කළුතර පාපන්දු විනිසුරු වර්ජනය | දිනමිණ

කළුතර පාපන්දු විනිසුරු වර්ජනය

බේරුවල සුපර් සන්-රෙඩ් ස්ටාර් තරග ගමටත් නෑ-කොළඹත් නෑ

බේරුවල සුපර් සන් ක්‍රීඩා සමාජය හා බේරුවල රෙඩ් ස්ටාර් ක්‍රීඩා සමාජය යන කණ්ඩායම් දෙකම ඊයේ කළුතර පැවැත්වීමට නියමිතව තිබූ තරග කොළඹට ගෙන ඒමට විරෝධය පෑම හේතුවෙන් ඒවා කල් දැමීමට පාපන්දු සම්මේලනයට සිදුවෙයි.

සුපර් සන් - මාතර සිටි අතර කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ හා රෙඩ් ස්ටාර් - යුද හමුදාව අතර බැද්දගාන ක්‍රීඩා පිටියේ ඊයේ තරග දෙක පැවැත්වීමට කටයුතු යොදා තිබූණද සුපර් සන් පිල හා රෙඩ් ස්ටාර් ක්‍රීඩා සමාජ කළුතරින් කොළඹට පැමිණීමට අකමැත්ත පළ කිරීමෙන් තරග නොපැවැත්වුණි. තරග කාල සටහන පරිදි මේ තරග කළුතරදී පැවැත්විය යුතු වුවද පාපන්දු විනිසුරුවන් කළුතර වර්නන් ප්‍රනාන්දු පිටියේ පැවැත්වීමට නියමිත ඉදිරි තරග වර්ජනය කොට ඇති හෙයින් කොළඹට රැගෙන ඒමට පාපන්දු සම්මේලනයට සිදුව ඇත.

බේරුවල සුපර් සන් හා රෙඩ් ස්ටාර් ක්‍රීඩා සමාජ දෙකම කළුතරදී තරග නොපැවැත්විය යුතු බවත් ඔවුන්ට අදාල තරග සදහා කළුතරින් පිටත ක්‍රීඩාංගණ සොයා ගන්නා ලෙසත් පාපන්දු සම්මේලනය පසුගිය සතියේ දැනුම් දී ඇත. මේ දැනුම්දීම කර ඇත්තේ අන්තර් ක්‍රීඩා සමාජ චැම්පියන් ලීග් පාපන්දු තරගාවලියේ කළුතරදී පැවැති කොළඹ පාපන්දු සමාජය හා බ්ලූස්ටාර් අතර තරගය නිමාවීමත් සමග නරඹන්නන් කඩාවැදී තරග විනිසුරුට පහරදීමේ සිද්ධියෙන් පසුවය.

ඇතිවී තිබෙන අනාරක්ෂිත තත්ත්වය මත කළුතර වර්නන් ප්‍රනාන්දු ක්‍රීඩාංගණයේ පැවැත්වෙන කිසිදු තරගයකට සහභාගී නොවී වර්ජනය කිරීමට පාපන්දු විනිසුරුවෝ තීරණය කර ඇති හෙයින් සුපර් සන් හා රෙඩ් ස්ටාර් තරග කළුතරදී පැවැත්වෙන්නේ නම් පාපන්දු විනිසුරුවන් ලබාදීමේ ගැටලු පැන නගින බව සම්මේලනය පෙන්වා දී ඇත. එහෙත් පාපන්දු විනිසුරුවරුන්ට පහරදීමේ සිද්ධිවලට කිසිදු සම්බන්ධයක් නැති සුපර් සන් හා රෙඩ් ස්ටාර් ක්‍රීඩා සමාජවලට කළුතර සුපුරුදු ක්‍රීඩාංගණයේ තරග තහනම් පැනවීම බලවත් අසාධාරණයක් බව එම ක්‍රීඩා සමාජ ප්‍රධානීහූ ලිඛිතවම පාපන්දු සම්මේලනය දැනුම්වත් කර ඇත. කළුතරදී පැවැත්වෙන තරගයකින් තම ක්‍රීඩා සමාජයට ප්‍රවේශපත් ආදායමක් ලැබෙන අතර එයින් එම තරගය පැවැත්වීමට අදාල සියලු වියදම් පියවා ගැනීමේ අවස්ථා උදාවන බව සුපර්සන් කණ්ඩායම් කළමනාකාරිත්වය පාපන්දු සම්මේලනයට දැනුම්දී තිබේ.

තවද කළුතර පැවැත්වෙන තරගය කොළඹට ගෙන ඒමෙන් අදායම සම්පූර්ණයෙන්ම අහිමවන අතර, රුපියල් 75000ක් පමණ අමතර වැයක් දැරීමට සිදුවන බව ද සිහිපත් කොට ඇත. චැම්පියන් ලීග් පාපන්දු තරගාවලියට බලවත් ආර්ථික අපහසුකම් මැද සහභාගීවී සිටින පාපන්දු කණ්ඩායම්වලට අවශ්‍ය පොලිස් ආරක්ෂාව ලබාදී පහසු ලෙස තරග කාල සටහන සකස් කර දෙන ලෙසද ඉල්ලා සිටී. තවද පාපන්දු සම්මේලනය චැම්පියන් ලීග් පාපන්දු තරගාවලිය වෙනුවෙන් රුපියල් ලක්ෂ 3ක් ලබාදෙන බව පැවැසුවද මේ වනතුරු එම මුදල් නොමැතිව අපහසුතා විදින අතර පාපන්දු 20ක් ලබාදෙන බව බව පැවැසූවද එයින් ක්‍රීඩා සමාජ වෙත ලැබී ඇත්තේ පාපන්දු 10ක් පමණක් බවද ක්‍රීඩා සමාජ පෙන්වා දෙති.

කළුතර වර්නන් ප්‍රනාන්දු ක්‍රීඩා පිටියේ කළහකාරී තත්ත්වයෙන් නිමාවට පත්වූ තරගය හේතුවෙන් කළුතරදී පැවැත්වීමට නියමිත ඉදිරි තරග 3ක් තහනම් කෙරුණු අතර බ්ලූස්ටාර් පුහුණුකරු මොහොමඩ් පිච්චෙයි මහතාට තරග 5ක තහනමක් හා රුපියල් 15000ක දඩයක්ද, බ්ලූ ස්ටාර් ක්‍රීඩා සමාජයේ ලේකම් මොහොමඩ් ජුමාල් මහතාට තරග 3ක තහනමක් හා රුපියල් 10000ක දඩයක් ද නියම වෙයි. එම සියලු මුදල් එම තරගයේදී පහරදීමට ලක්වූ විනිසුරු මොහොමඩ් අසාඩ් මහතාට වන්දි වශයෙන් ගෙවන ලෙස නියෝග කිරීමට පාපන්දු සම්මේලනයේ තරග කමිටුව පියවර ගෙන ඇත.

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය පැනවූ අසාධාරණ තහනමට එරෙහිව වහාම අභියාචනාවක් ඉදිරිපත් කරන බව කළුතර බ්ලූස්ටාර් ක්‍රීඩා සමාජයේ පරිපාලන කළමණාකරු මොහොමඩ් රිස්වාන් මහතා ‘දිනමිණ’ ට පැවැසීය. ඒ මහතා සඳහන් කළේ කළුතරදී තරග තහනම් කිරීමේ තීරණය වෙනස් නොකළහොත් චැම්පියන් ලීග් තරගාවලියෙන් ඉවත්වීමට තම ක්‍රීඩා සමාජය දැනටමත් තීරණය කොට ඇති බවයි

නව අදහස දක්වන්න