරගයේ ආරම්භයේ සිටම පෙරමුණ ගත් හැව්ලොක්ස් පිල පළමු භාගය නිමාවනවිට ලකුණු 21-5කින් පෙරමුණ ගත් අතර තරගය නිමා කළේ ගෝල් 3ක් සහ උත්සාහක දිනුම් 2ක් සමගිනි. පරාජිත සී.ආර්.පිලට රැස් කිරීමට හැකි වූයේ ගෝල් 2ක්, උත්සාහක දිනුමක් සහ දඬුවම් පහරක් පමණි.

චාමර දාබරේ තැබූ උත්සාහක දිනුමක් රීසා මුබාරක් විසින් ගෝලයක් බවට පත්කරනු ලැබීමෙන් ලකුණු 7-0කින් තරගය ආරම්භ කළ අතර 35වැනි මිනිත්තුව වනවිටත් ඒකපාර්ශ්වික තරගයක් බවට පත්වී තිබීම මඟහරවා ගැනීමට සී.ආර්.පිල සමත්වූයේ රාහුල් ද සිල්වා තැබූ උත්සාහක දිනුමත් සමගිනි. එහෙත් ඊට මොහොතකට පසුව දුෂ්මන්ත ප්‍රියදර්ශන සහ ලිස්ටන් ෆ්ලැට්නි පිට පිට තැබූ උත්සාහක දිනුම් දෙකම ගෝල බවට පත් කිරීමට මුබාරක් සමත්විය.

දෙවැනි භාගයේදි නව සැලසුමකින් යුතුව ක්‍රීඩා කළ සී.ආර්.පිල ලකුණු 12කින් ඉදිරියට ගෙන ගිය තරින්ද රත්වත්ත ඔහු විසින්ම තැබූ උත්සාහක දිනුම ගෝලයක් බවට පත් කළේය. අනතුරුව සිය දෙවැනි උත්සාහක දිනුම තබමින් දුෂ්මන්ත ප්‍රියදර්ශන හැව්ලොක්ස් පිලේ ලකුණු සංඛ්‍යාව 26 දක්වා ඉහළට ඔසවා තැබුවේය.

ඊට මොහොතකට පසුව තරින්ද රත්වත්ත දඬුවම් පහරක් එල්ල කරමින් සී.ආර්.පිලට ලකුණු 3ක් ගෙනදුන් අතර ගයාන් ඩිල්ෂාන් තැබූ අනගි උත්සාහක දිනුමක් ගෝලයක් බවට පත් කරමින් සිය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව 22 දක්වා ඉහළ දැමුවේ හැව්ලොක්ස් පිලට පීඩනයක් එල්ල කරමිනි. එහෙත් අවසන් මිනිත්තු කිහිපය පුරා දැඩි සටනක නිරතවූ හැව්ලොක්ස් පිලේ ජයග්‍රහණය තහවුරු කළ චාමර දාබරේ සිය දෙවැනි උත්සාහක දිනුම තබමින් සිය කණ්ඩායමේ අපරාජිතබව රැකගත්තේය.

නැවියෝ ජය ගනිති

මේ අතර යුද හමුදා පිලට එරෙහිව පසුගියදා රත්මලාන ගුවන් හමුදා පිටියේ පැවැති තරගයෙන් ලකුණු 29-14ක ජයක් වාර්තා කිරීමට නාවික හමුදා කණ්ඩායම සමත්විය. තරගයේ පළමු භාගය නිමාවනවිට ලකුණු 26-14කින් පෙරමුණ ගැනීමට සමත්වූ නාවික හමුදා පිලට පෙරමුණ රැක ගැනීමට දෙවැනි භාගයේදි දැඩි සටනක නිරතවීමට සිදුවූ අතර එම කාලය තුල වාර්තා වුයේ දඬුවම් පහරක් පමණි.

නාවික හමුදා පිලේ ලකුණු සංඛ්‍යාවට ගෝල් 3ක්, උත්සාහක දිනුමක් සහ දඬුවම් පහරක් ඇතුළත් වූ අතර යුද හමුදා පිල ගෝල් දෙකක් රැස් කළේය.

 


නව අදහස දක්වන්න