පානීය ව්‍යාපෘති‍යේ දිය යට ගින්දර | දිනමිණ

පානීය ව්‍යාපෘති‍යේ දිය යට ගින්දර

පළාත් මාර්ග සංවර්ධන දෙපා ර්තමේන්තුවේ මහව කාර්යාලයේ විධායක ඉංජංනේරුවරයා පසුගිය විසි දෙවැනි දින ලිපියක් මගින් වයඹ පළාත් මාර්ග සංවර්ධන අධ්‍යක්ෂවරයා අමතමින් ජල ව්‍යාපෘතිය භාර අධ්‍යක්ෂවරයාටද පිටපත් යොමු කරමින් ඉහත කී අක්‍රමිකතාවය පිළිබඳ දැනුම්දී තිබේ.

දැදුරු ඔය ජලාශය කේන්ද්‍ර කරගනිමින් ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය මගින් ආරම්භ කර ඇති පානීය ජල යෝජනා ක්‍රමය දූෂණ සහ අක්‍රමිකතා වලින් පිරී පවතී. කොරියානු රජයේ ණය ආධාරයක් මත 2012 වර්ෂයේ දී සිදු කරන ලද ශක්‍යතා අධ්‍යනයකට අනුව මහව සහ පොල්පිතිගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පවතින වකුගඩු රෝගී තත්වයන්ට එක් පිළියමක් ලෙස මෙම පානීය ජල යෝජනා ක්‍රමය ආරම්භ කෙරී ඇත. ඒ අනුව ඉහත කී ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ග්‍රාම නිලධාරී වසම් 97 ක් ආවරණය වන පරිදි පානීය ජලය නල මගින් ලබා දීමේ කටයුතු සැලසුම් කර ඇති අතර මේ වන විට එහි ජල නල එළීම සහ ජල ටැංකි ඉදි කිරීම සිදු කෙ‍රේ. මෙහි ප්‍රතිලාභීන් සංඛ්‍යාව 90700 ක් බව ව්‍යාපෘති යෝජනාවේ සදහන් වේ. ඒ අනුව නව ජල සම්බන්ධතා විසිදහසක් මෙම ව්‍යාපෘතිය යටතේ ලබා දීමට යෝජිත අතර නිකවැරටිය මහව ඒකාබද්ධ ජල යෝජනා ක්‍රමය යටතේ දැනට පවතින ජල සම්බන්ධතා දෙදහසක් ද මේ යටතට ගැනීමට සැලසුම් කර තිබේ. ඒ අනුව ව්‍යාපෘතිය ආරම්භ කළ පසු ජලය සැපයෙන සම්පූර්ණ සම්බන්ධතා ගණන විසි දෙදහසකි. මේ සදහා කොරියානු රජයේ ණය ආධාරය රුපියල් මිලියන 8474 (අටදහස් හාරසිය හැත්තෑ හතරක්) වන අතර ශ්‍රී ලංකා ජන රජය රුපියල් මිලියන එක්දහස් තුන්සිය විසි හයක මුදලක් දැරිය යුතුය. ව්‍යාපෘතියේ මුළු වටිනාකම රුපියල් මිලියන 10227 කි. යම් කාලයක් ඇතුලත රජය විසින් ආපසු ගෙවිය යුතුය. ඒ සදහා පොලියත් සමග පොදු මහජනතාවගේ බදු මුදල්වලින් ය. තත්වය එසේ තිබිය දී මෙම ව්‍යාපෘතිය ආරම්භයේ පටන් ම අක්‍රමිකතාවයන් ගෙන් පිරී පවතී.

අත යට ගනුදෙනු

කොරියාවෙන් ලබා දුන් ණය මුදලට අනුව කොරියානු සමාගමකට මෙම ව්‍යාපෘතියේ ඉදිකිරීම් භා උපදේශන සැපයීමත් ගැටලු මතු වන්නේ උපදේශන ආයතනයේ ඉංජිනේරුවරයා බදවා ගැනීමේ පටන්ම සමාගම ගිවිසුම්ගත නීති රීති එකඟතා උල්ලංඝනය කිරීමට කටයුතු කර ඇති ආකාරය හේතුවෙනි. සමාගම සහ ජාතික ජලසම්පාදන සහ ජලාපවාහන මණ්ඩලය විධිමත් ගිවිසුමක් මගින් එකග වී ඇති කරැණු ඉදිකිරීම් සමාගම විසින් හිතුමතේ උල්ලංඝනය කරමින් පවතී. ගිවිසුම අනුව උපදේශන සමාගමේ ප්‍රධාන ඉංජිනේරුවරයාට වසර 15 ක පළපුරුද්දක් තිබිය සහ ජල නල එළීම සම්බන්ධව අවම වසර අටක පළපුරුද්දක් තිබිය යුතුය. එහෙත් වත්මන් ඉංජිනේරුවරයාට ජලනල එළීම සම්බන්ධව කිසිදු පළපුරුද්දක් නැති තත්වයක් තුළ පුද්ගලයින් අනූ දහසකට පානීය ජලය සැපයීමේ ව්‍යපෘතිය පුස්සක් බවට පත් නොවන්නේ ද ? කොන්ත්‍රාත්කාර සමාගම සහ උපදේශන සමාගම අනෙකුත් තනතුර සදහා නිලධාරීන් බදවා ගැනීමේ දී ද ගිවිසුම්ගත කරුණු උල්ලංඝනය කරමින් සුදුසුකම් අඩු පුද්ගලයින් බදවාගෙන ඇත්තේ වියදම් ඉතිරි කර ගැනීමේ අරමුණින් විය යුතුය. ඉහළ සුදුසුකම් සහිත තනතුරකට සුදුසුකම් සපුරා සිටින පුද්ගලයින් බඳවා නොගැනීම තුළ ජල සම්පාදන මණ්ඩලයේ ඉහළ නිලධාරින් සහ මෙම සමාගම් අතර යම් අතයට ගනුදෙනුවක් පවතින සැකයක් මතු වේ. හේතුව මෙම ව්‍යාපෘතිය ආරම්භ කළ දා පටන් ජල සම්පාදන මණ්ඩලයේ ඉහළ නිලධාරින් කටයුතු කර ඇත්තේ රටත් ජනතාවත් ගැන අංශු මාත්‍ර හැගීමක් නොමැතිව බව පැහැදිලිව පෙනෙන බැවිනි. මහව, නාගොල්ලාගම, පොල්පිතිගම ප්‍රදේශවල ක්‍රියාත්මක වන ව්‍යාපෘතියක් සඳහා වාරියපොල නගරයේ ව්‍යාපෘති කාර්යාලය පිහිටුවී‍මෙන්ද මේ බව පැහැදිලි වේ. ව්‍යාපෘති කාර්යාලයට ආසන්නවම ඇති පොම්පාගාරයට එම කාර්යාලයේ සිට ඇති දුර කිලෝමීටර් විස්සකට අධික වන අතර ව්‍යාපෘතියේ සියයට අසූවක්ම ක්‍රියාත්මක වන්නේ ව්‍යාපෘති කාර්යාලයට කිලෝමීටර් තිහකට වැඩි දුරකිනි. උපරිම දුර ව්‍යාපෘති කාර්යාලයට කිලෝමීටර් හැත්තෑවකි. ඒ අනුව ජල සම්පාදන මණ්ඩලය මගින් පත්කර ඇති අධීක්ෂණ නිලධාරින්ට වැඩබිම්වලට යාමට විශාල කාලයක් ගත වේ. බොහෝ විට ඔවුන් වැඩබිම්වලට යන විට පෙරවරු දහය පසුවන අතර ඒ අතර කාලය ප්‍රයෝජනයට ගනිමින් උප කොන්ත්‍රාකරුවෝ ජලනල එලිමේ කටයුතු ප්‍රමිතියෙන් බැහැරව සිදු කරති. මෙම උප කොන්ත්‍රාත්කරුවන් බදවා ගැනීමද ගිවිසුම් උල්ලංඝනය කරමින් සිදුකර තිබේ. ජල නල එළිමේ දී එම නල වලට හානි විය හැකි බැවින් හලන ලද පස් දමා නලය දෙපස යම් ආරක්ෂිත තත්වයක් ඇති කළ යුතු බවට ගිවිසුමේ දැක්වෙන නමුත් කොන්ත්‍රාත්කරු‍වෝද බැකෝ යන්ත්‍ර යොදා ගනිමින් එළන ලද නල මතට පස් තල්ලු කරන ආකාරය සාදක සහිතව අප සතුව තිබේ. පස් හැලීම සදහා භාවිතා කිරීමට ඇති අඟල කොටු සහිත දැල් කම්කරුවන්ගේ නිවාස වලට වාහන ගෙන යාමට කාණු හරහා ආධාරක ලෙස යොදා තිබේ. වැඩ බිම වෙත අධීක්ෂණ නිලධාරින් පැමිනෙන වෙලාව වන විට නිවෙස් අසල ඇති දැල් ගෙන වැඩි පස් හලා නල දෙපස ආරක්ෂිතව අසුරති. එහෙත් ඕනෑම මොහොතක භාවිතයට ගැනීමට යන්ත්‍ර සූත්‍ර වැඩබිම අසල සූදානමින් තබා තිබේ. මෙම යන්ත්‍ර නැවත වැඩට බහින්නේ හවස හතරෙන් පසුවයි. ඒ අධීක්ෂණ නිලධාරින් වැඩබිමෙන් බැහැර වන වෙලාවයි.

එමෙන්ම මේ රටේ පාසල් දරැවන් පවා දන්නා කරැණක් වන්නේ බෝක්කු සහිත ස්ථානවලින් ජල නල එළිමේ දී ඒ සදහා ලෝහ බට යොදා ගන්නා බවත් පොළව මතුපිටින් එම බට ගමන් කරන බවත් ය. නඩත්තු කටයුතු පහසු කිරීම සදහා මෙලෙස බෝක්කු අසල මතු පිටින් ලෝහ බට යොදා ඇති ආකාරය මේ රටේ ඕනෑම පුරවැසියෙක් දැක ඇතුවාට සැක නැත. එහෙත් මෙම ව්‍යාපාතියේ එලෙස ලෝහ නල භාවිත කර ඇති ආකාරයක් දක්නට නොලැබෙනවා සේම සුපුරුදු පරිදි බෝක්කු අසලින් ද පොළොව යටින් නල එළීම සිදුකර තිබේ. එහෙත් බෝක්කු අසල ලෝහ බට යෙදිය යුතු බවට ගිවිසුමේ සදහන් වන්නේ ඒ සදහා වෙනම මුදලක් ද වෙන් කරමිනි. කොන්ත්‍රාත්කරැවන් එම නීති උල්ලංඝනය කරන අතර මණ්ඩලය ලෝහ බට යෙදීම වෙනුවෙන් අදාළ මුදල් කොන්ත්‍රාත් සමාගම වෙත නිදහස් කරමින් පවතී. ඒ අනුව ලෝහ නල වෙනුවට ප්ලාස්ටික් නල යෙදීමෙන් ඉතිරිවන මුදල ජනතාව වෙනුවෙන් කොන්ත්‍රාත් සමාගමේ අතිරේක ලාභයක් බවට පත්ව තිබේ.

මෙම අක්‍රමිකතා කොන්ත්‍රාත් සමාගමේ උවමනාව මත පමණක් සිදුවන්නක් නොවන බව පැහැදිලි වන්නේ ජලසම්පාදන මණ්ඩලයද උවමනාවෙන්ම යම් වගකීම් පැහැරහැර ඇති බව පැහැදිලි වන බැවිනි. ඉදිකිරීම්වල තත්ත්ව පරීක්ෂාවන් සඳහා රසායනික පරීක්ෂණ වෙනුවෙන් ජලසම්පාදන මණ්ඩලය මගින් පළපුරුදු කාර්මික නිලධාරීන් යෙදවියයුතු වුවත් ඒ සඳහා පුහුණුවන නිලධාරීන් පමණක් යෙදවීම කොන්ත්‍රාත් සමාගමේ වංචනික ක්‍රියාවන්ට වඩාත් පහසුවක් වී ඇත.

මහජන මුදල් වල වටිනාකම කජු ඇට කොස් ඇට ගනනට දමා ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ නිලධාරීන් කටයුතු කරන බවට ඇති තවත් සාධකයක් වන්නේ වාරියපොළ ව්‍යාපෘති කාර්යාලය සඳහා කුළියට ගෙන ඇති ගොඩනැගිල්ල වෙනුවෙන් මසකට රුපියල් ලක්ෂයකට අධික මුදලක් ගෙවීමය. රුපියල් පනස් දහසක පමණ මුදලකට අවශ්‍ය පහසුකම් සහිත ගොඩනැගිල්ලක් වැඩබිම් පිහිටි මහව, පොල්පිතිගම ප්‍රදේශ වලින් ලබා ගත හැකිව තිබියදී මෙවැනි විශාල මුදලක් ඒ සඳහා ගෙවීම තවත් එක් මිත්‍ර සංග්‍රහයක් බව පෙනෙන්නට ඇති බව කියති. එම සැකය තවත් තහවුරු වන්නේ මෙම ගොඩනැගිල්ල සඳහා ගෙවන මුදල කොපමනද යන්න තමා නොදන්නා බවට ව්‍යාපෘති භාර අධ්‍යක්ෂ වරිය පුකාශ කිරීම හේතුවෙනි.

බලධාරීන්ට දැනුම් දීම

මේ අතර පළාත් මාර්ග සංවර්ධන දෙපාර්තමේන්තුවේ මහව කාර්යාලයේ විධායක ඉංජංනේරුවරයා පසුගිය විසි දෙවැනි දින වයඹ පළාත් මාර්ග සංවර්ධන අධ්‍යක්ෂවරයා අමතමින් ජල ව්‍යාපෘතිය භාර අධ්‍යක්ෂවරයාටද පිටපත් යොමු කරමින් ලිපියක් මගින් ඉහත කී අක්‍රමිකතාවය පිළිබඳ දැනුම්දී තිබේ. එහිදී ඉංජිනේරුවරයා දක්වා ඇත්තේ, මාර්ග රක්ෂිතයේ පැති කාණුවට පිටතින් කැණීම් කටයුතු සිදුකළයුතු වුවත් මාර්ග උරහිස සහ ඒ ආසන්නයේ ජලනළ එලමින් පැවතීම, අවසර නොමැතිව මාර්ග හරහා කැණීම් සිදුකිරීම, බර වාහන ධාවනය නිසා මාර්ග වලට හානි සිදුවීම, උප කොන්ත්‍රාත්කරුවන් විසින් මාර්ග සංවර්ධන අධිකාරිය හා ප්‍රධාන කොන්ත්‍රාත් සමාගම එකඟ වූ කරුණු නොතකා හැරීම ආදී කරුණු වේ. එමෙන්ම ජලනල එළීමේ දී මාර්ග වලට සිදුවන හානි ප්‍රතිපූරණය කිරීම වෙනුවෙන් තැන්පත් කළයුතු මුදල්ද මේ වනතෙක් තැන්පත් කර නොමැති බව එම ලිපිය මගින් වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

මේ අතර ඇතැම් ප්‍රදේශ වල පෞද්ගලික ඉඩම්වලින් බලහත්කාර‍යෙන් ජලනල එලීම සිදුවන බවද වාර්තා වේ. අදාළ නීති රීති පිළිබඳව අවබෝධයක් නොමැති ග්‍රාමීය ජනතාව උප කොන්ත්‍රාත් කරුවන් තම ඉඩම් තුළින් ඉවක් බවක් නොමැතිව ජලනලඑලමින් සිටියදී අසරණව බලා සිටින්නේ රජයේ සංවර්ධන ව්‍යාපෘතියකට බාධා කිරීමට තමන්ට අයිතියක් නොමැති බව සිතමින් විය හැකිය. එහෙත් ඇතැම් පෞද්ගලික ඉඩම් හිමියන් ජලනල එලීමෙන් පසු ඉඩම වටා තාප්ප ඉදිකර ඇති නිසා ජලනල වල ඉදිරි නඩත්තු කටයුතු වලට බාධා ඇතිවිය හැකි බවද දකින්නට තිබේ. මෙම කටයුතු වලදී පළාත්පාලන ආයතන වල අවසරය ලබාගෙන නොමැති බවද වාර්තා වූ අතර ඒ පිළිබඳව පොල්පිතිගම ප්‍රාදේශීය සභාවේ ලේකම් වරයාගෙන් විමසූ විට ඔහු ප්‍රකාශ කළේ මෙම ව්‍යාපෘතිය සඳහා එම පළාත් පාලන ආයතනය අනුමැතිය ලබා දී ඇති බවත් මූලික එකඟතාවයන්ට අනුව ගැටලුවකින් තොරව එම ප්‍රදේශයේ ඉදිකිරීම් සිදුකරන බවත් ය. මහව ප්‍රාදේශීය සභාවේ ලේකම් වරයා ප්‍රකාශ කළේ තම ආයතනයෙන් අදාල නීත්‍යානුකූල අවසරය ලබා දී ඇති බවත් එහෙත් ප්‍රාදේශීය සභාවට අයත් පාරවල්වල ඉදිකිරීම් ප්‍රමාණය ඉතා අඩු වන අතර මෙම ව්‍යාපෘතියේ වැඩි කොටසක් සිදු කෙරෙන්නේ පළාත් මාර්ග සංවර්ධන අධිකාරියට අයත් මාර්ගෙවල බවයි.

. පසුගිය අටවැනි දින එම කාර්යාලයේ පැවති සමාලෝචන වැඩසටහනේ දී කොන්ත්‍රාත් සමාගම අතිශයින් පාඩු ලබන බැවින් මෙම ව්‍යාපෘතිය අතහැර දැමීමට සිදුව ඇති බව ප්‍රකාශ කර තිබේ.ව්‍යාපෘති අධ්‍යක්ෂ වරිය ප්‍රකාශ කරන්නේ මේ හේතුවෙන් තමන් දැඩි අපහසුතාවයට පත්ව සිටින බවයි. ‍මේ ව්‍යාපෘතිය සඳහා ආනයනය කර ඇති අමුද්‍රව්‍ය සහ උපකරණ විශාල ප්‍රමාණයක් රේගුවේ රඳවාගෙන මාස ගනනක් ගතව ඇත්තේ ඒවා නිදහස් කර ගැනීම සඳහා භාණ්ඩාගාරයෙන් මුදල් නිදහස් නොකිරීම හේතුවෙනි.

චෝදනාවලට පිළිතුරු

මෙම සියලු කරුණු සහ චෝදනා පිළිබඳ පානීය ජල ව්‍යාපෘතිය භාර අධ්‍යක්ෂවරිය ‍මෙ‍සේ පවසයි.

මෙම ව්‍යාපෘතිය භාර කොන්ත්‍රාත් සමාගම කොරියන් සමාගමක්. කොලොන් ග්ලෝබල් තමයි එම සමාගමේ නම. උපදේශන සමාගමත් කොරියානු සමාගමක්. එය හඳුන්වන්නේ සමන් ඇන්ඩ් කේ ඊ සී සී නමින්. ඕනෑම ව්‍යාපෘතියක විවිධ ගැටලු ඇතිවෙන්න පුළුවන්. ඒ අවස්ථාවල අපි මැදිහත් වෙලා එම අඩුපාඩු නිවැරදි කරනවා. සමහර අවස්ථාවල ඉදිකිරීම් කඩා ඉවත් කර නැවත ඉදිකරන්න වුනත් අපිට නියෝග කරන්න වෙනවා. මෙවැනි ව්‍යාපෘති ක්‍රියාත්මක වෙන්නෙ හැම අඟලක්ම කලින් සැලසුම් කරල නොවෙයි. විවිධ පාරිසරික තත්වයන් යටතේ ඉදිකිරීම් වල ස්වභාවය වෙනස් කරන්න වෙනවා. එවිට කොන්ත්‍රාත් සමාගම අපට විවිධ යෝජනා ගේනවා. ඒ පිළිබඳව සලකා බලා වඩාත් සුදුසු විදියට ඉදිකිරීම් කරන්න අපි අවසරය ලබා දෙනවා. අපි නිරන්තරයෙන් ඒවා අධීක්ෂණය කරනවා. සාම්පල් පරීක්ෂව සඳහා පුහුණුවන නිලධාරීන් යන කතාව ඇත්ත. නමුත් ඒ සමග පළපුරුදු නිලධාරීන් අනිවාර්යයෙන්ම යනවා. ඒ විතරක් නෙවෙයි ඔවුන් අධීක්ෂණයට ඉංජිනේරුවරයෙකුත් යනවා. මෙහි වගකීම තියෙන්නේ උපදේශන සමාගමටයි. කවුරු ගිහින් පරීක්ෂණ සිදු කළත් ඉංජිනේරු වරයා ඊට වගකිවයුතුයි. කොන්ත්‍රාත් සමාගමට හිතුමතේ උප කොන්ත්‍රාත්කරුවන් බඳවාගැණීමට නොහැකියි. ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ලියාපදිංචි අය පමණයි ගන්න පුළුවන්. දැනට අප ළඟ ලියාපදිංචි වී ඇත්තේ ‍ආයතන දෙකක් පමණයි. ව්‍යාපෘතියේ උප කොන්ත්‍රාත් කරුවන් ලෙස වෙනත් ආයතන වැඩ කරන්නේ නැහැ. නමුත් කම්කරුවන් බඳවාගැණීමේ දී විවිධ ආයතන තියෙන්න පුළුවන්. නල එළීමේදී විවිධ ස්ථානවල අක්‍රමිකතා සිදුවන බවට අපට තොරතුරු ලැබුණා ඒ හැම විටම අපේ නිලධාරීන් එම ස්ථාන පරීක්ෂා කර ඒවා නැවත සැකසීමට කටයුතු කළා. අපේ ව්‍යාපෘති කාර්යාලය වාරියපොළ තිබුණට පොල්පිතිගම, නාගොල්ලාගම සහ පොතුවැව ප්‍රදේශවල ව්‍යාපෘති කාර්යාල තියෙනවා. කොහොම වුනත් මෙම ව්‍යාපෘතිය දෙදහස් දොලහ වර්ෂයේ සිට සැලසුම් කළ එකක් නිසා මේ වනවිට ඉදිකිරීම්වලට යන වියදම්වල විශාල වෙනසක් තියෙනවා. ඒ නිසා බලාපොරොත්තු වුන පවුල් 90700ට ම නිවෙස් වලට ජල සැපයුම් ලබා දීම ගැටලුවක්. නමුත් අවශ්‍ය ජල ප්‍රමාණය සියඹලන්ගමුව දක්වා රැගෙන යනවා. අතුරු මාර්ග වලට ජල සැපයුම පිළිබඳව තීරණය කරන්න වෙන්නේ ඉදිරියේ දී වෙනත් ව්‍යාපෘතියකින් හෝ මෙම ව්‍යාපෘතියටම නැවත මුදල් වෙන් කිරීමක් කර ගැණීමෙන් පමණයි. ඉංජිනේරුවරුන් බඳවා ගැණීමේ දී මුලින් ඉල්ලාසිටි සුදුසුකම් සහිත පුද්ගලයින් ඉදිරිපත් නොවූ නිසා එම ප්‍රමිතීන් ලිහිල් කරන්නට සිදුවුණා. ඒ අනුව ඉදිරිපත් වූ අයගෙන් වඩාත් සුදුසු අය තමයි බඳවාගෙන තියෙන්නේ. මෙම කාර්යය නියාමනයට අවශ්‍ය නිලධාරීන් ප්‍රමාණය මදි නිසා මම තවත් නිලධාරීන් ඉල්ලුම් කළා.

අ‍ශෝක චන්ද්‍රසේකර
වාරිය‍පොල සමුහ


නව අදහස දක්වන්න