දඟමල්ලක් ගී රැල්ලක් | දිනමිණ

දඟමල්ලක් ගී රැල්ලක්

ෆවුස් මොහොමඩ්
පවරී අමරසා

‘සංස්කෘතික බැඳීම්වලින් කොටුවෙලා, විවාහයෙන් පස්සේ ගෙදර බිත්ති හතරට කොටුවුණු ජීවිතයක් ගත කරනවා නම් හැකියාවන් තියෙන ගැහැනු ළමයින්ට ඒක ඉදිරියට යන්න තියෙන අවස්ථා මඟ හැරී යාමක්. එවැනි අවස්ථා ගිලිහී යනවානම් ඒක ලොකු අපරාධයක් විදිහටයි මම නම් දකින්නේ.’

අපෝ මං ඉස්කෝලේ හිටපු දඟම දඟ මල්ලක්. දැන් නම් මගේ ඉස්කෝලේ යාළුවන්ටත් පුදුමයි මං ගැන. ඇත්තටම මේ හැම දෙයක්ම අම්මා තාත්තා නිසා. එයාලා මාවයි මල්ලිවයි ලොකු මිනිස්සු කරන්න නෙවෙයි හොඳ මිනිස්සු කරන්නයි හැමදාම බැලුවේ’

‘කාටවත් වැරැදි කරන්නෙ නැති මිනිස්සුන්ට කවදාවත් වරදින්නෙ නෑ...ජීවිතය වරද්දාගන්නෙ නැතිව යන්න පුළුවන් නම් ගැහැනු ළමයකුට වුණත් ඕනම දෙයක් කරන්න පුළුවනි. ඕනෑම ක්ෂේත්‍රයකින් මුදුනටම යන්න පුළුවනි..වැරැද්දක් නොවන ඕනම දෙයක් කමක් නෑ. මං සතුටින් බාර ගන්නවා. මගේ අනාගතය ගැන එහෙමයි මං හිතන්නේ. ’

ආචාර්ය වික්ටර් රත්නායකයන්ගේ ‘සරස’ නවතම ඒක පුද්ගල සංගීත ප්‍රසංගයේ යුග ගී ගායනයට එක්වෙමින් කාගෙත් අවධානය දිනාගත් 28 හැවිරිදි පවරි අමරසා ජිවිතය දකින්නේ සම්ප්‍රදායික ගැහැනු ළමයින්ට වඩා වෙනස් ආකාරයකිනි.

අහස උසට සිහින මවන...ආදරය වෙනුවෙන් ජීවිතය වුවත් පූජා කරන...ගැහැනු ළමුන් අතර පවරීලා ඇත්තේ අතලොස්සකි. හිතට ළංවුණු පෙම්වතා සමග ඉක්මනින් විවාහ වී දරු සුරතල් බලන්නට සිහින මවන ගැහැනු ළමුන් අතර නම් පවරිලා නැති තරම්ය.

ජීවිතය දිනන්න ඇයට කිසි කළබලයක් නැත. ඇරත් දිනනවාට වඩා ඇය කියන්නේ ජීවිතය සරළව විඳින්නට උවමනා බවය. ඇය අනාගතය ගැන එතරම් ලොකුවට සිහින එකතු කරන්නට ඉක්මන් වන්නේ ද නැත. ඇයට තවම විවාහ වීමේ අදහසක් ද නැත.

‘මම මෙතැනට එන්න හිතාගෙන හිටපු කෙනෙක් නෙවෙයි. ඒ නිසා ඉස්සරහට කොහොම වේවිද කියලා හිතන්න බෑ.’ ඇය කියන්නේ එසේය.

‘මම කාටවත් වරදක් නොකරන තාක්කල් හොඳ ගමනක් යන්න පුළුවන් කියලා හිතන කෙනෙක්. කවදාහරි දවසක සංගීතය පැත්තෙන් ඉස්සරහට යන්න ඕන කියලා කවදාවත්ම හිතුවේ නැ. ඒත් දැන් මම පුංචි ගායිකාවක්. මාව දන්න, මගේ කටහඬට ආසා කරන රසික රසිකාවියන් අතලොස්සක් මට ඉන්නවා කියලා හිතෙන කොටත් පුංචි සතුටක් හිතට දැනෙනවා. ’

‘හිත හිතා බලාපොරොත්තු පොදි බඳින කෙනෙක් නෙවෙයි මං...මම කාටවත් වරදක් කරන කෙනෙකුත් නෙවෙයි. හැම පෝයටම පන්සල් ගිහින් මල් පූජා කරලා කරුණාව, මෛත්‍රීය වඩවා ගත්තත් සමහර මිනිස්සුන්ගේ හිත්වල කොයිතරම් නරක දේවල් තියෙනවද...කොයිතරම් එකිනෙකාට වෛර කරගන්නවද..?’

අප කුඩා වියේදී ඇති තරම් සිහින දකිමු. සැබැවින්ම එසේ දකින සිහින සැබෑ වන්නේ එහෙමත් අවස්ථාවකදීය. කුඩා වියේදී වෛද්‍යවරුන්, ඉංජිනේරුවන් ගුවන්යානා නියමුවන් වන්නට සිහින දකින බොහෝ දරුවන් වැඩිහිටියන් වෙද්දී වෙනත් ක්ෂේත්‍රයන් ඔස්සේ රැකියාවේ නිරතවෙති. සැබැවින්ම පවරී කියන්නේ සිහින නොදුටුවත් තම ජීවිතයත් සංගිතයට ඇදී ගියේ අහම්බයක් බවය. එසේ වුවත් සංගීතය දැන් ඇගේ ජීවිතයට අනපේක්ෂිත පැහැයක් ගෙන දී හමාරය.

එය සිදුවූයේ මීට වසර කිහිපයකට පෙර පැවැති සරසවි සිසු සිසුවියන්ගේ ‘කවිතා’ නිර්මාණ තරගාවලියෙනි. ඇය මේ තරගාවලියට එක්වූයේ මාතර ඉසදීන් නගරයේ උපන් අමරසා සුජාතා විදුහලෙන් අධ්‍යාපනය ලබා සෞන්දර්ය විශ්ව විද්‍යාලයට ඇතුළත්වී සංගීතය හදාරමින් සිටියදීය.

‘අම්මා තමයි ඒ වැඩසටහනට යන්න මාව උනන්දු කළේ. අන්තිමට හිතපු නැති විදිහට මම කවිතා දෙවැනි අදියරේ ජයග්‍රාහිකාව වුණා. ඒ අත්දැකීම් මට ජයග්‍රහණයෙන් ලැබුණු භෞතික දේවල්වලට වඩා වටිනවා. මාස 7ක විතර කාලයක් රෝහණ වීරසිංහයන් වැනි විශිෂ්ට සංගීතවේදින් හමුවේ ලැබු අත්දැකීම් මිල කරන්න බෑ.’

‘මම ඉස්කෝලේ යන කාලේ සංගීතය කළා. මුතුහර ළමා සමාජයටත් එකතුවෙලා හිටියා. ඒ ලෙවල් වලටත් මියුසික් කළා. ඒත් සංගීත ක්ෂේත්‍රය තුළින් ඉදිරියට යන්න ඕන කියලා, අනාගතයේ ගායිකාවක් වෙන්න ඕන කියලා හීනයක් නම් තිබුණේ නෑ.’

‘සංස්කෘතික බැඳීම්වලින් කොටුවෙලා, විවාහයෙන් පස්සේ ගෙදර බිත්ති හතරට කොටුවුණු ජීවිතයක් ගත කරනවා නම් හැකියාවන් තියෙන ගැහැනු ළමයින්ට ඒක ඉදිරියට යන්න තියෙන අවස්ථා මඟ හැරී යාමක්. එවැනි අවස්ථා ගිලිහී යනවානම් ඒක ලොකු අපරාධයක් විදිහටයි මම නම් දකින්නේ.’

පවරී අමරසාගේ ජීවිතය නම් එවැනි සම්ප්‍රදායික මගක් ගත් එකක් නොවිය. සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය හැදෑරීමෙන් පසුව අනාගතය ගොඩනගා ගත යුත්තේ මෙබඳු ආකාරයෙන් යැයි ඇයට බලාපොරොත්තු පොදියක් නොතිබිණි. සිහින කන්දරාවක් තිබුණේම නැත.

මං මුලින්ම වික්ටර් සර්ගේ 75 වැනි උපන්දිනය වෙනුවෙන් කළ ‘වජ්‍ර ප්‍රභා’ ප්‍රසංගයට එක්වුණා. ඒ අවස්ථාව මට උදා කරලා දුන්නේ මගේ කැම්පස් එකේ සර් කෙනෙක්. නිහාල් කළුබෝවිල කියලා. ඒ සර් මගෙන් ඇහුවා වික්ටර් සර් අලුත් ළමයෙක් හොයනවා පවරී කැමතිද කියලා. මං අපේ බැජ් ටොප් වුණෙත් ඒ අවුරුද්දෙමයි. එහෙමයි මං වික්ටර් සර් එක්ක එකතු වුණේ. ඊළඟට සර්ගේ 76 වැනි උපන්දිනයට කළ ‘මගේ නොවන මගේම ගී‘ ප්‍රසංගයට එකතු වුණා. ‘සරස’ට එකතු වුණේ ඊට පස්සෙයි.’

මේ වනවිට ගීත 15කට පමණ හිමිකම් කියන පවරී මුතුකුඩ ටෙලි නාට්‍ය යේ තේමා ගීතය ගයමින් ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයට ද පා තබා සිටීන්නීය. බන්දුල නානායක්කාරවසම් මහතාගේ මහෝඝය ගී මියැසියට එක්වෙමින් ප්‍රවීණ ගායිකාවන්ගේ ගී නැවත ආවර්ජනය කළ ඇය ජීවිතය ගැන, විවාහය ගැන, අනාගතය ගැන සිහින මැවීම පසෙකලා තවමත් අධ්‍යාපන කටයුතුවල නිරතව සිටින්නීය.

‘ලබන මාසයේ 10 වැනිදා මං ඉන්දියාවට යනවා. මගේ සංගීත නිපුන් අවසන් විභාගයට පෙනී සිටින්න. ඒ අතරම මාස්ටර්ස් උපාධීයට සූදානම් වෙනවා.’

දන්නා තරමට තැන්පත් දිවි පෙවෙතක් ගතකරමින් සිටියත් පවරී කියන්නේ කුඩා වියේ එහෙම පිටින්ම දඟ මල්ලකි.

‘අපෝ මං ඉස්කෝලේ හිටපු දඟම දඟ මල්ලක්. දැන් නම් මගේ ඉස්කෝලේ යාළුවන්ටත් පුදුමයි මං ගැන. ඇත්තටම මේ හැම දෙයක්ම අම්මා තාත්තා නිසා. එයාලා මාවයි මල්ලිවයි ලොකු මිනිස්සු කරන්න නෙවෙයි හොඳ මිනිස්සු කරන්නයි හැමදාම බැලුවේ’

ගැහැනු ළමයින්ගේ ජීවිත වෙනස් වන්නේ හිටිහැටියේමය. මාපියන්ගේ අවවාද, උපදෙස් පිළිපදිමින් අධ්‍යාපන කටයුතුවල නිරතවන බොහෝ ගැහැනු ළමයින්ගේ අනාගත‍ය කෙබඳු ස්වරූපයක් ගත යුතුදැයි තීරණය කෙරෙන්නේ පවතින සංස්කෘතික හා සමාජයීය පරිසරයට අනුගතවන ආකාරය අනුවය. බොහෝ ගැහැනු ළමයින්ගේ අනාගතය හැඩ ගැසෙන්නේ මාපියන්ට අවශ්‍ය ආකාරයටය. තම අභිමතය පරිදි අනාගතය හැඩගස්වා ගන්නා ගැහැනු ළමුන් සිටින්නේ අතලොස්සකි. පවරී ඒ අතරින් කැපී පෙනෙන්නේ එනිසාය. අනපේක්ෂිත ලෙසින් ජීවිතයට පැහැයක් එක්වන්නේ නම් එය කවර ක්ෂේත්‍රයකින් වුවත් කම් නැත. අවශ්‍ය වන්නේ පැහැය පමණි.


නව අදහස දක්වන්න