සීනිවලින් මිදෙන මඟක් | දිනමිණ

සීනිවලින් මිදෙන මඟක්

අප ගන්නා ආහාර නිසා දියවැඩියා රෝගී තත්ත්වය ඇති විය හැකි අතර මෙය අපට වළක්වා ගත හැකිය. ආහාර ආමාශය තුළදී ජීර්ණය වීමෙන් පසුව ග්ලුකෝස් සහ නොයෙකුත් පදාර්ථ බවට පත්වේ. ග්ලුකෝස් බවට පත්වන කොටස ශරීරයේ සෛල පෝෂණය කිරීම සඳහා අවශ්‍ය වන කොටසයි. එම ග්ලුකෝස් රුධිරය හරහා සෛල ආසන්නයටම ගමන් කළද ඒවා සෛල තුළට ඇතුළත් කිරීමේ කාර්යය පැවරී ඇත්තේ ඉන්සියුලින් නම් ‍හෝමෝනයටයි. ඉන්සියුලින් නොමැති වුවහොත් ග්ලුකෝස් අනුවලට කිසිසේත්ම කිසිදු ශෛලයකට ඇතුළත් විය නොහැකිය. උදාහරණයකින් පවසනවා නම් හෝටලයක කාමරයක යතුර හිමි පුද්ගලයා අමුත්තාගේ කාමරයට රැගෙන ගොස් ඇතුල්කිරීම හා සමානය. මෙහිදී ඉන්සියුලින් යතුර හිමි පුද්ගලයාටත් ග්ලුකෝස් අමුත්තාටත් සෛල කාමරයටත් සමාන කළ හැකිය. හෝටලයේ කිසිදු කාමරයක යතුරු භාර පුද්ගලයා නොමැති විටදී අමුත්තන්ට කිසිසේත්ම කාමරවලට ඇතුළු විය නොහැකි සේ ආමාශය තුළින් රුධිරයට කොතරම් ග්ලුකෝස් එකතු වුවත් ඒවා සෛලගත කිරීමට ඉන්සියුලින් නොමැතිවීමෙන් රුධිරයේ ග්ලුකෝස් මට්ටම ඉහළ යයි. එම අවස්ථාව සාමාන්‍ය ජීවිතයේදී දියවැඩියාව ලෙසත් සිංහල වෙදකමේදී ‘මධුමේහය’ ලෙසත් හඳුන්වයි.

මෙම ඉන්සියුලින් නිපදවීමට කටයුතු කරන්නේ ශරීරයේ ආමාශය ආසන්නයේම ඇති අග්න්‍යාසය නම් අවයවයයි. දියවැඩියාව වැලඳුනු අයෙකුට ක්‍රමයෙන් කාලය ගෙවී යනවිට ඇස් පෙනීමේ දුර්වලතාවය, යටිපතුල් හිරිය, බෙලහීනතාවය, රාත්‍රියේදී අධික ලෙස වැඩි වාර ගණනක් මුත්‍රා පිටවීම හා පිපාසය ආදී රෝග ලක්ෂණ ඇති වේ. තවත් බොහෝ අයට අධික ලෙස ශරීරය කෙට්ටුවීම සිදුවේ. මේ සියලු රෝග ලක්ෂණයන්ට හේතුව වන්නේ සෛල තුළට ග්ලුකෝස් ඇතුළු කර සෛල පෝෂණය කිරීම ශරීරයේ ඉන්සියුලින් නොමැතිවීමයි.

ඇතැම් පුද්ගලයන් මෙය හඳුන්වන්නේ අග්න්‍යාසය මැරී යාමක් ලෙසයි. එහෙත් කිව යුතු විශේෂ කාරණය නම් මෙහිදී සිදුවන්නේ අග්න්‍යාසය අක්‍රීයවීමක් පමණක් බවයි.

දැනට පරම්පරා කිහිපයකට පෙර ජීවත් වූ උදවියට දියවැඩියාව හෝ වෙනත් කිසිදු රෝගයක් නොවැළඳීමට හේතුව වන්නේ ඔවුන් ක්ෂණික කෑම, පිටිකෑම, රසකාරක ආදී ආහාර පරිභෝජනය නොකළ නිසයි. අද රටේ ජිවත්වන මිනිසුන්ට දියවැඩියාව බහුලවීමට ක්ෂණික කෑම හා රසකාරක පරිභෝජනය ප්‍රධාන හේතුවක් වී ඇත.

නිසි ආහාර රටාවකට හුරුපුරුදු වීමෙන් මෙම බෝනොවන රෝග තත්ත්වයන් වඩාත් පහසුවෙන් පාලනය කළ හැකිය.

දේශීය වෛද්‍ය
සොනාල් සෞභාග්‍ය
මීරිගම


නව අදහස දක්වන්න