ශ්‍රී ලංකාවට ලකුණු 109ක ජයක් | දිනමිණ

ශ්‍රී ලංකාවට ලකුණු 109ක ජයක්

නිරෝෂාන් ප්‍රියංකර

ශ්‍රී ලංකා නැඟී එන ක්‍රිකට් කණ්ඩායම ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ඊයේ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති තරගයෙන් සංචාරක ඕමාන ක්‍රිකට් කණ්ඩායම පරදවා ලකුණු 109ක ජයක් අත්කර ගත්තේය.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිල කඩුලු 5ක් දැවී ලකුණු 324ක් රැස්කළ අතර එම ඉලක්කය හඹාගිය ඕමානයට ඕවර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 215ක් පමණි.

ඕමාන පිළිතුරු ඉනිමට ට්වින්කල් කුමාර් සහ ජටින්ඩර් සිං ලකුණු 74ක සබඳතාවකින් සාර්ථක ආරම්භයක් ලබා දුන්නද ශ්‍රී ලංකා පන්දු යවන්නන් හමුවේ සෙසු පිතිකරුවන්ට සාර්ථක වීමට අවස්ථාවක් නොලැබිණි.

ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ සිං ලකුණු 36ක් රැස්කළ අතර ට්වින්කල් ලකුණු 32කටත් දැවී ගියේය.

අජේ ලාල්චෙටා පන්දු 35කින් ලකුණු 34ක් රැස්කරමින් කණ්ඩායම පරාජයෙන් ගලවා ගැනීමේ උත්සාහයක නිරතවුවද එය අසාර්ථක විය. පන්දු යැවීමේදී ශම්මු අශාන් සහ ෂෙහාන් මධුසංක කඩුලු 2 බැගින් දවා ගත්හ.

පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ඉනිමට සාර්ථක ආරම්භයක් ලබාදුන් අවිශ්ක ප්‍රනාන්දු සහ සඳුන් වීරක්කොඩි පළමු කඩුල්ලට ලකුණු 81ක් එක් කළහ. වීරක්කොඩි ලකුණු 29කට දැවී යෑමෙන් එම සබඳතාව බිඳ වැටුණු අතර ලකුණු 98ක් වෙද්දී අවිශ්කගේ ඉනිමද නිමාවට පත්විය. ඔහු පන්දු 54කදී හතරේ පහර 9ක් සමගින් ලකුණු 56ක් රැස් කළේය. මේ පිතිකරුවන් දෙදෙනාම ජයේෂ් ඔඩේරාට ගොදුරු විය.

නායක චරිත් අසලංක (10) ආබාධයක් හේතුවෙන් මුළු ලකුණු 120දී පිටියෙන් ඉවත්වීමෙන් අනතුරුව පිටියට පිවිසි කමිඳු මෙන්ඩිස් සාර්ථක සබඳතා දෙකක් පිහිටුවමින් ශ්‍රී ලංකා නැඟී එන කණ්ඩායම ලකුණු 300 සීමාවට රැගෙන ගියේය.

ඔහු, හසිත බෝයගොඩ සමගින් 3වැනි කඩුල්ලට ලකුණු 102ක් සහ උප නායක සම්මු අශාන් සමගින් 5 වැනි කඩුල්ලට ලකුණු 68ක් එක් කළේය.

ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ බෝයගොඩ මුළු ලකුණු 223දී 3වැනි කඩුල්ලේ සබඳතාව නිමා කරමින් දැවී ගියේය. හතරේ පහර 6කින් සහ හයේ පහරකින් ඉනිම වර්ණවත් කරගත් බෝයගොඩ පන්දු 94කින් ලකුණු 80ක් රැස් කර තිබිණි. ජයේෂ් ඔඩේරා තෙවැනි කඩුල්ල ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩකයා වූ අසේල ගුණරත්න ලකුණු 3කට ස්ටම්ප් කිරීමට හසුකර ගත්තේය. 5 වැනි කඩුල්ලට පිටියට පිවිසි සම්මු අශාන් වේගවත් ඉනිමක් දියත් කරමින් පන්දු 34කින් නොදැවී ලකුණු 57ක් රැස් කළේ හතරේ සහ හයේ පහර 3 බැගින් එල්ල කරමිනි.

ඉනිමේ බිඳ වැටුණු අවසන් කඩුල්ල ලෙස කමිඳු මෙන්ඩිස් දැවී ගියේ බෝයගොඩ දවාගත් බිලාල් ඛාන්ගේම පන්දුවකට කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවෙමිනි. ඔහු හතරේ පහර 6ක් සහ හයේ පහරක් සමගින් පන්දු 62කින් ලකුණු 75ක් ලබා ගත්තේය.

මේ අතර සී.සී.සී. පිටියේ පැවැති ‘ඒ’ කාණ්ඩයේ අනෙක් තරගයෙන් ඇෆ්ගනිස්තානය ලකුණු 74කින් පරාජයට කිරීමට ඉන්දියාවට හැකිවිය.

‘බී’ කාණ්ඩය යටතේ පාකිස්තානයේ ඊයේ පැවැති තරගවලින් හොංකොං පිලට එරෙහිව බංග්ලාදේශය ලකුණු 28කින්ද, එක්සත් අරාබි එමීර් පිලට එරෙහිව සත්කාරක පාකිස්තානය කඩුලු 9කින්ද ජයග්‍රහණ වාර්තා කළහ.

අද (8) සත්කාරක ශ්‍රී ලංකාව සී.සී.සී පිටි‍යේදී ඇෆ්ගනිස්තානය සමගින් තරග වදින අතර ඕමානය සහ ඉන්දියාව ආර්.ප්‍රේමදාස පිටියේදී තරග බිමට පිවිසෙයි.

පාකිස්තානයේ පැවැත්වෙන ‘බී’ කාණ්ඩයේ මූලික වටයේ අවසන් තරගවලදී හෙට (9) සත්කාරක පාකිස්තානය - බංග්ලාදේශය එරෙහිවත්, හොංකොං පිල එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමගත් තරග වැදිමට නියමිතය.

ශ්‍රී ලංකා නැඟී එන පිල - 324/5 (ඕවර 50) හසිත බෝයගොඩ 80, කමිඳු මෙන්ඩිස් 75, සම්මු අශාන් නොදැවී 57, අවිශ්ක ප්‍රනාන්දු 56 (ජයේෂ් ඔඩේරා 47/3, බිලාල් ඛාන් 61/2)

ඕමාන පිල - 215/8 (ඕවර 50) ජටින්ඩර් සිං 36, අජේ ලාල්චෙටා 34 (සම්මු අශාන් 34/2, ශෙහාන් මධුසංක 45/2)

නව අදහස දක්වන්න