පුහුණු තරගයේදී මැතිව්ස්ගෙන් ශතකයක් | දිනමිණ

පුහුණු තරගයේදී මැතිව්ස්ගෙන් ශතකයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ නවසීලන්ත ක්‍රිකට් ආයතන කණ්ඩායම අතර නේපියර්හිදී පැවැත්වෙන තුන්දින පුහුණු තරගයේ ශ්‍රී ලංකා පළමු ඉනිමේදී ශතකයක් වාර්තා කිරීමට ඇන්ජලෝ මැතිව්ස් සමත් විය.

ශ්‍රී ලංකා පිල පළමු ඉනිමට කඩුලු 9ක් දැවී ලකුණු 210ක් රැස්කළ අතර නවසීලන්ත ක්‍රිකට් ආයතනය පිල කඩුලු 8ක් දැවී ලකුණු 270ක් රැස් කළේය.

තරගයේ දෙවැනි දිනය වූ ඊයේ ක්‍රීඩාව නතර කරනවිට දෙවැනි ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කඩුලු 2ක් දැවී ලකුණු 160ක් රැස්කර තිබුණේ ලකුණු 100කින් පෙරමුණ ගනිමිනි.

ධනංජය ද සිල්වා ලකුණු 19ක් සහ කුසල් මෙන්ඩිස් ලකුණු 11ක් ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියහ.

ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේදී ධනුෂ්ක ගුණතිලක පන්දු 77කදී හතරේ පහර 12ක් සහ හයේ පහරක් සමග ලකුණු 83ක් රැස්කළ අතර ළහිරු තිරිමාන්න පන්දු 83කින් ලකුණු 45ක් ඉනිමට එක්කළේය.

ශ්‍රී ලංකා පළමු ඉනිමේදී ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු 128ක් රැස්කළේ පන්දු 177කිනි. ඔහුගේ ඉනිම හතරේ පහර 19කින් සහ හයේ පහර 3කින් වර්ණවත් විය. දිනේෂ් චන්දිමාල් ලකුණු 26ක්, සුරංග ලක්මාල් ලකුණු 10ක් සහ ළහිරු කුමාර ලකුණු 12ක් ඉනිමට එක්කළ අතර පිතිකරුවන් පස්දෙනකු ලකුණු නොලබා දැවී ගියහ.

හතරේ පහර 7ක් සමගින් පන්දු 106කින් ලකුණු 69ක් රැස්කළ සන්දීප් පටෙල් නවසීලන්ත ක්‍රිකට් ආයතන ඉනිමේ වැඩිම ලකුණුලාභියා විය.

ශ්‍රී ලංකා පළමු ඉනිම - 210/9 (ඕවර 59) ඉනිම අත්හිටුවන ලදි. ඇන්ජලෝ මැතිව්ස් නොදැවී 128 (බ්ලේක් කෝබන් 44/3, පීටර් යංග්ස්බෑන්ඩ් 25/2, මයිකල් ස්නේඩ්න් 29/2) සහ දෙවැනි ඉනිම - 160/2 (ඕවර 37) ධනුෂ්ක ගුණතිලක 83, ළහිරු තිරිමාන්න 45

නවසීලන්ත ක්‍රිකට් ආයතන පළමු ඉනිම - 270/8 (ඕවර 82) ඉනිම අත්හිටුවන ලදි. සන්දීප් පටෙල් 69, කැටේන් ක්ලාක් 46 (ඩිල්රුවන් පෙරේරා 30/2, ලක්ෂාන් සඳකැන් 67/2)

නව අදහස දක්වන්න