අලින්ට හිතවත් යෝජනාවක් | දිනමිණ

අලින්ට හිතවත් යෝජනාවක්

සකුන්තලා ජයසිංහ

කාලාන්තරයක් තිස්සේ එක තැන පල්වුණු ඇතැම් ප්‍රශ්නවල හානිකර ප්‍රතිඵල එළියට එන්නේ අපි නොසිතන පැතිවලිනි.ඉකුත් කාලවකවානුව තුළ වල් අලි දුම්රියේ ගැටී අවාසනාවන්ත ලෙස මිය යාමේ සිද්ධි කිහිපයක් දිගින් දිගටම වාර්තා වීම මීට ලබා දිය හැකි කදිම සහ ආසන්නතම උදාහරණයක් යැයි සිතමු. වසර විසි හතරක් පමණ තිස්සේ පවතින අලි මිනිස් ගැටුම ඉතා දරණු අතට පත්වී තිබේ.වසර ගණනාවක් ගෙවි ගියත් ප්‍රශ්නය එසේම වුවා විනා විසැඳුමක් නොලැබිණි. සිදු ව ඇත්තේ ඔඩු දුවා ගිය ප්‍රශ්නය විවිධ මුහුණුවලින් මතු වීම ය. අලි දුම්රිය ගැටුම එහි පැතිකඩකි.

මේ වන විට ස්ථීර නිජබිම්වලින් මිදි ගම්මානවලට වැදී ඇති වල් අලි සීසිකඩ යති. මෙයින් වටිනා මිනිස් ජීවිතවලට මෙන්ම හව් හරණක් නැති අලියාට ද සිදු කර ඇති අගතිය මහත් ඛේදනිය ජනකය.මෙය අඩු වැඩි කොට ගණනය කළ නොහේ. ජීවිත හා වගා බිම් ආරක්ෂා කර ගැනීමට මිනිස්සු සටන් කරති. එසේම අලියා ද කුසගිනි නිවා ගැනීමේ සටනටත් මරණ බියටත් මැදි වී සිටී. මේ මහා අවුලත් සමඟ ඉබාගාතේ දිවා රෑ ගම් ගෙවල් මැදින් යන මේ සත්තුන් ට සිදු වන අනතුරු බොහෝය .ඒ අතරින් වල් අලි දුම්රියේ වැදිම අද නිතර ඇසෙන ප්‍රවෘත්තියක් බවට පත්ව ඇත

අලි මිනිස් ගැටුමේ තීව්‍ර මර්මස්ථානයන්ට තවමත් විසැඳුම් නොමැති මුත් අලි දුම්රිය ගැටුම ට විසැඳුම් සෙවිමේ වැඩපිළිවෙළකට හෝ අවතිර්ණ වු බවට ඉකුත්දා ඇසුණු පුවත අපි බොහෝ සෙයින් අගය කළ යුතුය . මක් නිසා ද යත් සද්ධන්තයින් දුම්රියේ වැදී වැනසෙන තුරු නිද්‍රා ශීලිව සිටීම සත්ව කරුණාව දක්වන ජාතියක ට තරම් නොවන හෙයිනි.

වනජීවි සංරක්ෂණ දොපර්තමේන්තුවේ සංඛ්‍යා ලේඛන අනුව ලංකාවේ වල් අලි ගහණය 5879ක් පමණ වෙයි. සතුන්ට වෙන්වුණු ආරක්ෂිත වාස භූමි ය මුළු භුමියෙන් සියයට22ක් පමණ ය . නමුත් මේ භූමිය ද ක්‍රම ක්‍රමයෙන් මිනිසුන්ගේ ආක්‍රමණයට නතු වීමත් ආහාර ඇතුළු මුලික වුවමනාවන් මේ රක්ෂිතවල නොමැති කමත් නිසා දැන් දැන් වල් අලි ගම්වලට කොටු වුණු පුංචි ලඳු කැළෑ සිය ස්ථීර වාසස්ථාන බවට පත් කර ගෙන සිටිති. මේ වන විට වනජීවි රක්ෂිතවල අලි 1000ක් පමණ සිටින අතර ඉතිරි 4000 ම සිටින්නේ ජනාවාස සහිත අනාරක්ෂිත ප්‍රදේශවලය. 2010 සිට මේ දක්වා අලි 80ක් පමණ දුම්රියේ වැදී මිය ගොස් තිබේ. 2017 සිට මේ දක්වා මරණ 12කි.

දුම්රියේ වැදී මිය යාම වන අලිනට ජිවිත අවදානම මතු කරන සෙසු කාරණයන්ට සාපේක්ෂව අඩු අගයක් ගත්ත තාක්ෂණික පිළියම් ද අතැතිව මේ ගැටලුව විසැඳීමට යම් ප්‍රවේශයක් ගැනීමේ හැකියාව තිබේ. වනජීවිය සහ දුම්රිය දෙපාර්තමේන්තුව ඒකාබද්ධව විශේෂ කමිටුවක් හරහා දුම්රියෙන් වල් අලින්ට සිදුවන හානිය වැළැක්විම ට ක්ෂේත්‍ර නිරීක්ෂණ වාර්තාවක් ඔස්සේ විසැඳුම් යෝජනාවලියක් දැනටමත් ඉදිරිපත් කර ඇත්තේ ඒ අනුවය.

ඒ සඳහා ක්ෂේත්‍ර නිරීක්ෂණ චාරිකාව ට ක්ෂේත්‍රයේ විද්වතුන් පිරිසක් සහභාගි වුහ මේ සම්බන්ධයෙන් කරණු අනාවරණය කළේ අලි සංරක්ෂණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ ඒ.එච් සුමනදාස මහතා යි.

වල් අලි දුම්රියේ වැදීමට යන සමපාත පරිදි මහව දුම්රිය සන්ධියේ සිට ම විහිදී ඇති කි.මි 660ක ගමන් කළ අපි සෑම කිලෝමිටරයක් තුළ ම පවතින විශේෂත්වයන් සටහන් කර ගත්තා. මහව සිට උතුරු දුම්රිය මාර්ගයේ අඹන්පොල , ගල්ගමුව ,මැදවච්චිය. මාන්නාරම . යාපනය ,නැගෙනහිර දුම්රිය මාර්ගයේ මඩකළපුව දක්වා අධි අවදානම් කලාප කිලෝමිටර් 142ක් සහ සාමාන්‍ය අවදනාම් කලාප 188ක් හඳුනා ගත්තා .උක්ත කලාපවල ජනාවාස පිහිටීම ,ප්‍රදේශයේ වල් අලින්ගේ ක්‍රියාකාරිත්වය , අලි කොරිඩෝ වැටී ඇති ස්ථාන ,දුම්රිය මාර්ගයේ පිහිටිම , මාර්ගය දෙපස ලක්ෂණ , වන සතුන් පරිහරණය කරන වැව් සහ වනාන්තරවල පිහිටීම , පාලම් සහ බෝක්කුවල පිහිටිම අපේ විමර්ෂණයට ලක් වුණා.

අලියකු දුම්රියේ ගැටීම ට හේතු සහ රියැදුරාට අනතුරක් වළක්වා ගැනිමට නොහැකි වන හේතුත් අපි සොයා බැලුවා දුම්රිය මාර්ගයේ වංගුවලදි අලියා දර්ශනය නොවීම, දුමිරිය පැමිණෙන ශබ්දයත් සමඟ අලියා මාර්ගයට පැමිණීම , අලියා දර්ශන වුවත් තිරිංග තද කළත් දුම්රි‍යේ බර සමග නවත්වා ගැනීම දුෂ්කර වීම , දුම්රිය මාර්ග දෙපස ළඳු කැලෑ ගහනවිම, දුම්රියවල දැනට සවි කර ඇති ලාම්පුවල තිව්‍රතාව අඩු වීම ,මාර්ගයේ කඳු පල්ලම් සහිත ස්ථානවල දී අඩු වේගයකින් ධාවනය අපහසු වීම , පවතින කාලගුණ තත්ත්වය , දුම්රිය මාර්ගයේ ඇතැම් තැන් පොළොවට ඉහළින් පැවතීම නිසා අලියාට මාර්ගයෙන් ඉවතට යාම අපහසු වීම ,අලියාට මාර්ගය හරහා යාමට අපහසු වන පරිදි සිල්පර අතර හිඩැස් පැවතීම , විදුලි වැට , අවිධිමිත් සංවර්ධන ව්‍යාපෘති , මිනිසුන් යොදා ඇත බාධක නිසා සතුන්ගේ සංචරණ මාර්ග අවහිර වී තිබිම ,ඇතැම් අලි ප්‍රචණ්ඩකාරි ප්‍රතිචාර දක්වමින් දුම්රිය ඉදිරියට පැමිණීම , දුම්රියවලින් විසි කරන ආහාරවලට පුරුදු වී සිටීම ආදී හේතු ගණනාවක් අපි අනාවරණය කරගත්තා . මෙම තොරතුරු ලබා ගත්‍තේ දුම්රිය රියැදුරන් , රේල් ගේට්ටු කරුවන්, ධාවන අධිකාරිවරුන් ,දිස්ත්‍රික් ධාවන පරක්ෂක හා යාන්ත්‍රික පරික්ෂකවරුන් ගේ විමර්ෂණ වාර්තා අනුව සහ ප්‍රාදේශීය වනජිවි නිලධාරින්ගේ අත්දැකීම් අනුවයි.

ප්‍රශ්නයට හේතු හඳුනා ගැනීමත් ඊට ලබා දිය හැකි වඩාත් ප්‍රශස්ථ විසඳුම් යෝජනාත් තිරසාර විසැඳුමක් කරා ළඟා වීම ට ඉඳුරාම බලපායි. මෙම විසැඳුම් යෝජනා සකස් කිරිමේ දි සක්‍රිය දායකත්වයක් දැක්වු විද්වත් කාණ්ඩායම අතර තරුණ ගුවන් යානා ඉංජිනේරුවකු වන ඉරෝෂ් පෙරේරා මහතාගෙන් ලැබුණු දායකත්වය සුවිශේෂී විය ඉරෝෂ් පෙරේරා මහතා තම යොජනාවලිය මෙසේ ගෙන හැර දක්වන ලදි.

අපි වන අලි දුම්රි‍යේ ගැටීමට ‍හේතු වුණු කාරණා වඩාත් ගැඹුරින් විමර්ශනය කළා. ඒ අනුව කඩිනමින් ක්‍රියාවට නැංවිය හැකි සහ වැඩි දියුණු කළ යුතු විසැඳුම් සහිත වාර්තාවක් සකස් කළා. පහසුවෙන් ම කළ හැකි දේවල් අතරට දුම්රිය මාර්ගයේ මධ්‍ය ලක්ෂයේ සිටි මිටර් 15 බැගින් දෙපස ළඳු කැලෑ ඉවත් කිරිම කඩිනමින් කළ යුතු බවයි අපි අවධාරණය කළේ. මෙය මිනිස් ශ්‍රමයෙන් කරන්න බැරි නම් වැඩි දියුණු කළ යන්ත්‍ර සුත්‍ර යොදා ගන්න පුළුවන් .එමෙන්ම අලි මාරුවන බෝක්කු සහ පාලම් (under pass) පළල් කිරීමටත් , මාර්ගයේ කඳු සහිත ස්ථානවලදී මාර්ගය ට ඉහළින් (over pass) අලින්ට ගමන් කළ හැකි ගුවන් ප්‍රවිශ්ට ඇති කිරිමටත් අපි වාර්තාවට ඇතුළත් කළා.එවැනි දුමිරිය යටින් අලින්ට ගමන් කළ හැකි පරිදි සකස් කළ හැකි ස්ථාන 21ක් සහ දුම්රියට ඉහළින් ගමන් කළ හැකි තැන් 22ක් හඳුනා ගත්තා.

මේ පිළියම්වලින් අලින්ගේ ආරක්ෂාව තහවුරු කළ නොහැකි ස්ථානවලදි රියැදුරන් ට පුර්ව අනතුරු ඇඟවිමේ සංඥා නිකුත් කළ හැකි ක්‍රමයක් තමයි අපි යෝජනා කළේ. මෙම සංඥා පද්ධතිය මගින් අවදානම් කලාපයක් තුළ ට දුම්රියක් ඇතුළු වන බව, මාර්ගයේ අලියකු සිටින බව, ඒ සේ නොමැති නම් අලි පළවා හරිමින් සිටින අවස්ථාවක බව, අලියා තවදුරටත් මාර්ගයෙන් ඉවතට ගොස් නැති බව,මාර්ගය දෙපස අඩි 300ක වපසරිය තුළ අලියකු ගැවසෙයි නම් ඒ බව ඒ බව දැනුම් දෙන්න පුළුවන්.එමෙන්ම අලියා මාර්ගයෙන් ඉවත් වි ඇත්නම් පද්ධතිය ස්වයංක්‍රියව ක්‍රියාවිරිහිත විම සකස් කළ හැකියි.

මේ විසැඳුම්වලදී දී වඩාත් විශ්වසනියත්වයක් ඇත්තේ දුම්රිය එන්ජින් සහ රියැදුරන් සඳහා තාක්ෂණික ‍මෙවලම ලබා දීම බව අපේ හැඟිමයි. එන්ජිමේ ප්‍රධාන ලාම්පුවට අමතරව අතිරේකව දෙපසට විහිදෙන අධි බලැති ලාම්පු සවි කරන්නේ නම් රියැදුරන්ගේ දෘශ්‍ය පථය පුළුල් වෙනවා වගේම අලින්ට මාර්ගයෙන් ඉවත් විමට සහායක් වෙනවා.

අපි තවත් ප්‍රායෝගික විසැඳුමක් වාර්තාවට ඇතුළත් කළා.එන්ජිමේ දෙපස Thermal night vertion කැමරා සවිකිරීම තුළින් මීටර් 750ක් තුළ සජීවි දර්ශන ලබා ගන්න පුළුවන්.මෙයට ම සම්බන්ධ කර මාර්ගය තුළ හෝ ආසන්නයේ අලියකු සිටි නම් ඒ බැව් හඳුනා ගැනීමට මාර්ගයේ විශේෂ තාක්ෂණික පද්ධතියක් සවි කිරීමටත් අපි යෝජනා කළා. රියැදුරු කුටියේ සවි කරන කුඩා වර්ණ එල්.සී.ඩී පුවරුවක් හා අනතුරු ඇඟවිමේ සංඥා සහ දුම්රිය අවදානම් කලාපයට ඇතුළුවීමට කිලෝමීටරයකට පෙර වර්ණ සංඥ සහ ඩිජිටල් පුවරු මගින් එම පණිවුඩය රියැදුරාට ලබා දෙන්න පුළුවන් .......

කමිටු වාර්තාවට ඇතුළත් කර ඇති යෝජනාවලිය තුළ නිරන්තරයෙන් අලි මාරුවන දුම්රිය මාර්ගය හරහා වැටී ඇති අනාරක්ෂිත පිවිසුම් මාර්ග හෙවත් කොරිඩෝ සහ සතුන්ගේ සංචරණ රටාව සැක හැර හඳුනාගැනීමටත් තාක්ෂණික ක්‍රම විධියක් ඊට ඇතුළත් කර තිබේ.ඒ සඳහා දුම්රිය මාර්ගයේ දැනට අතහැර දමා ඇති පැරැණි දුරකතන කණු සහ තාවකාලිකව සවි කරන කණු මගින් ස්වයංක්‍රියව අලි ගණනය කිරිමේ කුඩා උපකරණයක් සවි කිරීමයි.දිනකට මාරුවන අලි ප්‍රමාණය ,වේලාව , වර්ෂා තත්ත්වය , උෂ්ණත්වය සහා අර්ද්‍රතාව යන දත්ත එහි සටහන් වෙයි.

කමිටු වාර්තාවේ අතුළත් වන කරුණු බොහොමයක් තාක්ෂණික විසැඳුම් වන අතර මේ සියල්ල අවසන් විසැඳුම සඳහා පාදක කර ගැනීමට දුම්රිය රියැදුරන් , වනජීවි නිලධාරින් පමණක් නොව සිවිල් පුරවැසියන්ට ද කාර්යභාරයක් පැවරී තිබේ. මිනිස් ජීවිත හා දේපළ විනාශ කළ ද අනතුරක් මගහරවා ගැනීමට තරම් දියුණු මනසක් නැති මේ අහිංසක වන සතුන් ට කෙරෙහි මැදහත් සිතින් බැලීම දියුණු ජන සමාජයක ට පුළුවන. තම සබ්බ සකලමනාව විනාශ කරදී වුව අලින් ට එරෙහිව අවි නොගත්තෝ බොහෝය .අලියකු අනතුරට පත්වුණු මොහොතක වැළ නොකැඩී ඇදෙන දෙනෝ දාහක් අතර නෙතට කඳුළක් නුපදින්නෝ නැති තරම්ය. මේ නිසා අනතුරක් වළක්වා ගැනීමට මහ ජනතාවට දායක විය හැකි ක්‍රමයක් ද වාර්තාවට ඇතුළත් කළ බවත් එය ඉදිරියේ දි ක්‍රියාත්මක කරන බවත් ඉරෝෂ් පෙරේරා මහතා අනාවරණය කළේය.

මේ අදහස ඉතාමත් ප්‍රායෝගික යි කියලා අපි හිතනවා.වල් අලියකු මාර්ගයේ හෝ ආසන්නයේ ඉන්නවා නම් ජංගම දුරකතනයකින් කෙටි පණිවුඩයක් මගින් ඕනෑම කෙනකුට දුම්රිය පාලක මැදිරියට දැනුම් දීමට හැකි ක්‍රමයක් ඉදිරියේ දි හඳුන්වා දෙනවා. එම පණිවුඩය ලැබුණු සැනින් දුම්රිය ස්ථානාධිපතිවරුන් මගින් රියැදුරන් ට දැනුම් දිමටත් පුළුවන් . අපි මේ දුරකතන අංකය ඉදිරියේ දී ප්‍රසිද්ධියට පත් කරනවා.

අලි දුම්රියේ ගැටිම වැළැක්විම සඳහා ගනු ලබන සියලුම ක්‍රියාමාර්ග හා සවිකරන තාක්ෂණික පද්ධති දුරස්ථ නිරීක්ෂණය හා පරිපාලනයට මධ්‍යම පරිපාලන හා නිරීක්ෂණ ඒකකයක් පිහිටුවීම අවසන් වැඩසටහනයි.

එමෙන්ම යෝජනාවලියේ ඇතැම් තාක්ෂණික කටයුතු දැනටමත් ක්‍රියාකාරි මට්ටමක පවතින බවත් සමස්ත යෝජනාවලිය ඉදිරියේ දී සියලු දෙනාගේ දැන ගැනිම සඳහා ප්‍රසිද්ධ කරන බවත් ඕනෑම පාර්ශ්වයකට යෝජනා චෝදනා ඉදිරිපත් කළ හැකි බවත් ඉරෝෂ පෙරේරා මහතා වැඩිදුරටත් කියා සිටියේය.

තාක්ෂණය දියුණු වීමත් සමඟ වන සතුන්ට මුහුණ පෑමට සිදු වන ස්වභාවික විපත් හැරෙන්නට සෙසු අනතුරු අවම කර ගැනීම සඳහා සෑම රටක් ම පාහේ ක්‍රියාමාර්ග ගෙන තිබේ. අපට සමීප ඉන්දියාව මේ කාරණයේ දී බො‍හෝ ඉදිරියෙන් සිටි.මේ ගමනේදී බාධක නැතුවා ම නොවේ. දැන ට අප සතු දුම්රිය එන්ජින් සහ බලවේග කට්ටලවලට නවීන තාක්ෂණික උපකරණ සවි කිරීමේ දී යම් යම් බාධාවන් මතුවිමට ඉඩ තිබේ. නමුත් ඒ අභියෝගවලට සඳහා තාක්ෂණයෙන් පිළිතුරු සැපයිමට අසමත් වනු ඇතැයි කිසිසේත්ම සිතිය යුතු නැත. ඒ කාරණය කෙසේ හෝ විසඳීමට ගන්නා වෑයමින් අලි මිනිස් ගැටුම ට නිමා කිරීමට කිසිම සාධාරණයක් ‍නො‍වේ. ප්‍රශ්නයේ කොඳුනාරටිය වන අලි මිනිස් ගැටුම මුළුමනින්ම ව්‍යර්ථ නොකර එහි අතුරු ඵලයකට පමණක් විසැඳුම් දීම ඔඩු දිවූ පිළිලයක පුංචි තැනක් සිඳ සියල්ල අහවර යැයි සිතීම ඵලක් නොවන බැවිනි.


නව අදහස දක්වන්න